Tuesday, January 24, 2023

රජ ගමණි අබය නියමයෙන් වනනදී මුවදොර ගොඩපවත අන්තර්ජාතික වරායෙන් තීරු බදු ලැබූ ගොඩපවත විහාරය

ගොඩවාය අසලදී වලවේ ගඟේ මෝය කට

සිද්ධම් ගොඩපවත පටනහි සු[ඛ] සු[රි]යි රජ ගමණි අබය විහරට දිනි.

සෙනරත් පරණවිතාන මහතා මෙම ගිරි ලිපියේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ මේ ආකාරයෙනි. 

Success! The custom duties of the port of Godapavata, king Gamani Abhaya granted to the Vihara. *

ගමණි අබය රජු ගොඩපවත වරායේ තීරු බදු විහාරයට දුන් බව කියැවෙන මෙම ගිරි ලිපිය ඇත්තේ හම්බන්තොට දීස්ත්‍රික්කයේ ගොඩවාය ප්‍රදේශයේ වර්තමානයේ ගෝඨපබ්බත රජමහා විහාරය ලෙසින් හැඳින්වෙන විහාරයේ ඇති ගල් පර්වතයකය. මෙහි සඳහන් ගමණි අබය රජු පළමුවන ගජබාහු (පො.ව. 114-136) හෝ ඔහුට පෙර සිටි ආමණ්ඩ ගාමිණි අබය (පො.ව. 19-29) වැනි අයකු බවය පරණවිතාන මහතාගේ අනුමාණය. එතුමා වැඩිදුරටත් පවසන්නේ ලිපියේ අන්තර්ගතය අනුව ඔවුන් අතරින් නිසැකවම කවුද යන්න කීමට සාධක ප්‍රමාණවත් නොවන බවය. පරණවිතාන මහතා පවසන පරිදි පළමු හෝ දෙවන සියවස් වලට අයත් අක්ෂර වලින් ලියා ඇති මෙම ගිරි ලිපිය සහ එම පර්වතයේම ඇති 'ගොඩව' යන වචනය සඳහන් 6 වන සියවසට පමණ අයත් අක්ෂර වලින් යුත් ලිපියක කොටසක් එතුමා 1930 වර්ෂයේදී පිටපත් කිරීමක්  සිදු කරන්නට පෙරද ඒවායේ පිටපත් කිරීමක් E.R. අයර්ටන් විසින් 1914 දී සිදුකර ඇත. ඒ මෙයට පෙර ලිපියකද (>>) අප සඳහන් කල දකුණු පළාතේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳව සොයා බැලීමට E.R. අයර්ටන් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස සිදු කල සිය අවසාන සංචාරය අතරතුරදීය (එම සංචාරයේදී තිස්ස වැවේ කුරුල්ලන් වෙඩි තබමින් සිටි හෙතෙම  වෙඩි තැබූ කුරුල්ලෙක් රැගෙන ඒම සඳහා පිහිනන අතරතුරේදී වැවේ ගිලී මිය යයි.)

ඉහත සෙල්ලිපි පිහිටි පර්වතය වහලයක් සහිත ආවරණයකින් ආරක්ෂා කර ඇති ආකාරය

* මෙම ලිපිය පසු කලක තරමක වෙනස් ආකාරයකින් කියවන හැරි ෆොල්ක් [Harry Falk] මහතා ඉදිරිපත් කරන පෙළ සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය පහත ආකාරයෙනි

සිද්ධම් ගොඩපවත-පටනහ සු[ඛ] සු[කියෙ] රජ ගමිණි විහරට දිනි.

siddham. Regular [suka] and Minor [sukiya] duties [due] in the emporium of Godapavvata are given to the (Buddhist) monastery (by) King Gamani Abhaya. 

ගෝඨපබ්බත විහාරයට නුදුරින් ගලා බසින වලවේ ගඟේ අතු ගංගාව

මෙම ගිරි ලිපි සහිත ගෝඨපබ්බත විහාරය පිහිටා ඇත්තේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි උස් භූමියක වන අතර ඒ අසලින් වලවේ ගඟ මුහුදට ගලා බසී (වර්තමානයේ වලවේ ගඟ ලෙසින් හැඳින්වෙන ගංගාව පොළොන්නරු යුගයේදි වනනදී ලෙසින් හඳුන්වා ඇත. >>) වලවේ ගඟ මෙම ස්ථානයට කිලෝමීටර 3.8 පමණ දුරකින් බටහිර දෙසට වන්නට පිහිටි වඳුරුප්පේ ප්‍රදේශයෙන්ද මුහුදට වැටෙන අතර ඇතැම් මූලාශ්‍ර වලට අනුව වඳුරුප්ප ප්‍රදේශයේ සිට තවදුරටත් නැගෙනහිර දිශාවට ගලා යන වලවේ ගඟේ මෙම කොටස මෙම ස්ථානයෙන් මුහුදට බැසීම 2004 වසරේ සුනාමියෙන් පසුව ඇතිවූ තත්වයකි. එයට පෙර එම කොටස මුහුදට බැසීම සිදුවී ඇත්තේ මෙම ස්ථානයට තවදුරටත් කිලෝමීටර 3 ක් පමණ නැගෙනහිර දෙසින් වූ පායිබොක්ක ආසන්නයෙන්ය. 60 දශකයේ ඇතිවූ ගංවතුර තත්වයකින් පසුවද එම ස්ථානය වෙනස් වූ බව පැවසේ.

ගොඩවාය මෝය සහ වලවේ ගඟේ ගමන් මග දැක්වෙන අවස්ථා දෙකකදි සැකසූ සිතියම්. ඉහල අඟලේ සිතියමක ගොඩවාය මෝය කට දැක්වෙන ආකාරය සහ පහල මෙට්‍රික් සිතියමක ගොඩවාය අසලින් මෝය කට වැසී ඇති ආකාරය

 කෙසේ නමුත් පැරණි අඟලේ සිතියමකට අනුව නම් වඳුරුප්පෙ ප්‍රදේශයෙන් මෙන්ම මෙම ස්ථානයෙන්ද වලවේ ගඟ මුහුදට බැසීම සිදුවී ඇත. එයට පසුකාලයකට අයත් එහෙත් සුනාමියට පෙර සිතියම් ගත කල මෙට්‍රික් සිතියම් වල අඟලේ සිතියමේ "වැලි සහිත එළිමහන් ප්‍රදේශය" ලෙසින් දැක්වෙන වැලි පරය මෙම ස්ථානයේද වර්තමාන මෝය කට වසාගෙන ඇති ලෙසට සිතියම් ගත කර ඇත. ඒ අනුව මෑතකාලීන නව මෝය කට ගොඩවාය ප්‍රදේශයේ ඇතිවන්නේ සුනාමියෙන් පසුව බව පැවසීම සත්‍යය නමුත් පසුගිය සියවසේ අඟලේ සිතියම් නිර්මාණය කල අවදියේද මෙම ස්ථානයෙන් වලවේ ගඟ මුහුදට බැසීමක් සිදුවී ඇති බව පැහැදිලිය. විවිධ කාලගුණික තත්වයන් යටතේ එවන් වෙනස් වීම් කාලෙන් කාලෙට සිදුවීම සාමාන්‍යයෙන් ස්වභාවික සංසිද්ධියක් වන අතර ගොඩපවත පැරණි වරාය මෙම ස්ථානයේ පැවති අවධියේද වර්තමාන ස්ථානයෙන් හෝ ඒ ආසන්න තැනකින් වලවේ ගඟ මුහුදට ගලා බැසීම සිදුවන්නට ඇත.  

ගමණි අබය රජුගේ සෙල්ලිපිය සහිත පර්වතය

ශ්‍රී ලංකාවේ පුරාණ සහ මධ්‍යතන යුගයේ ඓතිහාසික භූමි විස්තර පිළිබඳව C.W. නිකොලස් මහතා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට සැපයූ සිය දීර්ඝ ලිපියේ මෙම සෙල්ලිපිය සහ එම විහාරයත් ඒ අසල පිහිටි කුඩා බොක්ක ගැනත් පවසන්නේ කලාතුරකින් මේ අසලින් යාත්‍රා කරන නෞකාවක අවදානම් සහිත නැංගුරම් ලෑමකින් ලැබුන නොවැදගත් ආදායමක් විනා වැඩි යමක් තීරු බදු ලෙස මෙම විහාරයට නොලැබෙන්නට ඇති බවය. එහෙත් එය එසේ නොවන බව මතු විස්තර කෙරෙන පසු කාලීන පුරාවිද්‍යාත්මක ගවේෂණ වලින් අද වන විට සාධක සහිතව පෙනී ගොස් ඇත.

ගමණි අබය රජුගේ සෙල්ලිපිය
ගමණි අබය රජුගේ සෙල්ලිපිය සහිත පර්වතය - එයට පහලින් පිහිටි අනෙක් සෙල්ලිපියද රූපයේ ඊතලයකින් දක්වා ඇත

මෙම ගොඩවාය විහාරය සහ වර්තමාන ධීවර වරාය පිහිටි ස්ථානයට කිලෝමීටර 6 ක් පමණ උතුරින් පිහිටි බෙරගම ප්‍රදේශයෙන් සහ කිලෝමීටර 8 ක් බටහිරෙන් පිහිටි ලූනම ප්‍රදේශයෙන් අවස්ථා දෙකකදී අහඹු ලෙස රෝම අධිරාජ්‍යයේ පසු අවධීන්ට අයත් කාසි තොග දෙකක් හමුවී ඇත. 

1994 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් බොන් විශ්ව විද්‍යාලය (University of Bonn) එක්ව ගොඩවාය අවට ස්ථාන කිහිපයකම සිදු කල කැනීම් කිහිපයකදී පූර්ණ මැටි බඳුන්, මැටි බඳුන් කැබලි, ගඩොල්, මෙගලිතික සුසාන, කාල රක්ත වර්ණ මැටි බඳුන් කැබලි (Black and Red Ware) ආදිය  හමුවිය. එමෙන්ම පැරණි ගොඩනැගිලි අවශේෂ සහ ගඩොල් ප්‍රාකාරයක නටබුන් සහිත කුඩා කඳු ගැටයක් මත කල කැනීමකදී බුද්ධ රූපයක සිරසක්ද හමුවී ඇත. මෙහිදී හමුවූ වලන් කැබලි පො.ව. පළමුවන සියවසේ සිට 7-8 සියවස් දක්වා කාල නිර්ණය කර ඇත. තවද වර්තමාන විහාරයට වයඹ දෙසින් වලවේ ගඟ ආසන්නයේ සිදු කල කැනීමකදී මැටියෙන් කල තැටි කිහිපයක්, පබළු, මලකඩ කෑ යකඩින් කල කිසියම් වස්තු දෙකක කොටස්, සත්ව අඟකින් කල කැඩුණු භාණ්ඩයක් සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත  කුඩා ඊයම් වලල්ලක් ආදිය හමුවී ඇත. එම ප්‍රදේශය අවම වශයෙන් පොදු වර්ෂ 2-3 සියවස් වල සිට 7-8 සියවස් දක්වා බොහෝවිට අධික ලෙස ජනාකීර්න ප්‍රදේශයක්ව තිබෙන්නට ඇති බව එම කැනීමෙන් නිගමනය කර ඇත. 

පිළිම ගෙයි ප්‍රවේශය
ඉහත පර්යේෂණ කණ්ඩායම 1995 වර්ෂයේ ගොඩවාය වර්තමාන විහාර පරිශ්‍රයේ කැනීම් කිහිපයක් සිදු කරයි. එවකට විහාරාධිපති පූජ්‍ය බෙරගම සුමණසිරි හිමියන්ගේ අනුග්‍රහය ඇතිව සිදු කල එම ගවේෂණ වලදී පැරණි විහාරයේ පිළිම ගෙය ලෙස හඳුනාගත් ගොඩැල්ලෙන් විශාල බුදු පිළිමයක කැඩීගිය ගෙල, උරහිස්, පපුව පෙදෙස එහි දෙපා සහ එය පිහිටුවා තිබූ විශාල පද්මාසනය හමුවී ඇත. එම බුදු පිළිමය ආසන්න වශයෙන් මීටර 3.5 පමණ උස වන්නට ඇති බව එහි ඉතිරි වී ඇති කොටස් වලින් අනුමාණ කරන අතර එයට අමතරව බොහෝවිට බෝධිසත්ව ප්‍රතිමා විය හැකි මීටර 1.5 පමණ උස අවම වශයෙන් පිළිම දෙකක කොටස්ද මෙහි තිබී හමුවී ඇත. පිළිම ගෙයි පඩි කිහිපයක් සහ දෙපස පිහිටි කොරවක්ගල් සහ සඳකඩපහණ මෙන්ම මුරගල් වල විය හැකි අවශේෂ දැකගැනීමට හැකි අතර මෙතෙක් එහි පූර්ණ කැනීමක් සිදුකර සංරක්ෂණයක් සිදු කර නැත (මේ සමග ඇති ජායාරූප බලන්න.) මෙම පර්යේෂණ කැනීම් මගින් හමුවූ දේ අනුව දෙවන සියවසේ සිට 13 වන සියවස දක්වා මෙය භාවිතයේ තිබී ඇති බවට සාධක හමුවී ඇත. පිළිම ගෙය ඉදිකිරීමේ පො.ව. 2-5 සියවස් අතර කාලයට අයත්  අවධි දෙකක් මෙහිදි හඳුනාගෙන ඇති අතර, පො.ව. 5-8 අවධියට අයත් විය හැකි තුන්වන අවධියක්ද නිරීක්ෂනය කර ඇත. එම තුන්වන අවධියේදී එම ගොඩනැගිල්ල එහි උතුරු පෙදෙසින් විශාල කර අලුත්වැඩියා කර ඇත.  8 වන සියවසේ පමණ මෙය අතහැර දැමූ බවට සාධක හමුවන මුත් 13 වන ශතවර්ෂයට අයත් ලීලාවති රැජිණගේ (පො.ව. 1197-1200, 1209-1210, 1211-1212) කාසි හමුවීමෙන් ඒ දක්වා එහි වන්දනාමාන සිදුකරන්නට ඇති බවට විශ්වාස කෙරේ. එම කාසි හමුවී ඇත්තේ මෙහි තිබූ කවඩි 2000 ක පමණ එකතුවක් සමගිනි.
පිළිම ගෙයි ප්‍රවේශය

 පිළිම ගෙය ආසන්නයේම ඇති පැරණි උපෝසථඝරය ලෙස හඳුනාගන්නා ගොඩනැගිල්ලේ ගල් කණු 14 ක් දැනට දැක ගත හැකි අතර පිළිම ගෙය ගොඩැල්ලෙන් මෙන්ම මෙම ස්ථානයේ කල කැනීම් මගින්ද මැටි පහන් ආදියේ අවශේෂ හමුවී ඇති අතර ඒවා 2-3 සියවස් වල සිට පොළොන්නරුව යුගය (11-13 සියවස්) දක්වා කාල නිර්ණය කර ඇත. 

උපෝසථඝරය
මෙම විහාර පරිශ්‍රයේ උසම ස්ථානයේ පිහිටි පැරණි දාගැබ වර්තමාන විහාරය ඉදිකිරීමත් සමග අළුත්වැඩියා කර ඇති අතර එම ස්ථානයට පහලින් පිහිටි ගල් පර දෙකක් අතරද කිසියම් ගොඩනැගිල්ලක් තිබූ බවට නටබුන් හමුවී ඇත. එහි ඇති උතුරු දෙසට විහිදුන ගල් පරයේද සෙල්ලිපි දෙකක් හමුවී ඇත. පැරණි විහාර පරිශ්‍රය වටා පිහිටි ප්‍රාකාරයේ නටබුන් අතරින් පතර දැනටත් ශේෂ වී ඇති බවට ඉහත සිදු කල ගවේෂණයේදී හඳුනාගෙන ඇති අතර එය පිටතින් ගල් වලින් සහ ඇතුලතින් ගඩොල් වලින් ඉදිකර ඇති බවට එහිදී නිරීක්ෂණය කර ඇත. ස්තූපයේ සිට ගිණිකොණ දෙසින් වරාය දෙසට යොමුවූ ද්වාරයක ලක්ෂණද හඳුනාගෙන ඇත. තවද 1998 වසරේදී මෙම ද්වාරයට උතුරින් විහාරයේ ප්‍රාකාරයට පිටතින් එයට සම්බන්ධව පිහිටි මීටර 11 X 11 ප්‍රමාණ සමචතුරශ්‍ර ගොඩනැගිල්ලක නටබුන් සොයා ගන්නා අතර මෙය තීරු බදු අය කල ගොඩනැගිල්ල ලෙසට අනුමාණ කෙරේ. එහි බිත්ති ඇත් සහ නෙළුම් මල් රූප වලින් යුත් ගඩොල් වලින් අලංකාර කර තිබූ බවත් යකඩ ඇණ වලින් සවි කර උළු සෙවිලි කල වහලයක් එයට තිබී ඇති බවත් හමුවූ සාධක අනුව නිගමනය කර ඇත. තවද එම ගොඩනැගිල්ල 5-8 සියවස් වලදී භාවිතයේ තිබී ඇති බවටද සාධක හමුවී ඇත. 
පිළිම ගෙය තුලින් හමුවූ කැබලි වූ බුදු පිළිමයේ ගෙල, උරහිස සහ පපුව කොටස

වාර්තා වී ඇති ආකාරයට මේ ප්‍රදේශයේ මෑත කාලයේ මුල් ජනාවාස 1940 දී පමණ ආරම්භ වී ඇති නමුත් 1960 දක්වාම විශාල ප්‍රදේශයක් ජනශූන්‍ය ලෙස තිබී ඇත. වර්තමානය වන විට මෙම විහාරය අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ මිනිසුන් පදිංචි ප්‍රදේශයකි. එලෙස ජනාකීර්ණ වීමත් සමග නිවාස ඉදිකිරීම සහ ඒ වෙනුවෙන් අවශ්‍ය ගඩොල් සෑදීම උදෙසා පොළොව කැන මැටි ලබාගැනිම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මේ අවට පැරණි ජනාවාස සාධක බොහොමයක් විනාශ වී ඇති මුත් 1994 වසරේ සිට 1997 දක්වා සිදු කල පුරාවිද්‍යා ගවේෂණ මගින් වැදගත් තොරතුරු බොහෝමයක් හමුවී ඇත. ඒ අතර ඔපදැමූ උතුරු කාල වර්ණ මැටි බඳුන් ලෙසින් හඳුනාගන්න වලන් කැබැලි (Sherds of Northern Black Polished Ware), මුල් කාලීන චීන සෙලඩොන් බඳුන් කැබලි (Early Chinese celadon ware ලෙසින් හැඳින්වෙන මෙම බඳුන් මුලින්ම නිපදවා ඇත්තේ චීන ෂැන් රාජ වංශය [Shang Dynasty] පැවති යුගයේදීය. ගොඩවායේදී හමුවූ මෙම අවශේෂ බොහෝවිට පොදු වර්ෂ 220-280 දක්වා පැවැතුන චීන "තුන් රාජධානි" [Three Kingdoms] අවධියට අයත් බවට අනුමාණ කෙරේ. මෙය මෙරටින් වාර්තා වූ පැරණිම චීන සෙරමික් බඳුන් ලෙස හඳුනාගෙන ඇත.) ඔලිව් කොළ පැහැති ඔප දමූ ඝනකම විශාල උතුරු චීන සෙලඩොන් (Northern Chinese Celadons) වර්ගයට අයත් බඳුනක කැබැල්ලක්,  සැරසූ මැටි බෝල සහ තැටි (Decorated clay balls and discs made of pottery), වීදුරු කැබැලි, අඟුරු යබෝර, පබළු, සත්ව අස්ථි කොටසකින් තැනූ කොණ්ඩ කට්ටක්, කුඩා වංගෙඩියක්, කාසි, අස්ථි කොටස්, මැටි මුද්‍රා, පිහි, ඇණ, මිණි, වළලු, වර්ණ ගැන්වූ වලන් කැබැලි මෙන්ම ශිෂ්ණයක් වැනි මැටියෙන් කල වස්තුවක කොටසක්ද වේ [A 'Phallic modelled' fragment of pottery]. කැබැලි නොවූ මැටි බඳුන් ද හමුවූ අවශේෂ අතර තිබී ඇති අතර ඇතැම් අවස්ථා වල එක් බඳුනක් තවත් බඳුනක් තුල දමා තිබූ ආකාරයෙන්ද මතු කර ගෙන ඇත. 

ඉහත බුදු පිළිමයේ දෙපා සහ එය තබා තිබූ පද්මාසනය

 ගොඩවාය පැරණි වරායේ සිට වළව ගඟේ සැලකිය යුතු දුරක් යනතෙක් අවම වශයෙන් වර්තමාන ප්‍රධාන මාර්ගය තෙක්වත් (A2) පැරණි ජනාවාස තිබූ බවට මෙම ගවේෂණ වලින් සොයාගැනීමට හැකිවිය. එම ජනාවාස ප්‍රධාන අවධි තුනකට අයත් බවත් පළමු අවධිය පොදු වර්ෂ පූර්ව සහ පොදු වර්ෂ පළමුවන සියවස කාලයට අයත් බවත් අවසාන අවධිය 6-7 සියවස් වලට නිර්ණය කල හැකි බවත් හමුවූ අවශේෂ මගින් නිගමනය කර ඇත. ජනයා පදිංචි වී සිටි නිවාස තැනීම සඳහා හෑරූ කණු කුහර (Post Holes) මෙම කැනීම් වලදී හමුවී ඇති අතර එම නිවාස ප්‍රධාන වශයෙන් දැව සහ මැටියෙන් ඉදිකර තිබූ බවට සාධක හමුවී ඇත. එහෙත් අතරින් පතර නිවාස කිහිපයක් හෝ ගඩොල්, ගල් සහ කැටයම් කල උළු ආදියෙන් ඉදිකර තිබෙන්නට ඇති බවට මෙම ජනාවාස පිහිටි ප්‍රදේශයේ කල කැනීම් වලදී එම ද්‍රව්‍ය හමුවීමෙන් පැහැදිලිවේ. මෙම ගවේෂණයේ ප්‍රතිඵල අනුව 1998 වන විට පොදු වර්ෂ පූර්ව 3 - 2 සියවස් වලට අයත් ඉන්දියානු හස් එබූ රිදී කාසි [Indian silver punch-marked coins], 4-5 සියවස් වලට අයත් රෝම කාසි, නයිමන ලෙසින් හඳුන්වන ඒවායේ මෙරටදී තැනූ ව්‍යාජ අනුකරන, ලක්ෂ්මී ඵලක (Lakshmi plaques) ආදියේ සිට 13 සියවසේ පොළොන්නරු යුගයට අයත් කාසි හමුවී ඇත. 

පැරණි ස්තූපය තිබූ ස්ථානයේ ඉදි කර ඇති නව ස්තූපය, රූපයේ වම්පසින් ඇති ගල් පර්වතයේද සෙල්ලිපි කිහිපයක් හමුවී ඇත.

 ගොඩවාය ව්‍යාපෘතිය එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ සහ කැනීම් අංශයේ ප්‍රධානියා වූ ආචාර්ය W. විජේපාල මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්,  ආචාර්ය H.J. වයිසාර් [H. J. Weisshaar] මහතාගේ ප්‍රධානත්වයෙන් Commission for General and Comparative Archaeology of the German Archaeological Institute ආයතනයත්,  මහාචාර්ය H. රොත් [H. Roth] මහතාගේ නායකත්වයෙන් බොන් විශ්වවිද්‍යාලයේ Institute for Pre and Protohistoric Archaeology ආයතනයත් එක්ව සිදු කල ගවේෂණයකි. 

පැරණි ස්තූපය තිබූ ස්ථානයේ ඉදි කර ඇති නව ස්තූපය

1998 වසරේදී එම ගවේෂණ කණ්ඩායමට ඉහත මුලින්ම සඳහන් කල ගමණි අබය රජුගේ සෙල්ලිපියට මීටරයක් පමණ පහලින් එම ගල් පර්වතයේම තිබී තවත් බ්‍රාහ්මි සෙල්ලිපියක් හමුවන අතර හැරි ෆොල්ක් මහතා එය කියවා ඉදිරිපත් කල ඉංග්‍රීසි පරිවර්තනය පහත අකාරයෙනි.

Ahalaya, high official of King Gamini Abhaya, [his] brother [together] with his mother: the three together had a park made for the [Buddhist] community and gave it to the monastery of Godapavata.

He offered three karisas of lands of those public fields (called) Uvanakava.

The plot called Sati is given for the caitya.

 ඒ අනුව බොහෝදුරට කලින් සෙල්ලිපිය පිහිටවූ ගමිණි අබය රජුගේම අහලය නම් ඇමතිවරයා, සිය සහෝදරයා සහ මව සමග සංඝයා සඳහා උයනක් තනා එය ගොඩපවත විහාරයට පිරිනමා ඇත. තවද උවනකව නම් කරිස තුනක ප්‍රමාණය සහිත ඉඩමක්ද, සති නම් තවත් ඉඩමක්ද විහාරයේ ස්තූපයට පූජා කර ඇත.

ඉහත ස්තූපය සහිත රූපයේ වම් පසින් ඇති පර්වතයේ ඇති සෙල්ලිපියක්

මේ සමග සිදු කල සොයාබැලීමේදි තවත් කුඩා සෙල්ලිපි හතරක් හමුවී ඇති අතර ඒවා සොයාගැනීමට ආසන්න කාලකයදි සිදු කල පිපිරවීමක් හේතුවෙන් විශාල වශයෙන් විනාශ වූ ඉන් එක් සෙල්ලිපියක මහල්ලක නාග රජුගේ (පො.ව. 136-143) නම සඳහන් බව පැවසේ. මහාවංශයට අනුව දකුණෙහි ගොටපබ්බත විහාරය ඉදි කලේ මහල්ලකනාග රජුය. මහාවංශයේ මේ ගැන විස්තර වන ගාථාව විවරණය කරන එහි ටීකාව වන වංසත්ථප්පකාසිනීය ගොටපබ්බතං යනු ගෝට පාෂාණ පර්වතයෙහි ගෝට පබ්බත විහාරය යනුවෙන් අර්ථ නිරූපණය කරයි. ගෝට පාෂාණ හෙවත් කොට පර්වතය යන්න මෙම විහාරය ඉදි කර ඇති වෙරළ ආසන්නයේ පිහිටි උස් භූමියට මනාව ගැලපේ. එහෙත් දඹදෙණි යුගයේ (පො.ව. 1220-1293 ) මුල් භාගයේ රචිත ග්‍රන්ථයක් ලෙස සැලකෙන සිංහල ධාතුවංශයට අනුවනම් ගොඨපබ්බත විහාරය ගොඨාභය නම් රජ කතරගම දසබෑ රජ දරුවන් මරවා දඬුවම් පිණිස මාවැලි ගඟින් එතෙර සහ මෙතෙර කරවූ විහාර වලින් එකකි (මාවැලි ගඟින් එතෙර විහාර පන්සියයක් සහ මෙතෙර විහාර පන්සියයක් ඔහු කල බව එහි කියැවේ.)

ගොඩවාය ධීවර වරාය

ඉහත කී පුරාවිද්‍යාඥයන් කණ්ඩායම මෙම ප්‍රදේශයේ ගවේෂණ කටයුතු වල යෙදී සිටින අතරතුරේ 1997 වසරේ ජනවාරි මස ඇතිවූ සුළං සහිත කාලගුණ තත්වයත් සමග වෙරළ ඛාදනය වීමෙන් ගල් කණු 7 ක් 8 ක් පමණ මතුවූ බවත් ඒ සමග වෙරලේ දකින්නට තිබූ කුඩා රන් හා රිදී කැබැලි සහ විශාල ප්‍රමාණයක් වූ කාසි ඇතැම් පුද්ගලයන් විසින් එකතු කරගත් බවත් ඔවුනට දැනගන්නට ලැබේ. එහෙත් ඒ සමගම කෙටි කාලයකින් එම ගල් කණු ආදිය නැවත වැල්ලෙන් වැසී ගොස් ඇති අතර ඒවා මතුවූ නිශ්චිත ස්ථානය කිසිවෙකුට නිවැරදිව පෙන්විය නොහැකි වී ඇත. එහෙත් එම කණ්ඩායම එම වසරේම පෙබරවාරි මාසයේ වර්තමාන විහාරය පිහිටි මළුවට පහලින් පිහිටි ධීවර වරාය පිහිටි බොක්ක ප්‍රදේශයේ කැනීමක් සිදු කරයි. එහිදි ඔවුන්ට ගල් කණු 4 ක් පමණ හමුවේ. ඒවා එකම උස ප්‍රමාණයන්ගෙන් යුක්ත කිසියම් එක ගොඩනැගීමක් උදෙසා යොදාගත් ඒවා බවට හඳුනාගෙන ඇත. බොහෝවිට එම ඉදිකිරීම බඩු පැටවීම සහ බෑම උදෙසා යොදාගත් පාලමක් (Footbridge or Jetty) වැනි දෙයක නටබුන් විය හැකි බව අනුමාණ කෙරේ. මෙහිදී හමුවූ අනෙක් ද්‍රව්‍යය අතර සුදු පැහැ මැටියෙන් කල බඳුන් වල කැබැලි සහ කැනීමේ ඉහල ස්ථරයෙන් හමුවූ මෑත කාලින කාසි ආදිය තිබී ඇත. එම කාසි අතර පැරණිම කාසි 1734 වර්ෂයට අයත් VOC කාසි වන අතර 1945 වර්ෂයට අයත් කාසි මෑතම යුගය නියෝජනය කරයි. මෑතකදි නැවත වරක් එම ගල් කණු වෙරල ඛාදනයෙන් මතුවූ බවට ප්‍රදේශවාසීගෙන් දැනගන්නට ලැබුන අතර ඉහත කැණිමෙන් හමුවූ එක් කණුවක් වර්තමාන ධීවර වරාය පිහිටි ප්‍රදේශයට ඉහලින් සිටුවා ඇත. එය එම කණුව හමුවූ ස්ථානයමද යන්න සොයාගැනීමට නොහැකි විය.  

පැරණි ජැටියක හෝ පාලමක තිබූ ගල් කණු අතරින් එක කණුවක් ධීවර වරායට ඉහලින් සිටුවා ඇති ආකාරය

මෙම ස්ථානය අසල මුහුදේ කල ගවේෂණ වලදී පැරණි නැව් වල භාවිතා කල ශෛලමය නැංගුරම් දෙකක්ද හමුවී ඇත. අරාබි\ඉන්දියානු වර්ගයේ නැංගුරම් වන ඒවායේ මධ්‍යයේ සතරැස් කොටුවක් විද ඇත. මේ ආකාරයේ නැංගුරම් 5 වන ශතවර්ෂයේ සිට 16 වන ශතවර්ෂය දක්වා කාලයේ භාවිතා කර ඇත. 

ගොඩවාය පැරණි වරාය පිහිටි මෙම ස්ථානයේ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් මුහුදේ ගිලී ඇති පො.ව. පූර්ව 200 ට පමණ කාල නිර්ණය කර ඇති දැවමය නෞකාවක්ද හමුවී ඇත. 2013 වසරේ සිට එම ස්ථානයේ සිදු කල සමීක්ෂණ කටයුතු මගින් කාල රක්ත වර්ණ මැටි බඳුන් (Black and Red Ware), රක්ත වර්ණ මැටි බඳුන් (Red Ware), ද්‍රව්‍ය ගබඩා කිරීමට භාවිතා කරන විශාල ප්‍රමාණයේ මැටි බඳුන් (Storage Ware),  වීදුරු නිශ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කල මැටි මුට්ටි වල දමා තිබූ කළු, කොළ දම් වැනි විවිධ වර්ණයන්ගෙන් යුක්ත ග්ලේස් කුට්ටි (Glaze ingots), කානේලියන් පබළු, ලෝහමය හෙල්ලක තුඩක් මීට පෙර යටාල විහාරය ගැන ලිපියේ සඳහන් කල යටාල ස්තූප මලුවෙන් හමුවූ වර්ගයේ බංකුවක හැඩය සහිත ඇඹරුම් ගල් සහ ඒවායේ අත් ගල් ආදිය වේ. ඉහත විස්තර කල ඇඹරුම් ගල්  නිශ්පාදනයෙන් පසු භාවිතා නොකල බවට සොයාගෙන ඇති අතර එක් ඇඹරුම් ගලක ශ්‍රී වත්ස්‍ය සළකුණු, නන්දිපාද සළකුණු සහ මත්ස්‍ය සළකුණු කොටා ඇත. මෙවැනිම ඇඹරුම් ගල් තිස්සමහාරාමයේ අකුරුගොඩ සර්වෝදය වත්ත නම් ස්ථානයේ සිදු කල කැනීම් වලින්ද හමුවී ඇත. නෞකාවේ තිබූ මෙම ඇඹරුම් ගල් මෙරට නිශ්පාදනය කර අපනයනය කලේද නැතහොත් මෙරටට ආනයනය කලේද යන්න නිශ්චිතව පැවසීමට කරුණු නොමැත.  

ගොඩවාය අසල වලවේ ගං මුවදොර, ගොඩපවත පැරණි විහාරයේ නටබුන්, වර්තමාන ධීවර වරාය සහ පැරණි ජැටියෙන් හමුවූ ගල් කණු දැක්වෙන වීඩියෝව >>

මූලාශ්‍ර

  • සේද මාවතේ සුපසන් තොටුපොළ, ගොඩවාය, ජී. ඒ. ලෙස්ලි ගාමිණී, 2010
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • Ruins of Sri Lanka , Somapala Jayawardhana
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1996, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1997, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය, මහාචාර්ය නිමල් ද සිල්වා, 2005

3 comments:

  1. වැඩිවෙන අතර ජනගහණය සීග්ගරෙන්
    ගෙවල් හැදෙයි ඉපැරණි තැන් යට කෙරෙමින්
    දැන්වත් මෙහෙම දේ සටහන්කොට තැබුමෙන්
    වැඩ සිදු වේවි හෙට - අදටත් වැඩිය හොඳින්!

    ReplyDelete
  2. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete