අම්පාර දිසාවේ
අක්කරපත්තුවට ආසන්නව
සමන්තුරය සහ
අක්කරපත්තුව අතර පිහිටි විශාල දාගැබේ බටහිර වාහල්කඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1964 දී තහවුරු කිරීම සඳහා කැණීම් කිරීමේදී රන් කරඩු තුනක් හමුවිය. ඉන් එකක තිබූ රන් සන්නසක දෙවන සියවසට පමණ අයත් සිංහල අක්ෂර වලින් සටහන් කර තිබුණේ
නක මහ රජුගේ පුත්‍ර මලිතිස මහ රජුගේ රන් දාගැබයි යනුවෙනි. එම කැණිම සිදුවන කාලය වන විටත් වංශ කතා වල සඳහන් වන
දීඝවාපි දාගැබ ලෙස ජනප්‍රිය වී තිබූ එම ගරා වැටුණු විශාල දාගැබ 1924 දී පමණ භික්ෂුන් නැවත එහි පදිංචියට පැමිණීමට පෙර
නකා වෙහෙර ලෙස හැඳින්වූ බව Historical Topography of Ancient and Medieval Ceylon නම් ග්‍රන්ථයේ
C. W. නිකොලස් මහතා සඳහන් කරයි. මෙම ස්ථානය භික්ෂු වාසයක් වීමත් සමග ජනප්‍රිය ලෙස සහ බොහෝවිට නිවැරදිව එය නැවතත්
දීඝවාපිය ලෙස හැඳින්වීමට පටන් ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි (කෙසේ නමුත් පූජ්‍ය
එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ 1916 දී ගන වනයෙන් වැසී තිබූ මෙම ස්ථානය සොයාගිය
කොහුකුඹුරේ රේවත මහ තෙරුන් වහන්සේ මෙම ස්ථානය අසල ගසක පැලක් සාදාගෙන නේවාසිකව වැඩ විසූ බවයි. වන සතුන් මැද ඉතා දුෂ්කර දිවියක් ගෙවූ උන් වහන්සේ වර්ෂ 1950 දී මුස්ලිම් ජාතිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන තෙක්ම එහි වැඩ විසූ බවත්
මේධානන්ද හිමියන් සඳහන් කරයි.)
|
විනාශ වූ බුදු පිළිම කොටස් |
නිසැකවම මෙම දාගැබමදැයි පැවසිය නොහැකි මුත් මහාවංශයේ අවසාන වරට
නකා චේතිය යනුවෙන් ස්තූපයක් පිළිබඳව සඳහන් වන්නේ
කිර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) රජතුමන් ගැන සඳහන් කිරීමේදීය. "...
මහා යසස් ඇති ඒ ජනේන්ද්‍ර තෙමේ මහියංගණ චේතියට හා නකා චේතියට ගොස් රාජතේජසින් මහ පුද පවත්වමින් වැඳ පින් රැස් කල..." බව එහි සඳහන් වේ.
ඉහත සඳහන් වූ රන් සන්නසේ එන
නක මහරජු වංශ කතා වල දැක්වෙන
මහල්ලක නාග (ක්‍රි.ව. 136-143) රජු ලෙසත්
මලිතිස මහ රජ
කණිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167-186) රජු ලෙසත් පැරණි
රෝහණ රාජ්‍යයේ නොයෙකුත් ස්ථාන වලින් හමුවූ වෙනත් සෙල්ලිපි සාධක ඇසුරින් හඳුනාගත හැක. එසේ නම් මෙම දාගැබ
කණිට්ඨ තිස්ස රජුගේ නිර්මාණයක්ද?
|
දීඝවාපියේ නටබුන් වූ වාහල්කඩක් |
මහාවංශයේ මුල් වරට
දීඝවාපි යන නම කියවෙන්නේ බුදුන් වහන්සේගේ තුන්වන ලංකාගමණය පිළිබඳ විස්තරයේදීය. බුදුන් වහන්සේ
සුමණකූටයේ සිරිපා පිහිටුවා එහි පාමුල දිවා විහරණයෙන් අනතුරුව
දීඝවාපියට නික්මුණ බව සඳහන්ය.
දීඝවාපියේ චෛත්‍ය ස්ථානයේ සංඝයා සමග වැඩ හිඳ සමාධියට සමවත් වූ බව එහි විස්තර කෙරේ. මේ සිදුවීම විස්තර කරන
සිංහල ධාතුවංශයට අනුව උන් වහන්සේ දිවා විහරණයෙන් අනතුරුව ...දි
ගා නකයෙහි දාගප් වහන්සේ බඳනා ස්ථානයෙහි වැඩ හිඳ පන්සියයක් පමණ රහතුන් හා සමග සමාපත්තියට සමවැද මහාසේන නම් වූ දිව්‍ය පුත්‍රයෙකු ආරක්ෂා පිණිස එතැන්හී රඳවා...එයින් නැඟී රැවන්වැලි සෑය බඳනා ස්ථානයට පැමිණුන බව පවසයි.
|
දීඝවාපියේ පිළිම ගෙයක අවශේෂ |
මහාවංශයේ පුරාවෘත්ත ආශ්‍රිතව ගොඩනැගුණු කොටසේම ඇතුලත්
පඬුවස්දෙව් රජු පිළිබඳ විස්තරයේ සඳහන් වන පරිදි ඔහුගේ මෙහෙසිය වූ
භද්දකච්චානා කුමරියගේ සොහොයුරන් විසින් ලක්දිව ඉදිකල ජනපද අතර
දීඝායු කුමරා විසින් පිහිටවූ
දීඝායු ග්‍රාමයද වේ. පසු කලක
දීඝවාපි පෙදෙස ලෙස වංශ කතා වල දැක්වෙන්නේද එම
දීඝායු ජනපදය විය හැකි බව පොදු පිළිගැනිමය.
දීඝවාපි යන්නෙන් දික් වූ වැවක් යන අරුත එනමුත්
දීඝායු ජනපදයේ පිහිටි වැව යන නමද ඉන් ගිණිය හැක. මෙම වැව වර්තමානයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද යන්න මෙතෙක් පැහැදිලිව සොයාගෙන නොමැත.
මහාවංශයේ විසි හතර වන පරිච්ඡේදයේ
උතුරේ
එළාරගේ බලමුළු වලින් රෝහණ දේශය ආරකෂා කරගැනීමේ
කාකවණ්ණ තිස්ස රජුගේ සේනා සංවිධානය පිළිබඳ විස්තරයේ සඳහන් වනුයේ
කාකවණ්ණ තිස්ස රජතුමන් බල සේනා සහ රථ පිරිවරා සිය දෙටු පුත්
තිස්ස කුමරුන්
දීඝවාපියේ රඳවා එම පෙදෙසේ ආරක්ෂාව තහවුරු කල බවයි.
කාකවණ්ණතිස්ස රජුගේ අභාවයෙන් පසු
දීඝවාපියේ සිට පැමිණෙන
තිස්ස කුමාරයන් මවු වූ
විහාර දේවිය සහ
කණ්ඩුල ඇතු රැගෙන නැවත යන්නේද
දීඝවාපියටය. නැවත
මහාගාමයට පැමිණෙන
දුට්ඨගාමිණි කුමරුන් සහ
තිස්ස කුමරු අතර ඇතිවන සටනින් පැරදි
තිස්ස කුමරු පසුබසින්නේද
දීඝවාපියටය. ඉනික්බිති සංඝයාගේ මැදිහත් වීමෙන් සිදුවූ දෙසොහොයුරන් අතර සමගියෙන් පසු
තිස්ස කුමරු
දීඝවාපියේ සිට ගොයම් කරවූ බව
මහාවංශය වැඩිදුරටත් විස්තර කරයි.
|
දීඝවාපියේ නටබුන් වූ ශෛලමය නිර්මාණ කොටස් |
දුට්ඨගාමිණිගේ අභාවයෙන් පසුව රජ වූ
තිස්ස කුමරුන් (
සද්ධාතිස්ස )
අනුරාධපුරයේ සිට
දීඝවාපිය දක්වාම යොදුනක් පාසා විහාර ඉදි කර
දීඝවාපියේද විහාරයක් සහ චෛත්‍යයක් බැඳවීය.
පුජාවලි කතෘ මෙය විස්තර කිරීමේදී ...
සැදෑතිස් රජු දිගානකාදී වෙහෙර කරවා....යනුවෙන්ද
රාජාවලිය සැදැහැතිස්ස රජ රාජ්ජයට පැමිණ දිගානක වෙහෙර කරවා... යනුවෙන්ද සඳහන් කරයි. ඒ අනුව
දීඝවාපි වෙහෙර,
දිගානකා වෙහෙර,
දිගානක වෙහෙර හා පසු කාලීනව
නකා වෙහෙර යන මේ සියළු නම් වලින් හැඳින්වෙනුයේ එකම වෙහෙරක් බව පැහැදිලිය.
දීඝවාපිය ගැන කියවෙන තවත් අට්ඨ කතා සහ සෙල්ලිපි සාධකද ඇත*.
|
දීඝවාපි ස්තූපයේ වාහල්කඩක නටබුන් වූහි කැටයම් ගල් පුවරු |
වංශ කතාව අනුව නම්
දීඝවාපිය සද්ධාතිස්ස රජුගේ (ක්‍රි.පූ. 137 - 119) ඉදිකිරීමකි. රන් සන්නසේ සඳහන් පරිදි
කණිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167-186)
රජු එය නැවත පිළිසකර කලා විය හැක. කෙසේ නමුත් අද වන විට දෙමළ බෙදුම්වාදීන් සිය නිජ භුමියයැයි පවසන නැගෙනහිර පළාතේ මේ වන විට මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙසක පිහිටා ඇති
දීඝවාපි ස්තූපය සහ ඒ ආශ්‍රිත අනෙකුත් නටබුන් නිහඩව කියාපාන්නේ මේ දීඝවාපි දනව්ව හෙවත් වර්තමාන
දිගාමඩුලු භූමිය වනාහි මේ බිමේ ශිෂ්ඨාචාරය පිහිටවූ සිංහල ජාතියේ තවත් එක් හදබිමක් (H
eartland) බව නොවේද?
*
පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, එල්ලාවල මේධානන්ද ස්ථවිර.
ආශ්‍රිත පෙර ලිපි - නැගෙනහිර බොදු උරුමය 1 - මිහිඳු හිමි භෂ්මාවශේෂ පිහිටුවා රජගල ඉදිකල ස්තූපය
මූලාශ්‍ර
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, එල්ලාවල මේධානන්ද ස්ථවිර.,
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
- සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
- Souvenirs of a Forgotten Heritage, Gamini De S.G. Punchihewa, 2008
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- History of Sri Lanka, W.I. Siriweera, 2012
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
- Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967