Wednesday, December 14, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 3 - කුවේණියට පැලස් එකක් වූ විල්පත්තුවේ බොදු පුද බිම.



විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කාලි විල්ලුව ආසන්නයේ පිහිටි ගල් කණු පේලි කිහිපයකින් සමන්විත ස්ථානයක් 'කුවේනි මාළිගය' හෙවත් 'කුවේනි පැලස්' ලෙස එහි යන නරඹන්නන්ට වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශකයන් සහ සෆාරි ජීප් රථ රියදුරන් විසින් හඳුන්වාදෙනු ඇත. ඒ සමගම ඒ හා සම්බන්ධ රසවත් ඉතිහාස කතා ද නරඹන්නන්ගේ උනන්දුව අනුව අවශ්‍ය නම් ඔවුන්ගෙන් අසා දැන ගත හැක. විදෙස් සංචාරකයන්ට නම් ඔවුන් සමග එහි යන ගයිඩ් මහතුන්ගේ ආලවට්ටම්ද සහිතව එම Fabulous legend එක අසා සිටීමට සිදුවනු ඇත. විල්පත්තු වනෝද්‍යානය තුල වූ ස්ථාන කිහිපයක්ම විජය-කුවේනි පුරාවෘත්තය හා සම්බන්ධ කරමින් ගෙතූ ජනප්‍රවාද වලින් සමන්විත වන අතර ඒවා කෙතරම් පොදු ජනතාව අතරට ගොස් ඇත්ද යත් අද වන විට එම ජනප්‍රවාද මෙරට ජනප්‍රිය ඉතිහාසයේ (Popular History) 'පරම සත්‍ය වූ ඉතිහාසය' බවටද පත්වී ඇත.
 සාමාන්‍ය මිනිසෙකුගේ උස මෙන් දෙගුණයක් පමණ උස ගල් කණු වලින් සමන්විත ගොඩනැගිලි දෙකක නටබුන් මෙම ස්ථානයේ ඇත. ඒ අසලම පිහිටි විනාශ වූ ස්ථූප ගොඩැල්ලක ගඩොලු මගින් පැහැදිලිවම මෙම ස්ථානය අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් වූ බෞද්ධ ආරාමයක නටබුන් බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසයි. (පැරණි ගඩොල් වල ප්‍රමාණ අනුව අනුමාණ වශයෙන් එම ගඩොල් යොදවා තැනූ ගොඩනැගිලි වල කාල නිර්ණය සිදු කල හැක. එසේම මෙම ස්ථානයේ දක්නට ඇති නිදන් හොරුන් විසින් හාරා විනාශ කල තරමක් විශාල ස්ථූපය බෞද්ධ විහාරයකට අයිති ස්ථූපයක් බව සහ ඒ අනුව ඒ අසලම ඇති අනෙකුත් ගොඩනැගිලිද එම විහාරයේම අවශේෂ ගොඩනැගිලි බව පැවසිය හැක.)
කෙසේ නමුත් මේ වන තුරුත් මෙම ස්ථානයේ විධිමත් පුරාවිද්‍යාත්මක ගවේෂණයක් හෝ කැනීමක් සිදු කර නොමැති බැවින් තවත් චිරාත් කාලයක් මෙය 'කුවේනියගේ මාළිගාවමවනු ඇත. වර්තමානයේ වෙස්සගිරිය යනුවෙන් හදුන්වන්නේ එම නමින් වංශ කතා වල හැඳින්වෙන ස්ථානය නොව පැරණි ඉසුරුමුණිය බව විද්වතුන් එම ස්ථානයේ ඇති සෙල්ලිපි ආශ්‍රයෙන් නොයෙක් වර පෙන්වා දී  ඇති මුත් තවමත් සඥා පුවරු වල, ඇතැම් ග්‍රන්ථ වල, සිතියම් වල සහ මාර්ගෝපදේශක පත්‍රිකා වල එය වෙස්සගිරියම වන්නා සේය (මෙවැනි උදාහරණ මෙරට පුරාවිද්‍යා සහ ඉතිහාස ක්ෂේත්‍රයේ නොඅඩුව ඇත ).


මූලාශ්‍ර
  • ගවේෂණ තුළ ගවේෂණ, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • Handbook for the Ceylon Traveller, Studio Times Publication, 1983.
  • Wilpattu, Villus And Beyond, Compiled by Vimukthi Weeratunga, 2009

4 comments:

  1. දේශපාලනයට පමණක් නොව ඉතිහාසයටද ගොබෙල්ස් න්‍යාය භාවිතා කළ හැක

    ReplyDelete
  2. දැන් ඔය පැත්ත අයිති අපිට නෙමෙයිනේ, ඒ නිසා ඕවා බෞද්ධ උරුම විදිහට කියනවට වඩා කුවේණි ගේ මාළිගය කියල කියන එක ඒ ඒ අයට වැදගත් නේ, මේවා ඉස්මතු නොවෙන්නේ ඒ අනුව වෙන්නත් පුළුවන්...

    ReplyDelete
  3. ඔව් බදූර්දීන්ගේ කාන්තාරිකරණ ව්‍යාපෘතිය සාර්තකව ඉදිරියට ගිය දවසක මේ ගල් කනුත් පකිස්තානෙන් ගෙනත් පදින්චි කරන අන්තවාදියෙකුගේ ගෙදරක කොන්ක්‍රිට් එකක් වෙන්න බැරි නැහැ.

    ReplyDelete