Thursday, July 20, 2017

රිහෑ බිම්හි බුදත්පව් වෙහෙරට මුක්තීන් පිදූ දෙවැනි සේන සහ පිං කැට හූරන සොරි සේනලා


පඬුවස්නුවර පුරාවිද්‍යා රක්ෂිතය තුල පිහිටා ඇති මහනුවර සම්ප්‍රදායට අයත් ටැම්පිට විහාරය ඇතුළු අනිකුත් මෑත කාලීන පූජනීය ගොඩනැගිලි පිහිටි මලුවට ප්‍රවේශ වන ස්ථානයේ සහ ඒ අවට පිහිටි ටැම් ලිපි කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම කාලීන යැයි හැඟුනේ ජනතාව මත උපරිමයෙන් බදු ගසා සාමාන්‍ය මිනිසාගේ පටන් ඉහල ධනපතියා දක්වා සියල්ලක්ම ඉහේ ඉදන් හූරන් කන මංකොල්ලකරුවන් පිරිසක් මෑතක සිට සිය චෞර දෑත් මෙතෙක් කල් නිදහසින් පසු කිසිම රජයක් අත නොතැබූ සාංඝික දේපල කරාද යොමු කර ඇති මොහොතකදීය.  විහාර පිරිවෙන් ආදියට පෙර රජ වරුන් පිරිනැමූ මුක්තීන් පිළිබඳව එම ලිපි වල සඳහන් වන දෑ වර්තමානයේ 'රට කොරවන' පාලකයන්ගේ බෞද්ධ විරෝදී ක්‍රියා පිළිවෙල සමග සසදා බැලීම වර්තමාන සොර මුල බලයට ගෙනා අමනයන්ට කෙසේ වෙතත් මෙරට චිරාත් කාලයක් පුරා පැවැති සිංහල බෞද්ධ සම්ප්‍රදාය ගරු කරන සුලුතරයකට හෝ වැදගත් වේ යැයි සිතමි. දඹුල්ල පන්සලේ පිං කැට වලට අත තැබීමට ගොස් තාවකාලිකව හෝ ඇනගත් මේ සොර මුල ඉන්පසු මහවැලි මහ සෑය වැනි සඟ සතු කල ස්ථාන පවා පවරාගෙන එහි පිං කැට වලින් වැඩි ආදායම් උපදවන ආකාරය ගැන  වහසි බස් දොඩන්නට පටන්ගත්තේ වෙහෙර විහාර යනු පිං කැට තබා ධනය එකතු කරන ස්ථාන ලෙස සිතා විය හැකි බව සිය පියාගේ රැස් වලින් බබලන මෝඩ පුතෙකුගේ මෑතකදි සිදු කල පාරම්බෑමකින්ද පැහැදිලි විය. වාර්තා වන ආකාරයට යෝජිත නව බදු පනත මගින් සියලු පුණ්‍යායතන සඳහා ඒවායේ ආදායමින් 14% ක බද්දක්ද අයකිරීමටද නියමිතය.
පඬුවස්නුවර පිහිටි මෙවැනි පබ්බත විහාර වර්ගයේ විහාර නටබුන් ඇතැම් විට මෙම සෙල්ලිපි වල සඳහන් ස්ථාන විය හැක.
පඬුවස්නුවර රජමහා විහාරය අවට වර්තමානයේ සිටුවා ඇති මුත් මෙම ලිපියේදි සාකච්චා වන ටැම් ලිපි මෙම ස්ථානයට අසල පිහිටි කිසියම් තැනකින් ගෙනා බවට විශ්වාස කල හැක. කෙසේ වුවද එම ස්ථානය හෝ ස්ථාන වර්තමාන පඬුවස්නුවර නටබුන් පවතින ප්‍රදේශයට බොහෝ දුරක වූවා විය නොහැක. ඒ අනුව මෙම ලිපි කිහිපයකම රිහෑ බිම් නම් ප්‍රදේශයක පිහිටි විවිධ ගම් සහ විහාර පිරිවෙන් ආදිය පිළිබඳව සඳහන් වන බැවින් වර්තමානයේ පඬුවස්නුවර නමින් හැඳින්වෙන ප්‍රදේශයට මෙම ලිපි පිහිටවූ කාලයේ (9-10 සියවස් වල) භාවිතා වූ නම රිහෑ බිම් ලෙස අනුමාන කල හැක.

2 වන සේන  රජුගේ රාජ්‍ය කාලය

සිරිසඟබෝ මපුර්මුකා රජුගේ 6 වන රාජ්‍ය වර්ෂයේ පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මගින් බුදත්පවු වෙහෙරට කිසියම් මුක්තීන් (Immunities) කිහිපයක් පිරිනමා එහි අත්තානි කණුවක් පිහිටවූ බව පවසයි. ලිපියේ කොටසක් කියවිය නොහැකි ලෙස ගෙවී ගොස් ඇති බැවින් එම මුක්තීන් මොනවාදැයි හඳුනාගත නොහැක. සිරිසඟබෝ මපුර්මුකා ලෙසින් ලිපියේ දැක්වෙන රජු අක්ෂර වල හැඩයෙන් සහ භාෂා විලාශයෙන් 2 වන සේන (ක්‍රි.ව. 853-857) රජු ලෙස හඳුනාගත හැක. ටැම් ලිපියේ භික්ෂුවකගේ වටාපතක්, නයෙකුගේ රූප සටහනක් ස්වස්තිකයක් සහ මල් සහිත පුන්කලසක් ද කොටා ඇත. වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර ප්‍රවේශය අසල දැකිය හැකි මෙම ටැම් ලිපිය එම ස්ථානයට අසල පිහිටි කිසියම් තැනක සිට රැගෙන විත් ඇති බව පෙනේ. එහි මුල් ස්ථානය අවිනිශ්චිතය. ලිපියේ සඳහන් වන බුදත්පව් වෙහෙර පිළිබඳව විස්තර කිසිදු පැරණි ලිඛිත මූලාශ්‍රයක හමු නොවේ.

2 වන උදය රජුගේ රාජ්‍ය කාලය

වෙනත් කිසියම් ස්ථානයක තිබි ගෙනවුත් වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර ප්‍රවේශය අසල පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය එහි මුදුනේ පිහිටි පුන් කලසද සමගින් අඩි 7 පමණ උස වේ. එක් පසක ඉර, අඩ සඳ, නයෙකු සහ භික්ෂුවකගේ වටාපත කොටා ඇති මෙම ලිපිය එහි අක්ෂර සහ භාෂා විලාශය අනුව 9 වන ශතවර්ෂයේ අවසාන භාගයට අයත් වේ. අභා සලමෙවන් නම් රජෙකුගේ 5 වන රාජ්‍ය වර්ෂයේ කස්බල් (කාශ්‍යප) මහපාණන් වහන්සේ නම් වූ මහපා වරයෙකු විසින් ගළ්ගම් නම් වූ පිරිවෙනකට අයත් එම පිරිවෙන පිහිටි රිහෑ බිම් නම් ප්‍රදේශය තුල පිහිටි තෙර ඇතුළ නම් වූ ග්‍රාමයට පිරිනැමූ මුක්තීන් කිහිපයක් පිළිබඳව සඳහන් කර එය පිහිටුවා ඇත. එසේම ගළ්ගම් පිරිවෙන පිහිටි රිහෑ බිම නම් වූ පළාතේ පිහිටි තෙර ඇතුළ වෙහෙරට අයත් වෙනත් ගම් දහයක් සඳහාද මෙම නියෝගය අදාල කර ඇත (එම ගම් නම් විරගණා, සිනබලා ගම, පහළ පනගල, වැල්පලුගොඩ, ගළ්ගම, සුපොරලියා හි අම්ගමුදොර, දොර්ගම, සම්පත් ගම, පර්ල, හා රියන්දලපව් වේ.) එම ගම් වලට පිරිනැමූ මුක්තීන් වනුයේ - මෙම ගම් වලට අයත් කරත්ත සහ මීමුන්ද අලින්ද නොමිලේ සේවයට නොගත යුතුය, එසේම විවිධ බදු අයකරන නිලධාරීන්ද, වෙනත් රාජ්‍ය නිලධාරීන්ද එම ගමට නොපැමිනිය යුතුය. ගම් සීමාවේන් ඇතුළත බෙර නොගැසිය යුතු අතර, දෝලා සහ වියන් රැගත් පුද්ගලයින්ද ඇතුලු නොවිය යුතුය. එපමනක් නොව මිනීමැරුම් වැනි අපරාද කර මෙම ප්‍රදේශයට පලා එන පුද්ගලයන් ප්‍රදේශයට ඇතුලු වී අල්ලා ගැනීමේ හැකියාවද රාජ පුරුෂයන් හට නැති අතර ඔවුන් එම ගම් සීමාවෙන් පිටතට පිටුවහල් කල පසු පමණක් අත් අඩංගුවට ගැනීම කල හැක.

 මෙහි සඳහන් අභා සලමෙවන් විරුදය ලත් රජු වංශ කතා වල දෙවැනි උදය (ක්‍රි.ව. 887-898) ලෙස හැඳින්වෙන රජු ලෙස පහසුවෙන් හඳුනාගත හැක්කේ එම රජුට කස්සප නම් වූ මහපා කෙනෙක් සිටි බැවිනි (හෙතෙම දෙවෙනි උදය රජුගෙන් පසුව සිව් වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) ලෙස රජ විය)

මෙම තොරතුරුම සඳහන් වන වෙනත් ටැම් ලිපියක් පඬුවස්නුවර රජ මාලිගය ආසන්නයෙන්ද හමුවී ඇත. ඉහත ලිපියේම පිටපතක් වන එහි ඉහත සඳහන් පුද්ගලයන්ට අමතරව දුණු ගත් හේවායින්ටද එම ගම් වලට ඇතුලු වීම තහනම් කර ඇත.

පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර පිවිසුම අසල පියගැටපෙල දෙපස ඇති ටැම් ලිපි
4 වන කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය

10 වන ශත වර්ෂයේ මුල් අර්ධ කාලයට අයත් කල හැකි අක්ෂර වලින් ලියා ඇති මෙම ටැම් ලිපියද වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරය අසල ඇති මුත් පෙර ලිපි මෙන්ම වෙනත් ස්ථානයක සිට ගෙනා බව පෙනේ. ගල් ටැඹේ එක් පසක ඉර, හඳ, වටාපත, කපුටෙකුගේ රූපයක් සහ බල්ලෙකුගේ රූපයක් දක්වා ඇත. සිරිගඟබෝ විරුදය ලත් රජෙකුගේ 8 වන රාජ්‍ය වර්ෂයේ කස්බල් (කස්සප) නම් වූ ඔහුගේ මහපා වරයා විසින් පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මගින්ද දෙනා වෙහෙරට අයත් (එනම් අනුරාධපුරයේ ජේතවන විහාරය ) රිහෑ බිම් පෙදෙසේ පිහිටි සිරිසගබෝ පිරිවෙනට (මෙය සිව් වන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජුගේ සේනාපති වූ පොත්තසාට විසින් රජුගේ නමින් කරවූ බවට මහාවංශයේ සඳහන් වන සිරිසඟබෝ පිරිවෙන විය හැක) පිරිනැමූ මුක්තීන් කිහිපයක් පිළිබඳව විස්තර වේ. එම මුක්තීන්ද  අඩු වැඩි වශයෙන් ඉහත ලිපි වල සඳන් වන මුක්තීන්ම වේ. ටැම් ලිපිය පිහිටවූ කාලයේ සිටි සිරිගඟබෝ විරුදය ලත් රජු සිව් වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) ලෙසින් වංශ කතා වල එන රජු ලෙස හඳුනාගත හැක. ඔහුට කාශ්‍යප නම් ලත් මහපා වරයෙකු සිටි අතර ඔහු පසුව පස් වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) ලෙසින් රජ කමට පත් විය.
5 වන කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය

වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බෝමලුවට පිවිසෙන පියගැටපෙල පාමුල සිටුවා ඇති ටැම් ලිපියද ඉහත ටැම් ලිපි ලෙසින්ම වෙනත් ස්ථානයක සිට රැගෙන ආ ගල් ටැඹක් විය යුතුය. ගල් ටැඹේ එක් පසක වටාපත, අඩ සඳ, පෙට්ටියක්, නයෙක්, කපුටෙක් සහ සුනඛයෙක් කොටා ඇති මෙම ටැම් ලිපිය 10 වන සියවසේ භාවිතා වූ අක්ෂර වලින් සිරිසඟබෝ නම් රජෙකුගේ පුත් වූ  දෙබිසෙවැ දා අභාසලමෙවන්  මපුර්මකා නම් රජුගේ (සිරිමල් රණවැල්ල මහතා මෙම රජු 5 වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) ලෙසින් හඳුනාගනී. ) සත් වන රාජ්‍ය වර්ෂයේදි පිහිටුවා ඇත. එම රජුගේ මල් වු දාපුළු මහපා විසින් දකුණු පස කපිගමු බිම්හි සතලෑපණැ සුරිතේ පිහිටි දිඹුළෑ හි දෙපෑලක් තරම් වූ ඉඩම් සහ රජු විසින් අඹතලා පියන්ගලු වෙහෙරට අඹතලා දිඹුළා හි පිරිනැමූ ඉඩම් අඹතලා හි මාගිරි පිරිවෙනෙහි භික්ෂූන්ට පවරා එම ආදායමින් අභාගිරි වෙහෙරේ (අනුරාධපුරයේ අභයගිරි විහාරය) මහා සෙල් පිළිමය දෙපස පිහිටි මැණික් එබ්බවූ පහන් දල්වා එම පිළිමය ආලෝකමත් කල යුතු බවද, එම අභයගිරි වෙහෙරටම මසක් පාසා සලාක ආහාර සහ තෙල් ලබා දිය යුතු බවද පවසයි. පෙර ලිපි වල පරිදිම ඉන්පසු එම ඉඩම් අයත් ගම් වලට ලබාදුන් මුක්තීන් පිළිබඳව විස්තර වේ. 
පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර පිවිසුම අසල පියගැටපෙල දෙපස ඇති ටැම් ලිපි
අඹතලා ලෙසින් මෙහි හැඳින්වෙන පෙදෙස මිහින්තලය ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. එසේම මෙම ටැම් ලිපිය ඉහත විස්තර වූ අනිත් ටැම් ලිපි වල සඳහන් රිහෑ බිම් පෙදෙස නොවන ප්‍රදේශයක සිට වර්තමාන ස්ථානයට රැගෙන ආ බව පැහැදිලි වන්නේ කපිගමු බිම් නම් වූ වෙනත් ප්‍රදේශයක් පිළිබඳව එහි සඳහන් වන බැවිනි.

4 වන දප්පුල රජුගේ රාජ්‍ය කාලය

පඬුවස්නුවර රජමහා විහාරයේ පුස්තකාලය අසල වර්තමානයේ සිටුවා ඇති මෙම ටැම් ලිපියද ඉහත ගල් ටැම් ලෙසින්ම වෙනත් ස්ථානයක සිට මෙහි ගෙනා බව සිතිය හැක. 10 වන ශත වර්ෂයේ මුල් භාගයට අයත් අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපිය අභා සලමෙවන් නම් විරුදය සහිත රජෙකුගේ දසවන රාජ්‍ය වර්ෂයේ උදා (උදය) නම් වූ මහපා විසින් පිහිටුවා ඇත්තේ රිහෑ බිම්හි පිහිටි (අනුරාධපුරයේ ) මහාවිහාරයට අයත් සලමෙයිවන් රජ් කපුගම් නම් වූ පිරිවෙනකට අයත් වූ කොණාතු දෙපයලෙහි වූ කොණාතු ඇඹුල්ගොඩ පිහිටි දළදාගම සහ යව යන ගම් වලට ඉහත ටැම් ලිපි වල විස්තර වන ආකාරයේම වූ මුක්තීන් පිරිනැමීමටය. ලිපියේ සඳහන් අභා සලමෙවන් රජු උදය නමින් මහපා කෙනෙකු සිටි සිව් වන දප්පුල (ක්‍රි.ව. 924-935) රජු ලෙස හඳුනාගත හැක. මෙම ටැම් ලිපියේද අඩ සඳ, නාග රූපයක්, කාක රූපයක්, ඉර, බල්ලෙකුගේ රුවක් සහ වටාපතක් දක්නට ඇත. අනිත් ලිපිවල මෙන් නොව මෙම රූප පැති හතරේම අකුරු ලියූ පේලි වලට ඉහලින් හෝ පහලින් ඉඩ ඇති පරිදි කොටා ඇත.

විහාර පිරිවෙන් වල නඩත්තුවට ගම් බිම් පිරිනමා ඒවායින් රජුට එන ආදායම නැතිකරගත් එවැනි පාලකයින් සිටියේ එදාය. පොදුවේ අත්තානි ලිපි ලෙස හැඳින්වෙන මෙම ලිපි වල නිරූපිත වටාපත මගින් එය සඟ සතු කල බව කියවෙන අතර බලු කපුටු රූප මගින් එම නියෝග කඩකලවුන් මතු ආත්මයන්හි බලු කපුටන්ව ඉපදෙන බව මතක් කරදේ. එසේම ඉර හඳ සලකුණු මගින් එම නියෝගයන් ඉර හඳ පවතින තුරා වලංගු වන බව පවසා සිටි. ඒ අනුව වර්තමානයේ සඟ සතු දේ කොල්ලකන චෞර රජවරු මරණින් පසු බල්ලන් සහ කපුටන් වනවාදැයි අපි නොදනිමු. එහෙත් ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් බලු කපුටු වැනි තිරිසන් සතුන් වුවද නොකරන ආකාරයේ තුප්පැහි වැඩ බව නම් නොකියාම බැරිය.

පඬුවස්නුවර පිළිබඳ පෙර ලිපි
මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part II, Ranawella, G.S. 2004
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Ranawella, G.S. 2001
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

Monday, July 10, 2017

තන්තිරිමලය - ගල් කෙම් අසල සැදි ලෙන් ආරාම සහ මුල් කාලීන සංඝාරාම

පැරණි රජරට සභ්‍යත්වයට ප්‍රධාන වශයෙන්ම පාදක වූ මල්වතු ඔය ද්‍රෝණියේ එහි පහල කොටසේ හමුවන තන්තිරිමලය වූ කලී ගල්තලා කිහිපයකින් සැදි භූමියක විසිරී ඇති විවිධ යුගයන්ට අයත් නටබුන් වලින් සමන්විත ප්‍රදේශයකි. උපතිස්ස නුවර, තිවක්ක බමුණු ගම ආදි වංශ කතා වල සඳහන් වන ප්‍රදේශ තන්තිරිමලය බවට විවිධ මත ඉදිරිපත් වුවද ඒවා සනාථ කිරීමට ඉදිරිපත් කර ඇති තර්ක එතරම් ප්‍රබල නොවේ. පුරාවිද්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් තන්තිරිමලය පුද බිමේ දැකිය හැකි ඓතිහාසික යුගයට අයත් නටබුන් සහ ඒවායේ කාල නිර්ණය පිළිබඳ විවරණයකි මෙම ලිපි පෙළ.

කටාරම් කෙටූ ලෙන් සහ බ්‍රාහ්මී ලිපි
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් කටාරම් කෙටූ ලෙන් තන්තිරිමලයේ ගල් තලා අතර බහුල නොවූවද වැදි චිත්‍ර නොහොත් පූර්ව ඓතිහාසික යුගයට අයත් මානව සිතුවම් ලෙස හඳුනාගන්නා සිතුවම් සහිත ගුහාවක් තන්තිරිමලයේ ගල් තලා අතර ගිණිකොණ දෙසට වන්නට දැකිය හැක. මෙහි කටාරම් කොටා ඇති බැවින් එය ඓතිහාසික යුගයේදී භාවනානුයෝගී භික්ෂුන්ගේ භාවිතය සඳහා යොදා ගන්නට ඇති බව සිතිය හැක. එම ලෙන ආසන්නයේම වූ වෙනත් ලෙනකද කටාරම සහ වැදි චිත්‍ර දැකිය හැකි අතර එම ස්ථානයේම කටාරම් කෙටූ වෙනත් තුන්වැනි ලෙනක්ද ඇත. පසුව විස්තර කෙරෙන උපාසිකා නාගාගේ සෙල් ලිපිය සහිත ලෙනද කටාරම් කෙටූ විශාල ප්‍රමාණයේ ලෙනකි.
වැදි චිත්‍ර සහිත කටාරම් කෙටූ ලෙන
මෙරට කටාරම් කෙටූ ලෙන් වල කටාරමට යටින් බොහෝවිට දැකිය හැකි ලෙන් පූජා කල තැනැත්තා විසින් ඒ බව සඳහන් කර කෙටවූ ලිපි මේ ලෙන් වල දැකිය නොහැකි මුත් බ්‍රාහ්මි අක්ෂර සහිත ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වෙනත් සෙල් ලිපි තුනක් තන්තිරිමලය පුද බිමෙන් හමුවී ඇත. එවකට සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ධූරය හෙබවූ ජෝන් ස්ටිල් (John Still) විසින්  පලමු වරට කියවා පළකර ඇති එම ලිපි දකින්නට ලැබෙන්නේ මෙහි ඇති ගල් කෙම් අසලය (ජෝන් ස්ටිල්ට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස් ධූරය හෙබවූ H.C,P. බෙල් මහතා මින් මුල් ලිපිය පිටපත් කර තිබුණි. මෙම ලිපිය සඳහා යොදා ගන්නේ එම ලිපි පසුව කියවූ සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන අර්ථකතනයන්ය.)
වැදි චිත්‍ර සහිත කටාරම් කෙටූ ලෙනක් 
මින් ලිපි දෙකක් ක්‍රි.පූ. 2 වන හෝ 3 වන සියවසට අයත් බවත් අනික ඉන් වසර 100 ක් පමණ මෙපිටදි ලියූවක් විය හැකි බවත් ස්ටිල් පවසයි. මෙහි දැකිය හැකි ජලය රඳන ස්වභාවික ගල් කෙම් අතරින් හොඳ මට්ටමේ වූ කෙමකට ඉහලින් ගල් තලාවේ කොටා ඇති එක් ලිපියකින් කියවෙන්නේ 'පිණ්ඩපාතික තිස්ස තෙරගේ' බවය (Of the elder, lord Tissa, the pindapathika). මෙම ගල් කෙමේ අයිතිය ඉන් හැඟවූවා විය හැක. එම ලිපියට යාර 60 පමණ නැගෙනහිර දෙසින් වූ දිගු ගල් ලෙනක පැත්තකට වන්නට කොටා තිබූ එම යුගයටම (ක්‍රි.පූ 2 වන සියවස ) අයත් අක්ෂර වලින් යුතු දෙවැනි ලිපියේ එම ලෙන ඇත් ඇදුරු (අති අජරිය/Elephant-trainer) බති ගේ මව වූ උපාසිකා නාගාගේ බව පවසයි (Of the female lay-devotee Naga, mother of Bati, the elephant-trainer). තුන්වැනි ලිපිය ඉහත දෙවෙනි ලිපිය පිහිටි ස්ථානයේ සිට යාර 150 උතුරු-ඊසාන දෙසින් තවත් කුඩා ස්වභාවික ගල් කෙමකට ඉහලින් ගල් තලාවේ දැකිය හැකි අතර එයින් කියවෙන්නේ එය වංශාධිපති සුමනගේ තලිය හෙවත් හැළිය (තලචඩි/Ground-Pot) බවයි. නැවතත් එම ජලය රඳන ගල් කෙමේ (තලචඩි) අයිතිය හැඟවූවා විය හැක (The ground-pot of Lord Sumana). 
සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිල්ලක පාදමක්
ජලය හීන වියලි කලාපයේ වූ මෙම ප්‍රදේශයේ ගල්තලා මත වූ මෙවන් ගල් කෙම් ඉඩෝර කාලය සඳහා ජලය ස්වභාවිකවම එක් රැස් වන වටිනා ජල මූලාශ්‍ර වූවා නිසැකය. අද පවා වනාන්තරයේ තැන් තැන් වල ඇති මෙවැනි ගල් කෙම් වියලි කාලයේදි අපා දෙපා සිව්පා සියලු සතුන්ගේ පිපාසය සන්සිදුවයි. එබැවින් ක්‍රිස්තු පූර්ව යුගයේදි එම කෙම් වල අයිතිය දැරූ ප්‍රභුන් සිටියා විය හැක. මුල් කාලීන සංඝාරාම එම ස්ථාන මූලික කරගනිමින් ඇරඹෙන්නට ඇත්තේ මෙම ජල පහසුව නිසා විය හැක.

සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිලි
තන්තිරිමලයේ ගල් තලා මත තැන් තැන් වල සක්කා ගල් කැබලි උපයෝගි කරගනිමින් ඉදිකල ගොඩනැගිලි දොලහක් පමණ ඇති බවත්, එම ගොඩනැගිලිද මෙම කාලයටම අයත් විය හැකි බවත් ජෝන් ස්ටිල් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ඉදිරිපත් කල සිය ලිපියේ සඳහන් කරයි. එම ගොඩනැගිලි බොහෝමයක් ස්වභාවික ගල් කෙම් අසල ඉදිකර ඇති බැවින් ස්ථානයේ වර්තමානයේ දැකිය හැකි වැව ඉදිකිරීමට ප්‍රථම ඒවා ඉදිකරන්නට ඇති බවය ස්ටිල්ගේ අදහස. මින් ඇතැම් ගොඩනැගිලි වල ගඩොලු දැකිය හැකි මුත් වෙනත් ඇතැම් ගොඩනැගිලි වල බොහෝ විට ඛාදනය නිසා සෝදායෑම් සමගින් ගඩොළු නොමැති වීම සිදු වූවා විය හැකි බවයි ඔහුගේ අදහස.
විශාල ප්‍රමාණයේ සංඝාරාමයක පාදමක්
මෙම ගොඩනැගිලි පිළිබඳව අදහස් පළකරන හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ A.M. හෝකාර්ට් පවසනුයේ ඒවා ගල් තලා මත සක්ක ගල් කැබලි අතුරා සැදූ හතරස් කොටු ඇතුලත පස් පුරවා සකසා ගත් පාදම මත ඉදිවූ ගොඩනැගිලි වන්නට ඇති බවය. වැහි කාල වලදි සිදුවූ සෝදායෑමට අමතරව මෙම ප්‍රදේශයේ දඩයමේ පැමිණි දඩයම්කරුවන් වතුර වලවල් අසල සැගවි සිටීමට කුඩා අට්ටාල (Bastions) සෑදීමටද මෙම සක්කා ගල් යොදාගත් බව හෝකාර්ට් පවසයි. (70 දශකය පමණ වනවිටත් මෙම ප්‍රදේශය කොටි වලස් ආදි දරුණු වනසතුන් ගැවසුන විනෝදය සඳහා දඩයමේ යන්නන්ගේ පාරාදීසයක් ව තිබූ බව සිසිල් D. ධර්මසේන මහතා සිය අත්දැකීම් ඇසුරින් වනසත්ව සහ ස්වභා ආරක්ෂක සංගමයේ [Wildlife & Nature Protection Society] Loris සඟරාවේ 50 වන ජුබිලි සංවත්සර කලාපයට සැපයූ ලිපියකින්ද පැහැදිලි වේ.)
සක්කා ගල් වලින් නිර්මිත ගොඩනැගිල්ලක පාදමක්
මූලාශ්‍ර
  • Tantri-Malai: Some Archaeological Observations and Deductions. John Still, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXII, 63, 1910
  • Tantrimalai, A.M. Hocart, Journal of the Royal Asiatic Society of Ceylon Vol XXIX, 76, 1923
  • Tantrimalee That Was, Cecil D. Dharmasena, Loris, The Journal of the Wildlife and nature Protection Society of Sri Lanka, Vol XVII, No 3, 1986
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.

Thursday, July 6, 2017

අම්බස්තල ශිලාචේතියේ බුමුතුරුණු එලීමට අගිවඩමණ වැවේ ආදායම පිදූ මපරුමක මහරජ

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබරණ වැව නමින් වර්තමානයේ හැඳින්වෙන වැවේ වැව් බැම්මේ එක් කෙලවරක උතුරු-දකුණු දිසා ඔස්සේ විහිදෙන ගල් තලාවක් මත නටබුන් වූ පැරණි දාගැබක් දැකිය හැක. සක්කා ගල් වලින් තනන ලද හතරැස් වේදිකාවක් මත එය තනා ඇති බව 1972 ප්‍රකාශිත පැරණි ස්මාරක නාමාවලියේ සඳහන් වන මුත් මේ වනවිට එවන් වේදිකාවක් දැකිය නොහැක. දාගැබ ඉදිකිරිමට නම් සක්කා ගල් උපයෝගි කරගෙන ඇති බව පෙනේ. මේ ස්ථානයේ සිට මද දුරකින් මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයක්ද ඇති බැවින් මෙම දාගැබද එම යුගයේ කල ඉදිකිරීමක් විමට ඉඩ නැතිවා නොවේ. කෙසේ නමුත් ඒ ආසන්නයේම පාහේ දාගැබේ සිට මදක් දකුණු දෙසට වන්නට ඇති විශාල වතුර රැඳෙන ගල් වලක් ආසන්නයේ පශ්චාත් බ්‍රාහ්මි අක්ෂර වලින් කොටා ඇති ගිරි ලිපිය අනුරාධපුර යුගය දක්වා මෙම ස්ථානයේ ඉතිහාසය විහිදි ඇති බවට සාධක සපයයි.
නටබුන් වූ දාගැබ අසලට පෙනෙන හබරණ වැව
 ශ්‍රී ලංකාවේ පැරණි දේ සම්බන්ධ අධ්‍යයන පටන් ගත් මුල් කාලයේම පාහේ මෙම ගිරි ලිපිය බ්‍රිතාන්‍යය විද්වතුන්ගේ අවධානයට ලක්වූවේ එය මහනුවර-ත්‍රිකුණාමලය මහා මාර්ගයේ ප්‍රධාන මංසන්දියක් වන හබරණට නුදුරින්, පැරණි තානායමට ආසන්නව පිහිටි බැවිනි. ක්‍රි.ව. 1883 දී මෙරට සෙල්ලිපි සම්බන්ධව ගවේෂණාත්මක කෘතියක් කල එඩ්වඩ් මුලර් මහතා පවසන්නේ මෙම ලිපිය මෙරට පැරණි සෙල්ලිපි අතරින් ඉතාම හොඳ මට්ටමේ තිබූ ලිපිය බවය. එසේම එය යුරෝපීය විද්වතුන් හට දැනගන්නට ලැබුනු මෙරට සෙල්ලිපි අතරින් පලමුවැන්න බවය. ඒ ජේම්ස් ප්‍රින්සෙප් නැමැති පුරාවිද්‍යා ගවේශකයා විසින් එහි පිටපතක් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවේ පළකිරීම හේතුවෙනි (ප්‍රින්සෙප් යනු බ්‍රාහ්මී අක්ෂර පළමු වරට කියවා තේරුම් කල තැනැත්තාය.)
ගිරි ලිපිය
ගිරි ලිපිය
මුජිතගම නකරහි (මුදිතගමු නුවර) අමාත්‍යයා වූ වෙසයගේ පුත් වූ අගයට අයත් වූ අගිවඩම වවි සහ අතිවවි (ඇත් වැව) නම් වූ වැව් ගම් සහ අතට වවියෙන් (අතළෙ වැව) සහ නගරයෙහි වසන ගලවකගේ අවිතක නම් කෙතෙනුත් ධාන්‍ය වලින් ගෙවිය යුතු බද්ද ගණනය කිරීමක් මෙම ලිපියේ මුලින්ම සිදු කෙරේ. පෙරදී ගෙවමින් තිබූ බද්දත් නැවත ගණනය කිරීම් වලින් වැඩිවූ බද්දත් පිළිවෙලින් කරිස 2000 සහ 41 ලෙස දැක්වේ. ඉන්පසු මපරුමක මහරජ නම් වූ රජ කෙනෙකුන් විසින් ඉහත ගණනය කල බදු වලින් බොජියපති කොටස (බෝජකයාගේ එනම් භුක්ති විඳින්නගේ කොටස හෙවත් අය බද්ද) සේනගේ පුත් වූ අබලයට සහ හමුදා නායකයෙකු වූ ආරක්ෂක නකයගේ මුණුබුරු වූ වෙසමණයට දෙන ලෙස නියම කර, ඒ සඳහා ඔවුන් මුදල් ගෙවිය යුතු බව පවසයි. එම මුදල් සහ කුල අමණ ලෙස හැඳින්වූ ජල බද්ද එහි බොජියපති කොටස අඩු කර චේතියගිරි සංඝාරාමයේ, අම්බස්තලයේ ශිලාචේතියේ ඔහු විසින් පිළිසකර කල චේතියඝරයට තෙල් සහ වෙනත් පූජා භාණ්ඩ සැපයීමට, එහි බුමුතුරුණු ඇතිරීමට සහ ඉතිරිය භික්ෂුන්ට දානය පිරිනැමීමට යොදවන ලෙස පවසයි. ස්වස්තික ලකුණක් යෙදීම මගින් මෙම රාජකීය ප්‍රදානය අවසන් වු පසු අමාත්‍ය වසභගේ පුත් වූ නකය ඔහුට අයත් බොජියපති බද්ද (ධාන්‍ය මගින් කරිස 1000 වූ) එම ස්ථූපයටම පූජා කල බව පැවසේ. ලිපිය අවසාන වන්නේ හය වන අවුරුද්දේ මජිමදින නම් මාසයේ පුරපස දෙසතියෙ හතරවන දින ලෙස ලිපිය සටහන් කල දිනය සඳහන් කිරීමෙනි. මෙහි එන මජිමදින මාසය යනු සිංහල මාස ක්‍රමයට අනුව මැදින් ලෙස වර්තමානයේ හැඳින්වෙන පෙබරවාරි - මාර්තු අතර කාලයයි. හයවන අවුරුද්ද ලෙස හැඳින්වූවේ ඉහත සඳහන් මපරුමක මහරජුගේ හයවන රාජ්‍යත්ව වර්ෂය විය හැක.
ගිරි ලිපිය
මපරුමක මහ රජ
මපරුමක මහරජ යන විරුදයෙන් ඉහත ලිපියේ හැඳින්වෙන්නේ කනිෂ්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 167 - 186) ලෙස පරණවිතාන මහතා හඳුනාගනී. මෙම ගිරි ලිපියේ සඳහන් වන ලෙසට චේතියගිරෙහි ඇති අම්බස්තල ශිලාචේතියේ චේතියඝරය මෙම රජු විසින් තනවා හෝ පිළිසකර කරවා ඇත. මහාවංශය සඳහන් කරනුයේ කණිෂ්ඨ තිස්ස රජුගේ ආගමික ඉදිකිරීම් අතර අම්බස්තලයේ චේතියඝරයද වූ බවය. එසේම තම්මැන්නාව සෙල් ලිපියේ මපුරමක මලි තිස මහරජ ලෙස හැඳින්වෙන රජු එම සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ මෙම ලිපියට වසරකට පසුවය. මලිතිස යනු කණිෂ්ඨ තිස්ස යන්න සමග සාකල්‍යයෙන්ම සැසදේ. ඒ අනුව එම හඳුනාගැනීම සනාථ වේ.
නටබුන් වූ දාගැබ

අගිවඩමණ වවිය
වසභ රජු (ක්‍රි.ව. 67 - 111) විසින් ඉදිකල වැව් අතර අග්ගිවඩ්ඪමානක නම් වූ වැවක් පිළිබඳ සඳහනක් මහාවංශයේ දැක්වේ. පෙළ බසින් එසේ හැඳින්වෙන එම වැව පූජාවලියේ හෙළ බසින් අස්වඩුන්නා වැව (ඇතැම් පිටපත් වල අක්වඩුන්නා වැවලෙස හඳුන්වා ඇත. ඉහත ගිරි ලිපියේ අගිවඩමණ ලෙස පැවසෙන්නේ ඉහත වසභ රජු තැනවූ අග්ගිවඩ්ඪමානක වැව වීමට බෙහෙවින්ම ඉඩ ඇත. C.W. නිකොලස් විසින් වචන වල සමානත්වය සලකා වර්තමානයේ හබරණ වැවට මදක් දකුණින් සැතපුමක් පමණ දුරුන් ඇති හිරිවඩුන්න වැව පැරණි  අගිවඩම වැව ලෙස හඳුනාගන්නා මුත් පරණවිතාන මහතාගේ මතය වන්නේ ගිරි ලිපියේ 'මේ අගිවඩමන වවි" ලෙස සඳහන් වන බැවින් ලිපිය පිහිටුවා ඇති ගල් තලාව ආසන්නයේම ඇති වර්තමානයේ හබරණ වැව ලෙස හැඳින්වෙන වැව පැරණි අගිවඩම වැව බවයි.
හබරණ වැව
අම්බස්තලයේ ශිලාචේතිය
වර්තමානයේ අම්බස්තල දාගැබ ලෙසින් හැඳින්වෙන මිහින්තලයේ ඇති කුඩා ස්ථූපය මෙම ලිපියේ සඳහන් වන අම්බස්තලයේ ශිලාචේතිය ලෙස හඳුනාගත හැක. එයට කණිෂ්ඨතිස්ස රජු ඉදිකල බව ඉහත ගිරි ලිපියේ දැක්වෙන චේතියඝරය දැවයෙන් සෑදූවක් වන්නට ඇති බවය පරණවිතාන මහතාගේ අදහස. මක් නිසාද යත් වර්තමානයේ මෙම ස්ථූපය වටා ඇති ශිලා කණු ඊට පසු කාලීන ඉදිකිරීමක (චේතියඝරයක) කොටස් බවට එම කණු පිරිනැමූ බවට සඳහන් 8 වන ශතවර්ෂයට අයත් ඒවායෙහි ඇති ලිපි මගින් එලිදරව් වන බැවිනි.

මූලාශ්‍ර
  • Muller E., 1883, Ancient Inscriptions in Ceylon.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004