Saturday, April 25, 2020

පුරාවිද්‍යා බලධාරීන් කාලි දෙවඟන පදිංචි කල පොළොන්නරුවේ විෂ්ණු දෙවියන්ගේ දේවාලය

ඉදිකල යුගය සහ පුද්ගලයන් පිළිබඳව පැහැදිලි වංශකතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අවශ්‍යය තරමින් ඇති මුත් මේ වන විට මෙරට ඇතැම් ඓතිහාසික ස්ථාන පිළිබඳව මනඃකල්පිත අසත්‍ය ප්‍රබන්ධ කතා "රාවණා ආගම" අදහන්නන් විසින් ගොතා මෙරට සමාජයේ ඉතිහාසය නොදත් සැලකියයුතු පිරිසක් අතරට සමාජ මාධ්‍ය පමණක් නොව ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ රූපවාහිනි නාලිකා තුලින්ද ප්‍රචලිත කර ඇත. ඔවුන් සීගිරිය, රිටිගල, රජගල වැනි තැන් රාවණාගේ බාප්පලා, පුංචි අම්මලා, ආච්චිලා සීයලාට පමණක් නොව නැන්දම්මලා සහ මාමලාටද ලියා දී ඇත. එසේ නැතහොත් ඒවා බුදුන් කල දඹදිව තිබූ කිඹුල්වත්පුර, කුසිනාරා ආදි තැන් බවට පත් කර ඇත. කෙසේ නමුත් මෙම ලිපිය තුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ස්ථානය එසේ වෙනස් හඳුනාගැනීමක් බවට පත් කර ඇත්තේ මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ බලධාරීන් වන මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම වීම කෙසේ වූවාදැයි පැහැදිලි නැත.
පොළොන්නරුව පැරණි නගරයේ සීමාවට මෙපිටින් හමුවන පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය එතරම් යොමු නොවේ. එවන් ස්ථාන කිහිපයක් සම්බන්ධව මෙම බ්ලොග් අඩවිය තුලින් අවස්ථා කිහිපයකදීම අවධානය යොමු කර ඇත. මින්නේරියේ සිට පොළොන්නරුව දක්වා මාර්ගය ඉදිකිරීමේදී හමුවූ එවන් ස්ථාන කිහිපයක් අතරින් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය ලෙසින් හඳුනාගත් ස්ථානය පිළිබඳව මෙයට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කර ඇත. එම ස්ථානයේම තවත් නටබුන් ගොඩනැගිලි කිහිපයක්ම හඳුනාගත හැකි අතර මින්නේරියේ සිට යනවිට මාර්ගයේ වම්පසින් දිස්වන ගොඩනැගිල්ල ශිව දේවාලයක් ලෙසින් හඳුනාගෙන ඇත. අලි වැටකින් එපිට පාරේ දකුණු පසින් ඉහත කී ප්‍රීතිදානක මණ්ඩපය පිහිටා තිබෙන අතර එහි සිට බටහිර දෙසට වන්නට පිහිටි ගොඩනැගිලි දෙකක් අතරින් දැනට සංරක්ෂණය කර කාලි කෝවිල ලෙසින් නම් කර ඇති ස්ථානය පිළිබඳව මෙම ලිපිය තුලින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.

එවකට තමණ්කඩුව පළාතේ දිසාවේවරයා විසින් වර්ෂ 1885 දී මේ පිළිබඳව ඉංග්‍රිසී නිලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති අතර බරෝස් විසින් ඒ පිළිබඳව වර්ෂ 1886 දී Sessional Paper X වල සටහනක් තබා ඇත. මේ ඔහු ඒ පිළිබඳව පවසන ආකාරයයි

 "මගේ ගවේෂණ කණ්ඩායම විසින් එකිනෙකට ආසන්නව පිහිටි අවම වශයෙන් කුඩා හින්දු පූජනීය ස්ථාන හතරක නටබුන් සොයාගන්නා ලදී. ඉන් එක් ස්ථානයක ඉතාම හොඳ මට්ටමේ විෂ්ණු දේව රූපයක් හමු වූ අතර තවත් ගොඩනැගිල්ලක් අසල අත් 8ක් සහිත ගවයෙකුගේ හිසක් මත සිටගෙන සිටින දෙවඟනකගේ පිලිරුවක් හමුවිය. එය බොහෝවිට කාලි රූපයක් විය යුතුය." 

එම ප්‍රතිමා කිසිවක් දැනට එම ස්ථාන වල නොමැති මුත්, ඔහුගේ හඳුනාගැනීම් නිවැරදි යැයි උපකල්පණය කලහොත් පැහැදිලිවම විෂ්ණු දේවාලයක සහ කාලි කෝවිලක නටබුන් ගොඩනැගිලි දෙකක් බරෝස් හට හමුවූ බව එමගින් පැහැදිලි වේ.
නැවත 1902 වසර සඳහා වූ පාලන වාර්තාවේ මෙම ස්ථානයේ නටබුන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන H.C.P. බෙල් එහි තිබෙන විෂ්ණු දේවාලය සම්බන්ධව මෙසේ කරුණු ඉදිරිපත් කරයි.

 "ගල් පර්වතය අසලින්ම [එනම් නිශ්ශංකමල්ල රජුගේ ප්‍රීතිදානක මණ්ඩපය පිහිටි ගල් පර්වතය] එයට බටහිර දෙසින් විෂ්ණු දෙවියන් සඳහා ඉදිකල දේවාලයක පිටත ප්‍රාකාරය පිහිටා ඇත." 

එම විෂ්ණු දේවාලය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ එක් තැනක බෙල් තවදුරටත් සඳහන් කරන්නේ විෂ්ණු දේවාලය දෙපසින් එයට නුදුරින් ශිව දේවාලය  සහ කාලි කෝවිල පිහිටා තිබෙන බවය .එම ශිව දේවාලය පැහැදිලිවම දැනට මාර්ගයෙන් අනිත් පස පිහිටා ඇති දේවාලය වන අතර කාලි කෝවිල විෂ්ණු දේවාලයෙන් අනික් පස වන්නට නම් එය තවදුරටත් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නට තිබිය යුතුය.
විෂ්ණු දේවාලය සම්බන්ධ බෙල්ගේ විස්තරයේ තවදුරටත් සඳහන් වන්නේ මකර හිසක් සහිත ජල නළයක්(A makara-head gargoil)  එම විෂ්ණු දේවාලයේ උතුරු දිසාවට වූ බිත්තියෙන් පිටතට නෙරා තිබෙන බවය (මෙම ලිපිය සමග පලවන ගොඩනැගිල්ලේ ඡායාරූප වල එම මකර රුව එහි උතුරු බිත්තියේ දැනටද දැක ගත හැකිය.) ඒ වන විටද ගඩොලින් කල බිත්ති අඩි 6 ක් පමණ උසකට එම දේවාලයේ ගර්භ ගෘහයේ (Sanctum) ඉතිරි වී තිබී ඇති අතර ගඩොලින්ම කල බවට සිතිය හැකි එහි වහලය දැකගැනීමට නොහැකිව තිබී ඇත. පහත පලවන්නේ එම වාර්තාවේ පලවූ  විෂ්ණු දේවාලයේ ඡායාරූප දෙකකි.
මෙම ඡායාරූප අප විසින් ගනු ලැබූ ඉහත ඡායාරූප සමග සැසඳු විට එම ඡායාරූප එකම ගොඩනැගිල්ලක ඡායාරූප බවත් බෙල් විසින් එම ඡායාරූප සහිත ගොඩනැගිල්ල විෂ්ණු දේවාලයක් ලෙස හඳුනාගත් බවත් පැහැදිලිය. එපමණක් නොව මීට පෙර බරෝස් සඳහන් කරන විෂ්ණු දේව රූපය ගැනද බෙල් විස්තර කරයි

 "ගර්භ ගෘහයේ සිට ඇදගෙන විත් තිබූ මනා ලෙස කැටයම් කල ශෛලමය විෂ්ණු දේව රූපයක් දේවාලයෙන් පිටත සුන්බුන් වලට යටවී තිබී හමුවිය. අත් සතරක් තිබූ එම දේව රූපයේ අත් තුනකම විවිධ සලකුණු (එනම් චක්‍රායුධයක්, මුගුරක් සහ නෙළුම් මලක්.) දරා සිටින ආකරයක් දිස්වේ. සිව්වන අත ආශිර්වාද කරන ආකාරයෙන් ඉහලට ඔසවා තබා ගෙන ඇති ලෙසින් විය. පිළිමය සිටුවා තිබූ කැටයම් සහිත පීටිකාව හැරුන විට එහි උස අඩි 3 අඟල් 9 ක් විය." 

බෙල් එම පිළිමය පසුව අනුරාධපුර කෞතුකාගාරයට රැගෙන ගිය බව පවසයි
එසේ මෙම ගොඩනැගිල්ල බෙල් පවසන විෂ්ණු දේවාලය ලෙසින් පැහැදිලිව හඳුනාගැනීමට හැකි තත්වයක් යටතේ එහි දැනට දැකිය හැකි පුවරුවේ එය කාලි කෝවිල ලෙසින් හඳුන්වන්නේ මක්නිසාද යන්න අපට ගැටළුවකි. පසු කාලීනව සොයාගත් කිසියම් වෙනත් සාධක ඔස්සේ එය කාලි කෝවිල ලෙසින් හඳුනාගත් බැවින්ද? එහෙත් අප දන්නා තරමින් එවන් කිසිදු වාර්තාවක් පලවී නැත. කෙසේ නමුත් බෙල් සිය වාර්තාවේ ඉදිරිපත් කරන සිතියමේ මෙන්ම පහත දැක්වෙන Epigraphia zeylanica Volume 2 හි පලවූ පොළොන්නරුව නගරයේ පැරණි ස්මාරක දැක්වෙන සිතියමේද  කාලි කෝවිල ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලද පැහැදිලිව සටහන් කර ඇත. එය තවදුරටත් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නට විෂ්ණු දේවාලය ලෙසින් සලකුණු කරන ගොඩනැගිල්ලට නිරිත දෙසින් පිහිටා ඇත.
සිය වාර්තාවේද බෙල් සඳහන් කරන්නේ කාලි කෝවිල විෂ්ණු දේවාලයට නිරිත දෙසින් පිහිටා තිබෙන බවය. ප්‍රාකාරයකින් වටවූ එම පරිශ්‍රයේ දැකිය හැකි ගොඩනැගිලි තුනකින් විශාලම ගොඩනැගිල්ල කාලි කෝවිල බවට එහි තිබූ පිළිමය ආශ්‍රයෙන් බෙල් හඳුනාගෙන ඇත. බෙල්ගේ වාර්තාවෙන් උපුටා ගත් කාලි කෝවිලේ ඡායාරූපයක් පහත දැක්වේ. කාලි කෝවිලේ සහ ඒ ආසන්නව පිහිටි නිශ්ශංක දාන මණ්ඩපයේ වර්තමාන තත්වය පිළිබඳව කිසිදු මූලාශ්‍රයකින් තොරතුරු සොයාගත නොහැකි අතර ඇතැම්විට මේ වනවිට ඒවා නැවතත් වන ප්‍රවාහය විසින් යටකරගෙන තිබෙනවා විය හැක. මාර්ගයට එපිටින් අලි වැටකින් එපිට වූ ඇතැම්විට වන අලින්ද හමුවිය හැකි වනයේ එහි පිහිටීම සොයාගැනීමට උත්සාහ කලමුත් එය ව්‍යවර්ථ විය.

මූලාශ්‍ර

  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe, 1928
  • Bell H.C.P., 1907, Archaeological Survey of Ceylon, North Central and Central Provinces, Annual Report 1902

Saturday, April 18, 2020

පේමඩුවෙන් සොයාගත් පැරණි ගඩොළුමුවා ගෙඩිගෙය

 ගෙඩිගේ හෙවත් ගිඤ්ජකාවසත සම්ප්‍රදායේ වාස්තුවිද්‍යා ලක්ෂණ පෙන්වන ප්‍රතිමාගෘහ කිහිපයකම නටබුන් මෙරට බොහෝ ප්‍රදේශ වලින් හමුවී තිබේ. ඒ අතරින් නාලන්ද ගෙඩිගෙය සැලකිය යුතු මට්ටමකින් එහි මුල් ස්වරූපයෙන්ම ආරක්ෂා වී ඇති එකම බෞද්ධ ශෛලමය ගෙඩිගෙය ලෙස සැලකිය හැක. ඊට අමතරව ගඩොලින් කල වෙනත් එවැනි බොහෝ ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහයන් ප්‍රධාන වශයෙන් මෙරට පැරණි ප්‍රධාන අගනගර වූ අනුරාධපුරය (උදාහරණ ලෙසට ඇතුළුනුවර ගෙඩිගෙය, කිරිබත් වෙහෙර, ජේතවන, මිරිසවැටිය වැනි ස්ථාන වල හමුවන ප්‍රතිමාගෘහ සැලකිය හැක.) සහ  පොළොන්නරුව (තිවංක  පිළිමගෙය, ලංකාතිලක, ථූපාරාමය, පබළු වෙහෙර සහ කිරි වෙහෙර මළුවේ ඇති ප්‍රතිමාගෘහ) ප්‍රදේශ වලත් පැරණි රුහුණු රටට අයත් මාලිගාවිලත් හමුවේ. එසේම රජරට ප්‍රදේශයේ අගනුවර වලින් තරමක් ඈතට වන්නට පිහිටි අව්කන, වෙල්ගම්වෙහෙර, තිරියාය, නාගලකන්ද ආදි පැරණි නටබුන් විහාර පිහිටි ස්ථාන වලද ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙවල් හඳුනාගෙන ඇත.
ඉහත නම් සඳහන් බොහෝ ස්ථාන ඒවායේ ඇති ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහ සම්බන්ධයෙන්ම නොවූවත් වෙනත් ප්‍රමුඛ පැරණි විහාර නටබුන් හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වේ. එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රදේශයේ පේමඩුව ග්‍රාමයේ පිහිටි විහාරස්ථානයකද මෑතකදී සංරක්ෂණය කර ඇති බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහුණ ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘයක නටබුන් දැක ගත හැක.
පේමඩුව පුරාණ රජමහා විහාරය ලෙසින් හැඳින්වෙන මෙම නූතන විහාරය පිහිටි බිමේ බෝ ගසට නුදුරින් පිහිටා තිබූ මෙම පිළිම ගෙය කැණීමක් මගින් මතුකරගෙන ඇත්තේ 2011 වර්ෂයේදීය. මෙම ප්‍රතිමා ගෘහය හැරුණ කොට මෙම විහාර භූමියේ වෙනත් එවැනි කිසිදු ගොඩනැගිල්ලක අවශේෂ හමු නොවේ. ප්‍රතිමාගෘහය වර්තමානයේ මුහුණ ලා ඇත්තේ බෝධි වෘක්ෂය දිසාවට වන අතර ප්‍රතිමාගෘහය සහ බෝධි වෘක්ෂය අතර ප්‍රාකාර බැම්මක නෂ්ඨාවශේෂ හමුවේ. 
 ප්‍රතිමාගෘහයේ තිබෙන්නට ඇතැයි සිතිය හැකි කවන්ධ හිටි පිළිමයක් සහ වෙනත් කුඩා හිඳි පිළිමයක් විහාර භූමියේ දැනට දැකිය හැක. හිඳි පිළිමයේද හිස දැකිය නොහැක. මෙම ප්‍රතිමාගෘහය සම්පූර්ණයෙන්ම පාහේ ගඩොලින් නිර්මාණය කර තිබෙන්නට ඇති බව පෙනේ. ඒ සඳහා කිසිදු ගල් කණුවක් යොදාගෙන නොමැත. මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන මෙරට ප්‍රතිමාගෘහ බොහෝ ගණනාවක් පිළිබඳව ගවේෂණය කල ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙහි ගර්භඝරයත් ආලින්දයත් එකට සම්බන්ධවන බිත්තිය සෙ. මී. 50 ක් වැනි අඩු පළලකින් යුක්ත වීම වෙනත් එවැනි ප්‍රතිමාගෘහ වලින් නුදුටු ලක්ෂණයක් බවය. වෙනත් බොහෝ ප්‍රතිමාගෘහ වල මෙම මැද බිත්තිය සෙසු බිත්ති වලට වඩා පළලින් වැඩිය.
සමස්ත ගොඩනැගිල්ලම පිලිස්සු ගඩොලින් නිර්මාණය කර හුණු බදාමයෙන් කපරාරු කර තිබී ඇති බවට එහි එක් බිත්තියක ඉතිරි වී ඇති හුණු බදාම ස්ථරයෙන් පැහැදිලි වේ. එපමණක් නොව ප්‍රතිමාගෘහයේ ගෙබිමද මුලුමනින්ම ගඩොල් අතුරා හුණු බදාමයෙන් වැස්මක් යොදා තිබූ බවට එහි එක් කොටසක තවමත් ශේෂ වී ඇති බදාම කොටස් වලින් විද්‍යාමාන වේ. මෙම ප්‍රතිමාගෘහයට පිවිසෙන ස්ථානයේ නැගෙනහිර දෙසට යොමු වූ දොරටුවේ කැටයම් රහිත අර්ධ කවාකාර සඳකඩපහණක් සහ ශෛලමය පියගැට දෙකක් දැකිය හැක. 
 ස්ඵටික හුණු ගලින් නිර්මිත හිටි පිළිමයේ පොළොන්නරු යුගයේ ප්‍රතිමා වල සුලභ ද්විත්ව රේඛා සහිත පාරුපන ක්‍රමය දැකගත හැක. විහාර භූමියේ බෝධි වෘක්ෂය අසල පිහිටි නූතන ගොඩනැගිල්ලක ප්‍රවේශය උදෙසා පැරණි රූප රහිත ස්වරූප දෙකක මුරගල් දෙකක් සහ කොරවක් ගල් දෙකක් යොදාගෙන ඇති අතර, ශෛලමය වතුර පීල්ලක්, සිරිපතුල් ගලක් සහ වෙනත් කැටයම් සහිත ස්ථම්භ යුගලක්ද තවත් නොයෙකුත් ශෛලමය අවශේෂද විහාර භූමිය පුරා දැකගත හැක. එහෙත් මේවා මෙම ස්ථානයටම අයත් නටබුන් ගොඩනැගිලි කොටස්ද නැතහොත් වෙනත් ස්ථාන වලින් මෙහි රැගෙන ආ දේද යන්න නිශ්චිතව කිව නොහැක. මක් නිසාද යත් විල්පත්තු වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මෙම ස්ථානයට එම වනාන්තරයේ තවමත් සැඟවී ඇති සහ හඳුනාගත් බොහෝ පැරණි නටබුන් ස්ථාන වල ඇති දෑ, ඇතැම්විට ගම්මුන් රැගෙන ඒමේ සම්භාවිතාවක් පවතින බැවිනි. නූතන විහාර ඉදිකල ස්ථාන වලට එවැනි දෑ රැගෙන ආ බවට සාධක මෙවන් ඇතැම් විහාර වලින් අපට හමු වී තිබේ.
 ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙම ප්‍රතිමාගෘහයේ ගඩොළුමුවා අධිෂ්ඨානයෙහි 11 -12 සියවස් වල ඉදිකල වෙනත් ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහ වල ලක්ෂණ මෙන්ම නඛා වෙහෙර, අනුරාධපුර ඇතුළුනුවර ගෙඩිගෙය වැනි අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි අධිෂ්ඨානයේ ඇතැම් ලක්ෂණද හඳුනාගත හැකි බවය. එම සියළු ලක්ෂණ මත පදනම්ව මෙම ප්‍රතිමාගෘහය ක්‍රි.ව. 11 වන සියවසට අයත් විය හැකි බවය ඔහු අනුමාණ කරන්නේ.
මූලාශ්‍ර
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016