Monday, July 10, 2017

තන්තිරිමලය - ගල් කෙම් අසල සැදි ලෙන් ආරාම සහ මුල් කාලීන සංඝාරාම

පැරණි රජරට සභ්‍යත්වයට ප්‍රධාන වශයෙන්ම පාදක වූ මල්වතු ඔය ද්‍රෝණියේ එහි පහල කොටසේ හමුවන තන්තිරිමලය වූ කලී ගල්තලා කිහිපයකින් සැදි භූමියක විසිරී ඇති විවිධ යුගයන්ට අයත් නටබුන් වලින් සමන්විත ප්‍රදේශයකි. උපතිස්ස නුවර, තිවක්ක බමුණු ගම ආදි වංශ කතා වල සඳහන් වන ප්‍රදේශ තන්තිරිමලය බවට විවිධ මත ඉදිරිපත් වුවද ඒවා සනාථ කිරීමට ඉදිරිපත් කර ඇති තර්ක එතරම් ප්‍රබල නොවේ. පුරාවිද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් තන්තිරිමලය පුද බිමේ දැකිය හැකි ඓතිහාසික යුගයට අයත් නටබුන් සහ ඒවායේ කාල නිර්ණය පිළිබඳ විවරණයකි මෙම ලිපි පෙළ.

කටාරම් කෙටූ ලෙන් සහ බ්‍රාහ්මී ලිපි
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් කටාරම් කෙටූ ලෙන් තන්තිරිමලයේ ගල් තලා අතර බහුල නොවූවද වැදි චිත්‍ර නොහොත් පූර්ව ඓතිහාසික යුගයට අයත් මානව සිතුවම් ලෙස හඳුනාගන්නා සිතුවම් සහිත ගුහාවක් තන්තිරිමලයේ ගල් තලා අතර ගිණිකොණ දෙසට වන්නට දැකිය හැක. මෙහි කටාරම් කොටා ඇති බැවින් එය ඓතිහාසික යුගයේදී භාවනානුයෝගී භික්ෂුන්ගේ භාවිතය සඳහා යොදා ගන්නට ඇති බව සිතිය හැක. එම ලෙන ආසන්නයේම වූ වෙනත් ලෙනකද කටාරම සහ වැදි චිත්‍ර දැකිය හැකි අතර එම ස්ථානයේම කටාරම් කෙටූ වෙනත් තුන්වැනි ලෙනක්ද ඇත. පසුව විස්තර කෙරෙන උපාසිකා නාගාගේ සෙල් ලිපිය සහිත ලෙනද කටාරම් කෙටූ විශාල ප්‍රමාණයේ ලෙනකි.
වැදි චිත්‍ර සහිත කටාරම් කෙටූ ලෙන
මෙරට කටාරම් කෙටූ ලෙන් වල කටාරමට යටින් බොහෝවිට දැකිය හැකි ලෙන් පූජා කල තැනැත්තා විසින් ඒ බව සඳහන් කර කෙටවූ ලිපි මේ ලෙන් වල දැකිය නොහැකි මුත් බ්‍රාහ්මි අක්ෂර සහිත ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වෙනත් සෙල් ලිපි තුනක් තන්තිරිමලය පුද බිමෙන් හමුවී ඇත. එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ ජෝන් ස්ටිල් (John Still) විසින්  පලමු වරට කියවා පළකර ඇති එම ලිපි දකින්නට ලැබෙන්නේ මෙහි ඇති ගල් කෙම් අසලය (ජෝන් ස්ටිල්ට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස් ධූරය හෙබවූ H.C,P. බෙල් මහතා මින් මුල් ලිපිය පිටපත් කර තිබුණි. මෙම ලිපිය සඳහා යොදා ගන්නේ එම ලිපි පසුව කියවූ සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන අර්ථකතනයන්ය.)
වැදි චිත්‍ර සහිත කටාරම් කෙටූ ලෙනක් 
මින් ලිපි දෙකක් ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවසට අයත් බවත් අනික ඉන් වසර 100 ක් පමණ මෙපිටදි ලියූවක් විය හැකි බවත් ස්ටිල් පවසයි. මෙහි දැකිය හැකි ජලය රඳන ස්වභාවික ගල් කෙම් අතරින් හොඳ මට්ටමේ වූ කෙමකට ඉහලින් ගල් තලාවේ කොටා ඇති එක් ලිපියකින් කියවෙන්නේ 'පිණ්ඩපාතික තිස්ස තෙරගේ' බවය (Of the elder, lord Tissa, the pindapathika). මෙම ගල් කෙමේ අයිතිය ඉන් හැඟවූවා විය හැක. එම ලිපියට යාර 60 පමණ නැගෙනහිර දෙසින් වූ දිගු ගල් ලෙනක පැත්තකට වන්නට කොටා තිබූ එම යුගයටම (ක්‍රි.පූ 2 වන සියවස ) අයත් අක්ෂර වලින් යුතු දෙවැනි ලිපියේ එම ලෙන ඇත් ඇදුරු (අති අජරිය/Elephant-trainer) බති ගේ මව වූ උපාසිකා නාගාගේ බව පවසයි (Of the female lay-devotee Naga, mother of Bati, the elephant-trainer). තුන්වැනි ලිපිය ඉහත දෙවෙනි ලිපිය පිහිටි ස්ථානයේ සිට යාර 150 උතුරු-ඊසාන දෙසින් තවත් කුඩා ස්වභාවික ගල් කෙමකට ඉහලින් ගල් තලාවේ දැකිය හැකි අතර එයින් කියවෙන්නේ එය වංශාධිපති සුමනගේ තලිය හෙවත් හැළිය (තලචඩි/Ground-Pot) බවයි. නැවතත් එම ජලය රඳන ගල් කෙමේ (තලචඩි) අයිතිය හැඟවූවා විය හැක (The ground-pot of Lord Sumana). 
සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිල්ලක පාදමක්
ජලය හීන වියලි කලාපයේ වූ මෙම ප්‍රදේශයේ ගල්තලා මත වූ මෙවන් ගල් කෙම් ඉඩෝර කාලය සඳහා ජලය ස්වභාවිකවම එක් රැස් වන වටිනා ජල මූලාශ්‍ර වූවා නිසැකය. අද පවා වනාන්තරයේ තැන් තැන් වල ඇති මෙවැනි ගල් කෙම් වියලි කාලයේදි අපා දෙපා සිව්පා සියලු සතුන්ගේ පිපාසය සන්සිදුවයි. එබැවින් ක්‍රිස්තු පූර්ව යුගයේදි එම කෙම් වල අයිතිය දැරූ ප්‍රභුන් සිටියා විය හැක. මුල් කාලීන සංඝාරාම එම ස්ථාන මූලික කරගනිමින් ඇරඹෙන්නට ඇත්තේ මෙම ජල පහසුව නිසා විය හැක.

සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිලි
තන්තිරිමලයේ ගල් තලා මත තැන් තැන් වල සක්කා ගල් කැබලි උපයෝගි කරගනිමින් ඉදිකල ගොඩනැගිලි දොලහක් පමණ ඇති බවත්, එම ගොඩනැගිලිද මෙම කාලයටම අයත් විය හැකි බවත් ජෝන් ස්ටිල් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ඉදිරිපත් කල සිය ලිපියේ සඳහන් කරයි. එම ගොඩනැගිලි බොහෝමයක් ස්වභාවික ගල් කෙම් අසල ඉදිකර ඇති බැවින් ස්ථානයේ වර්තමානයේ දැකිය හැකි වැව ඉදිකිරීමට ප්‍රථම ඒවා ඉදිකරන්නට ඇති බවය ස්ටිල්ගේ අදහස. මින් ඇතැම් ගොඩනැගිලි වල ගඩොලු දැකිය හැකි මුත් වෙනත් ඇතැම් ගොඩනැගිලි වල බොහෝ විට ඛාදනය නිසා සෝදායෑම් සමගින් ගඩොළු නොමැති වීම සිදු වූවා විය හැකි බවයි ඔහුගේ අදහස.
විශාල ප්‍රමාණයේ සංඝාරාමයක පාදමක්
මෙම ගොඩනැගිලි පිළිබඳව අදහස් පළකරන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ A.M. හෝකාර්ට් පවසනුයේ ඒවා ගල් තලා මත සක්ක ගල් කැබලි අතුරා සැදූ හතරස් කොටු ඇතුලත පස් පුරවා සකසා ගත් පාදම මත ඉදිවූ ගොඩනැගිලි වන්නට ඇති බවය. වැහි කාල වලදි සිදුවූ සෝදායෑමට අමතරව මෙම ප්‍රදේශයේ දඩයමේ පැමිණි දඩයම්කරුවන් වතුර වලවල් අසල සැගවි සිටීමට කුඩා අට්ටාල (Bastions) සෑදීමටද මෙම සක්කා ගල් යොදාගත් බව හෝකාර්ට් පවසයි. (70 දශකය පමණ වනවිටත් මෙම ප්‍රදේශය කොටි වලස් ආදි දරුණු වනසතුන් ගැවසුන විනෝදය සඳහා දඩයමේ යන්නන්ගේ පාරාදීසයක් ව තිබූ බව සිසිල් D. ධර්මසේන මහතා සිය අත්දැකීම් ඇසුරින් වනසත්ව සහ ස්වභා ආරක්ෂක සංගමයේ [Wildlife & Nature Protection Society] Loris සඟරාවේ 50 වන ජුබිලි සංවත්සර කලාපයට සැපයූ ලිපියකින්ද පැහැදිලි වේ.)
සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිල්ලක පාදමක්
මූලාශ්‍ර
  • Tantri-Malai: Some Archaeological Observations and Deductions. John Still, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXII, 63, 1910
  • Tantrimalai, A.M. Hocart, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXIX, 76, 1923
  • Tantrimalee That Was, Cecil D. Dharmasena, Loris, The Journal of the Wildlife and nature Protection Society of Sri Lanka, Vol XVII, No 3, 1986
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.

2 comments:

  1. ප්‍රාග් අයිතිහාසික ගුහා වාසී චිත්‍රද, පසුකාලීන වැදි චිත්‍රද කියල හරියටම කියන්න බෑ නේද? බොහෝ දුරට වැදි චිත්‍ර වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් මන් දන්න තරමින් මේ චිත්‍ර වල විද්‍යාත්මක කාල නිර්ණයක් කරලා නැහැ. මටත් හිතෙන්නේ මේවා වැදි චිත්‍ර කියලා තමා එතරම් පැරණි නැති. අවම වශයෙන් කොටසක්වත්. එහෙම කියන්න සාධක වෙච්ච කරුණු කිහිපයකුත් තියෙනවා. ඉදිරියේදි වෙනම ලිපියකින්ම ඉදිරිපත් කරන්නම්

      Delete