Monday, November 28, 2016

චෙං හෝ ගේ චීන මායම, ගාලු ත්‍රිභාෂා සෙල්ලිපිය සහ නූතන 'අලCaseවරලා'

"විජයබාහු රජු රජකරන අවධියට මහාජීනේ දොස් රජ සෙනඟ ගෙන මේ ලකට ගොඩ බැසලා පඬුරුපාක්කුඩම් ගෙන එනවාය කියා මායම් කර පරාක්‍රමබාහු රජ රජ කරන අවධියේදි පඬුරුපාක්කුඩම් ගෙනෙන්නහ. ඒ සැටි සිතා ගෙන ඉඳලා විජයබාහු රජ අනුවනකම් කොට දොස් රජුට අසුව උපායෙන් අල්ලාගෙන ගියාහ. ඒ රජුගේ මල්බෑ සතරදෙනාත් නැසීලා නැතක් හමුදාවත් වැටිලා අල්ලාගෙන දොස් රජ මහාජීනයට ගියාහ."

චීන මායමට හසුවූ රජු
මහා චීනයේ (මහාජීනයේ) රජු විසින්  හතර වන විජයබාහු (ක්‍රි.ව. 1270-1272රජුව මායමක් මගින් රවටා අල්ලගෙන ගිය ආකාරය රාජාවලි කතුවරයා පැහැදිලි කරන්නේ එසේය. එහෙත් ඇත්ත වශයෙන්ම එම ඉරණමට මුහුන දෙන්නේ හතර වන විජයබාහු රජු නොව ප්‍රාදේශිය පාලකයකු ලෙස ගම්පොල පස්වන බුවනෙකබාහු (ක්‍රි.ව. 1372-1408) රජු යටතේ කෝට්ටේ සිටි වීර අලකේශ්වර බව වෙනත් මූලාශ්‍ර මගින් හෙලිවේ. රාජාවලියේ මෙම පටලැවිල්ලට හේතු වී ඇත්තේ  හතර වන විජයබාහු සහ පස්වන බුවනෙකබාහු අතර ශතවර්ෂයකට අධික කාලයක් පිළිබඳ විස්තර  එහි ඇතුලත් වී නොමැති නිසාය. රාජාවලියට පසුබිම් වූ 'පූජාවලිය' සහ 'අලකේශ්වර යුද්ධය' යන කෘතින් වල සඳහන් නොවන  එම කාලය පිළිබඳ විස්තර රාජාවලිය කල කතුවරයා නොදැන සිටීම නිසා පූජාවලියේ සඳහන් අවසාන රජු වන හතරවන විජයබාහු චීන මායමට අසුවූ රජු ලෙස ඔහු වරදවා වටහා ගනී. මක්නිසාද යත් අලකේශ්වර යුද්ධය ආරම්භ වනුයේ මෙරට රජෙකු චීනයට අල්ලාගෙන යනු ලැබීමේ පුවතක් සමග බැවිනි. මෙහි සඳහන් වන දොස් රජුද ජාවක යන්නෙන් බිඳුනු වචනයක් විය හැකි බව මහාචාර්ය A,V. සුරවීර අනුමාණ කරයි. හතරවන විජයබාහු රජු සමයේ සිදුවූ චන්ද්‍රභාණු නම් ජාවක රජුගේ ආක්‍රමණය සහ චීන ආක්‍රමණය මිශ්‍ර කර ගැනීමක් මෙහිදී රාජාවලි කතෘ සිදුකරගෙන ඇති බවක් පෙනේ. මේ පිළිබඳ වු විස්තර චෙං හෝ සමග පැමිණි පහත විස්තර වන පෙයි ෂිං (Fei Hsin) විසින් ලියා තැබූ වාර්තා වල ඇතුලත්ය.

කවුද මේ චෙං හෝ?
චීන මූලාශ්‍ර අනුව චෙං හෝ යනු තුන්වන මිං (Ming) අධිරාජ්‍යයා වූ චීයන් ත්සු[Cheng Tsu] ( යුං ලෝ[Yung Lo] ලෙසද හඳින්වේ ) විසින් නාවුක යාත්‍රා 62 පවරා දක්ෂිණ ප්‍රදේශය ගවේෂනයට යෙදවූ නාවිකයාය. වසර 30 පුරා ඔහු ගවේෂණ හතක් සිදු කල අතර වර්ෂ 1405 සිට 1407 දක්වා සිදු කල ඔහුගේ ප්‍රථම ගවේෂණයේදිම ඔහු "සිංහලයන්ගේ රටට"(Hsi-lan) පැමිණියහ.  එහෙත් පස්වන බුවනෙකබාහු (1372-1408) රජුගේ ප්‍රභූරාජයා වූ වීර අලකේශ්වරගෙන් (A-lie-kou-nai-eul) ඔහුට ලැබුනේ එතරම් හොඳ සැලකිල්ලක් නොවේ. චීන මූලාශ්‍ර වැඩිදුරටත් පවසනුයේ වීර අලකේශ්වර යනු ජනතාව පීඩනයට පත් කල කුරිරු ඒකාධිපතියෙක් බව සහ ඔහු බුදුන්ගේ දහමට ගෞරව නොකල බවය. තත්වය තේරුම් ගත් චෙං හෝ ආපසු ගියමුත් චීන අධිරාජ්‍යාගෙන් මෙරට රජුට තුටු පඬුරුද රැගෙන ඔහුගේ දෙවන වර මෙරටට පැමිණි ගමනේදීද වීර අලකේශ්වරගෙන් සතුටු දායක ප්‍රතිචාරයක් දක්නට නොහැකිවූ කල වීර අලකේශ්වරගේ  බල සෙන් සමග සය දිනක් සටන් කර ඔහු සහ ඔහුගේ පවුල ජිවග්‍රහයෙන් අල්වාගෙන වර්ෂ 1411 දී චීනයට රැගෙන ගොස් ඇත. කෙසේ නමුත් චීන අධිරාජ්‍යයා ඔවුන්ට හොඳින් සලකා  පසුව නැවත මෙරටට එවා ඇති බව එම මූලාශ්‍ර වැඩිදුරටත් කරුණු දක්වයි.

ත්‍රිභාෂා සෙල්ලිපිය
චීන, දෙමළ සහ පර්සියානු භාෂා තුනෙන්ම ලියැවුනු සෙල්ලිපියක් අඩංගු ගල් පුවරුවක් වර්ෂ 1911 දී ගාලු දිසාවේ පලාත් ඉංජිනේරුවරයා වූ H.F. තෝමලින් (H.F. Tomalin) හට ගාලු නගරයේ බෝක්කුවකට යොදාගෙන තිබියදි හමුවිය. එහි චීන භාෂාවෙන් ඇති කොටසේ සඳහන් වනුයේ මිං රාජාවලියේ අධිරාජ්‍යයා වූ යුං ලෝ ඔහුගේ හත්වන රාජ්‍ය වර්ෂයේදී (ක්‍රි.ව. 1409 -1410 අතර ) මෙරට දකුණු සාගරයේ කඳුකර දූපතක පිහිටි බෞද්ධ විහාරයකට ඔහුගේ නියෝජිතයන් වූ චිං හෝ (Ching Ho) සහ වැං චිං ලියං (Wang Ching Lien) ඇතුලු පිරිස යවා සිදුකලා වූ පූජාවන් ගැනය. රත්‍රන්, රිදී, පට සලු, පිත්තල භාණ්ඩ ඇතුලු පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක් පිළිබඳ විස්තර එහි ඇතුලත්ය. දෙමළ භාෂාවෙන් වූ කොටසේ දැක්වෙනුයේ චීනයේ මහා රජු ඉලංකෙයි හි (Ilankai - එනම් ලංකාවේ) 'තෙනවරයි හි දෙවියන්' (God of Tenavarai - එනම් දෙවිනුවර දෙවියන්. වෙනත් සිංහල මූලාශ්‍ර වල දැක්වෙන ලෙසට දෙවිනුවර වූවේ සිංහල දෙවිකෙනෙකු වූ උපුල්වන් දෙවියන්ගේ දේවාලයකි. මේ කාලය වන විට විශාල වශයෙන් විදේශික වෙළෙන්දන් ගැවසුන නැව් තොටමුනක් වූ දෙවිනුවර එම බලපෑම් නිසා හින්දු දෙවි කෙනෙක් වූ විෂ්ණු දෙවියන්ගේ දේවාලයක් බවට පරිවර්තනය වී තිබුණා විය හැක) උදෙසා එම නියෝජිතයන් දෙදෙනා ලවාම සිදු කල පූජාවන් ගැනය (ඔවුන්ගේ නම් සිංවෝ(Cinvo) සහ උවිං කුවිං(Uvin Cuvinn) ලෙස දෙමළෙන් සඳහන් වුවද ඒ ඉහත සඳහන් චිං හෝ සහ වැං චිං ලියං ලෙසම හඳුනාගත හැක ). පූජා භාණ්ඩ අඩු වැඩි වශයෙන් ඉහත සඳහන් වූ ඒවාමය. බෙහෙවින් කියවීමට නොහැකි මට්ටමට පත්වී ඇති පර්සියානු ලිපියේ ද මිං අධිරාජ්‍යයාගේ හත්වන රාජවර්ෂයේ සිදුකල පූජාවක් සහ එම පූජා භාණ්ඩ ලේඛනයක් ඇති මුත් එම පූජාව සිදු කර ඇත්තේ කිනම් දෙවිකෙනෙකුටට යන්න පැහැදිලි නැත. 'ඉස්ලාම්' (Light of Islam) යන වචනය ඇති බැවින් එම පූජාව අල්ලා දෙවියන්ට හෝ වෙනත් ඉස්ලාම් සාන්තුවරයෙකු උදෙසා කල බවට සැක කරන අතර ඉස්ලාම් දේවස්ථානයකට වුවද විය හැක. කියවිය හැකි කොටසේ වූ පූජා භාණ්ඩ අතර ඉහත ස්ථාන සඳහාද පූජා කල ඇතැම් දේ දැකිය හැක.

බෞද්ධ විහාරයක්, හින්දු විෂ්ණු හෝ සිංහල දෙවියෙකු වූ උපුල්වන් දෙවියන් සඳහා කල දේවාලයක් සහ ඇතැම් විට ඉස්ලාම් දේවස්ථානයක් යන විවිධ ආගම් වල පූජනීය ස්ථාන එවකට දෙවිනුවර වූ බව මෙම ශිලා ලේඛනය මගින් පැහැදිලි වේ. එසේම දෙමළ පර්සියන් සහ චීන භාෂා කතා කරන වෙළෙන්දන් , සංචාරකයන් සහ ඇතැම් විට ධර්ම ප්‍රචාරයේ යෙදුන විවිධ ආගම්වල පූජකයන්ද දකුණු ආසියානු කලාපයේ ජනාකීර්න නැව් තොටක් වූ දෙවුන්දරට ආවා විය හැක. නොමැති නම් භාෂා තුනකින් ලියැවුන සෙල්ලිපියක් මෙහි පිහිටුවීමේ අර්ථයක් නොමැත.

ලිපිය දෙවිනුවරින් ගාල්ලට - ගාල්ලෙන් කොළඹට
ඉහත සඳහන් පෙයි ෂිං ගේ වාර්තාවෙහි දැක්වෙනුයේ යුං ලෝ ගේ හත්වන රාජ්‍ය වර්ෂයේදී චෙං හෝ විසින් මෙම විහාරයට අධිරාජ්‍යයා වෙනුවෙන් රන් හා රිදී බඳුන්, රනින් අලංකාර කල ධජ ආදිය පිදූ බවයි . එමෙන්ම ගල් පුවරුවක්ද පිහිටවූ අතර රටේ රජුට සහ වෙනත් නායකයින්ට රාජකීය තිළිණද පිරිනැමූ බවය. ඔහුගේ වාර්තාවේ අන්දමට වීර අලකේශ්වර අල්ලාගනු ලබන්නේද මෙම සංචාරයේදීමය. දෙවිනුවර පිළිබඳව පෘතුගීසි ජාතික ක්ව්රෝස් විසින් තැබූ පසුකාලීන වාර්තාවකද සඳහන් වනුයේ එහි වූ දේව ප්‍රතිමාවන් ගැන පැහැදී චින රජවරුන් ඔවුන්ගේ අකුරු වලින් ගල් ටැම් වල ලියූ ලිපි එහි තිබූ බවය. ඉහත පෙයි ෂිං සහ ක්ව්රෝස් යන දෙදෙනාම සඳහන් කරන සෙල්ලිපිය ගාල්ලෙ තිබී හමුවූ මෙම ලිපිය බවට විවාදයක් නොමැත. බොහෝවිට පෘතුගීසීන් විසින්ම ගාලු කොටුව හෝ එහි වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විනාශ කල දෙවිනුවර ගල් කනු ආදිය ගෙනයාමේදී මෙම සෙල්ලිපියද ගාල්ල ප්‍රදේශයට ගෙන ආවා විය හැක.  (පෘතුගීසීන් විසින් දෙවිනුවර කල විනාශය පිළිබඳ විස්තර සඳහා -පරංගියා දෙවිනුවර ගිය හැටි) ඉංග්‍රීසීන් විසින් මුල් කාලයේ මාර්ග තැනීමේදී නැවත ඒවා ප්‍රයෝජනයට ගන්නට ඇත. කෙසේ නමුත් වර්තමානයේ මේ වටිනා ශිලා ලේඛනය කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

නූතන අලCaseවරලා
පැමිණ කුදලන් යෑමට චෙං හෝ ලා නැතත්, බුදුන්ගේ දහමට පමණක් නොව සිංහල ජාතියට සහ බෞද්ධ ශාසනයට පවා නිගරු කරන 'අලCaseවරලා' නම් මෙකලටත් එමට ඇත. කලාපයේ පමණක් නොව ලෝකයේම නැගී එන බලවතා වන චීන රාජ්‍යය සමග මිතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයේ ස්වාධීනත්වය පාවා නොදී රට දියුණු කරන විට මෙරට චීන කොලනියක් කරනවායැයි පවසමින් ඉන්දියාවේ සහ ඔවුන්ගේ බටහිර ස්වාමිවරුන්ගේ මායම් මතින් බලය ඩැහැ ගත් එවන් 'අලCaseවරලා' අවසානයේ යන එන මන් නැතිවූ කල නම් පෝලිමේ ගොස් හිඟමන් යදින්නේ චීනයෙන්ය. එපමණක් නොව රටේ ඉඩම්ද සින්නක්කරවම තබා ගන්නට චීනයට ලියා දි හමාරය. රට චීන කොලනියක් වනවා යැයි බෙරිහන් දුන් රතු අලි පැටව් මෙන්ම වරාය නගරය ගැන බෙරිහන් දුන් ඩොලර් හිඟන පරිසරවේදියෝද අද නිහඩය.

මූලාශ්‍ර
  • A History of the Cultural Relations Between Sri Lanka and China, An Aspect of the Silk Road, S.G.M. Weerasinghe, 1995.
  • Tamil Inscriptions in the Colombo National Museum, S. Pathmanathan, 2005
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1928-1933 Edited by S.Paranavitana, 1933
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.



Wednesday, November 16, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 2 - වක්වූ නැහැයක් වූ තිස්ස කරවූ කාඩිගල මංගලාරාමය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක මායිම් වන කලා ඔය හරස් කර බැඳි රාජාංගන ජලාශය සමීපයේ වර්තමානයේ කාඩිගල ලෙසින් හැඳින්වෙන කුඩා කඳු ගැටයක් මත  මාර්ගය ආසන්නයේ සිට පර්වතය මුදුනට නැගීමට ගලේ කපන ලද පියගැටපෙලක් දිස්වේ. ගල් පඩි 400 ක පමණ ප්‍රමාණයක් නැග කඳු මුදුනට පැමිණි කල නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරන ලද තරමක විශාල ස්ථූපයක නටබුන් දැකිය හැක. පර්වතය පාමුල සහ අතරමගද කුඩා ස්ථූප හෝ වෙනත් ගොඩනැගිලි වූ බවට සාධක ඇතිමුත් ඒවා බෙහෙවින්ම විනාශ කර දමා ඇත. 
මේ ස්ථානය පිළිබඳව මෑත යුගයේ මුල්ම සඳහනක් හමුවන්නේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් මහතා විසින් වර්ෂ 1895 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවේ තැබූ සටහනකය. විලච්චි කොරලයේ සීමාව ආසන්නයේ කලා ඔයේ වම් ඉවුරේ කාඩිගල නම් වූ ගල් පර්වතයේ මුදුනට නැගීමට තිබූ දිගු පඩිපෙල ආරම්භ වන ස්ථානයේ 'ගාමිණි අභය' කරවූ ශිලා ලේඛනයක් ගැන මෙන්ම නටබුන් වූ දාගැබක් සහ එවකට ගඩොල් ගොඩක් බවට පත්ව තිබූ  කලකට ඉහතදී විහාරයක්ව තිබූ ලෙනක දැකිය හැකි වූ බුද්ධ සහ විෂ්ණු ශිලා ප්‍රතිමා දෙකක් ගැනද ඔහු විස්තර කරයි. කඳු මුදුනේ තිබූ දෙවෙනි දාගැබ කිසිවෙකු විසින් හෝ විනාශ නොකර තිබූ අතර එහි ශිලාමය කොත එය තිබිය යුතු ස්ථානයේම තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ සමග පලවන රූපයේ දැක්වෙන්නේ බෙල් සඳහන් කල ස්ථූපයේ වර්තමාන ස්වරූපයයි. කොත තිබූ ස්ථානයේ අඩි ගනනාවක් පහලට හෑරූ වල අනිත් රූපයෙන් දැක්වේ. පැරණි ආගමික ස්ථාන වල අගනා වස්තුව ඇතැයි යන මිත්‍යාවෙන් පෙලනු ලැබූ අමනයන් විසින් එම අගනා ජාතික උරුමය සදහටම වනසා දමා ඇත.  මිට අමතරව විහාර ගෙයක් තිබූ බවට බෙල් සඳහන් කරන පර්වතය පාමුල වූ ගල් ලෙනේ මේ වන විට දේවාලයක් පිහිටුවා ඇත.

H.C.P. බෙල් සඳහන් කරන ශිලා ලිපිය පසු කලක නිවැරදිව කියැවූ සෙනරත් පරණවිතාන මහතා එය වහබ රජුගේ පුත් වූ තිස රජ විසින් සිය මව් වූ ජිත දේවියට පිං පිණිස යමක් කරවූ බව සදහන් වන ලිපියක් බව පවසයි. ලිපියෙන් ඔහු විසින් කරවූ දෙය පැහැදිලිව ඉදිරිපත් නොවන මුත් එය පිහිටවූ ස්ථානය සහ එහි වර්තමානයේ දැකිය හැකි නටබුන් අනුව එය මේ ස්ථානයේ තිබූ ආරාමය බව පැහැදිලිය. ශිලා ලිපියේ දැක්වෙන වහබ රජු වසබ රජු (ක්‍රි.ව. 65-109) බවත් තිස ලෙසින් හැඳින්වෙන ඔහුගේ පුතු වංකනාසික තිස්ස (වක් වූ නහයක් ඇති තිස්ස ) ලෙසින් මහාවංශ කතෘ නම් තැබූ රජු (ක්‍රි.ව. 109-112) ලෙසත් පහසුවෙන් හඳුනාගත හැක. මේ හඳුනාගැනීම තවදුරටත් තහවුරු වන්නේ මහාවංශයේ වංකනාසික තිස්ස රජු ගැන සදහන් වන විස්තරයේ දැක්වෙන වෙනත් සදහනකිනි. මහාවංශ කතෘ වංකනාසික තිස්සගේ තුන් අවුරුදු පාලන කාලය පිළිබඳ වූ කෙටි විස්තරයේ ඇතුලත් කරන එකම වැදගත් කටයුත්ත නම් ඔහු විසින් ගෝණ නදී තීරයේ කල මහාමංගල නම් වූ විහාරයයි. 
රාජාංගනය ජලාශය සහ කාඩිගල පර්වතය
 වංශ කතා වල එන ගෝණ නදිය යනු වර්තමානයේ කලා ඔය ලෙසින් හැඳින්වෙන නදිය බව හඳුනාගෙන ඇත. ඒ අනුව කලා ඔය හරස් කර මෑත කාලයේ තැනවූ රාජාංගන ජලාශය ඉවුරේ වූ මෙම ස්ථානයේ එවකට වූ විහාරය වංකනාසික තිස්ස රජු කරවූ මහාමංගල වෙහෙර බව පැහැදිලිය. (දීපවංශයද වසබ රජුගේ පුත් තිස්ස විසින් මංගල නම් වූ ආරාමයක් කල බව පවසන මුත් එය පිහිටි ස්ථානය ගැන කිසිවක් සඳහන් නොකරයි.)
පර්වතය මුදුනේ ඇති කටාරම් කෙටූ ලෙනක්
මහාවංශයේ සඳහන් වන ලෙසට වසබ රජු තම අගමෙහෙසිය ලෙස පත් කරගත්තේ ඔහුට රජය ගැනීමට උපකාරී වූ පොත්ථා නමින් හැඳින්වූ  සිය මාමාගේ බිරිඳය. මෙම ශිලා ලේඛනයේ සඳහන් වන වසබ රජුගේ පුත් තිසගේ මව වන ජිත දේවිය යන්න සමග නම් එය නොගැලපේ. ඇතැම් විට වසබ රජුට වඩා බෙහෙවින් වැඩි වයසින් යුත් පොත්ථා අභාවයට පත් වූ පසු අභිෂේක කල අගමෙහෙසිය ජිත දේවිය විය හැක.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Deepavamsa, Hermann Oldenberg, 1879
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, Central And North - Western Provinces, Annual Report 1895.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.