Saturday, May 26, 2018

ආසියාවේ පැරණිම රාජකීය උද්‍යානයක් - අනුරාධපුරයේ රන්මසු උයන

මෙරට මෙන්ම භාරත දේශයේද පෞරාණික නගර වල තිබූ  උයන් පිළිබඳව පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල විස්තර හමුවේ. එම මූලාශ්‍ර වල 'ආරාම', 'උද්‍යාන', 'විහාර', 'උපවන' වැනි විවිධ නම් වලින් එම උද්‍යාන හඳුන්වා ඇත. ඉපැරණි වෛදික යුගයේ ආගමික ග්‍රන්ථ වල මෙන්ව පාලි ජාතක කතා වලද, සංස්කෘත නාටක වලද එවන් තොරතුරු දුලබ නොවේ. නගර නිර්මාණය සහ මාළිගා ඉදිකිරීම සම්බන්ධව රචිත 'ශිල්පශාස්ත්‍ර' ග්‍රන්ථ වලද උද්‍යාන සහ ගෙවතු පිහිටිය යුතු ස්ථාන පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර ඇත. උද්‍යාන වල ශාක වගාව සම්බන්ධයෙන් වූ තොරතුරු 'උපවන-විනෝද' නම් සංස්කෘත ග්‍රන්ථයේ විස්තර වේ.
රන්මසු උයනේ කැටයම් කල ගල් වලින් සැදි නාන පොකුණු
සපුෂ්ප ශාක දෙපස වවා ඇති මංපෙත් වලට අමතරව එවන් උද්‍යාන වල නාන පොකුණු (ඒවායේ ඉවුරු කැටයම් කල ගල් වලින් සාදා තිබී ඇත), මල් පිපෙන විවිධ ජලජ ශාක සහිත පතැස්, කෘතිමව නිර්මාණය කල ජල තල, ශිඛර, ගුහා, මල් පිපෙන වැල් වලින් සැදි ලතා-මණ්ඩප, ධාරාගෘහ (වතුර මල් වලින් සැදි නාන ගෙවල්/Shower-bath-houses), සමුද්‍රගෘහ (ජලය විදින නාන ගෙවල්/Bath-houses with douches), කදලිගෘහ (කෙසෙල් ගස් වලින් සැදි මණ්ඩප), ඔංචිල්ලා සහිත ගෙවල් (දෝලාගෘහ/දෝලා මණ්ඩප), චිත්‍ර ශාලා සහ ශෛලමය ආසන ආදිය තිබූ බව එවන් සාහිත්‍ය මූලාශ්‍ර වල වැඩිදුරටත් සඳහන් වේ.
රන්මසු උයනේ එක් පොකුණකට ඉහලින් කැටයම් කර ඇති ජල ක්‍රිඩා කරන ඇත් පංතිය
රජවරු මැති ඇමැතිවරු සහ බිසෝ වරුන්ට මෙන්ම ඇතැම් විට මහජනයාටද විවෘත වූ මෙවන් උද්‍යාන ඉදිකිරීම සහ නඩත්තුව භාරව කටයුතු කල 'ආරාමාධිපති' නම් වූ තනතුරක් පිළිබඳවද තොරතුරු හමුවේ. මල් සහ පළතුරු හටගන්නා ගස් වැවීම සහ ඒවාට සාත්තුකිරීම පිළිබඳව මෙන්ම, ඒ ඒ ශාක වලට වඩාත් සුදුසු පස් වර්ග, ජලය දැමිය යුතු නිවැරදි කාලය පිළිබඳව සහ එවන් ශාක වල ඖෂධීය අගයන් පිළිබඳවද ඔහු දැනුවත් විය යුතුය. ආරාමාධිපතිට සහයට උයන්පල්ලන් සිටි අතර මල් සහ පළතුරු නිවැරදි කාලයේදි නෙලා ගැනීමද ඔවුන්ට භාර රාජකාරි අතර විය.
රන්මසු උයනේ පොකුණු අසල ඇති ගොඩනැගිල්ලක නටබුන්
මෙරට සිංහල බෞද්ධ සභ්‍යත්වය ආරම්භ වූ මුල් යුගයේදීම අනුරාධපුර නගරයේ ඉදි කල එවන් උද්‍යාන පිළිබඳව විස්තර මහාවංශයේ සඳහන් වේ. මුටසීව රජු නගරයේ දකුණු කොටසේ ඉදි කල මහාමේඝවන උද්‍යානය මෙන්ම මහින්ද හිමියන් මෙරට වැසියන්ට ධර්මය දේශනා කල නගරයේ දකුණු දොරටුවෙන් පිටත පිහිටි නන්දන උයනද ඒ අතර වේ. මහින්ද හිමියන්ගේ සමයේදීම මහාමේඝවනය භික්ෂූන් උදෙසා පිරිනැමූ අතර කාලයත් සමග මහාවිහාරය, ජේතවනය වැනි මහාවිහාර වල ගොඩනැගිලි එහි ඉදිවූ බව පෙනේ. නගරයට බෙහෙවින් ළංව පිහිටි හෙයින් මිහිදු හිමියන් මුලදි ප්‍රතික්ෂේප කලමුත් නන්දන උයනද පසුව මහාවිහාරයේ භුක්තියට වෙන්වූ බව පෙනේ. ඒ වෙනුවට ඉදිවූ වෙනත් උද්‍යාන සම්බන්ධව වංශ කතාවේ සෘජු සඳහන් හමු නොවන මුත්, අතරින් පතර නගරයේ පිහිටි විවිධ උද්‍යාන පිළිබඳව වූ සඳහන් කිරීම් ඉන්පසුවද විවිධ රජවරුන්ගේ කාලයන්හිදි හමුවේ.
ධාරාගෘහයක් (Shower-bath-house) ලෙස පරණවිතාන මහතා හඳුනාගන්නා ශෛලමය ඉදිකිරීමක් සහිත පොකුණක්
අනුරාධපුර නගරයේ තිසා වැවේ වැව් කණ්ඩියට පහලින් පිහිටි පොකුණු දෙකක නටබුන් වලින් සමන්විත පෙදෙස පිළිබඳව H.C,P. බෙල් මහතා 1901 දි මුල්වරට විස්තරයක් ඉදිරිපත් කර ඇත. ඔහුට අනුව ඒවා අසල පිහිටි ඉසුරුමුණි විහාරයට හෝ එහි වෙනත් පරිවාර විහාරයකට හෝ එසේත් නැතිනම් භික්ෂුණී ආරාමයකට අයත් වූවා විය යුතුය. කෙසේ නමුත් බෙල්ට හෝ පසුව 1940 වර්ෂයේ අවසාන කාලයේ පටන් සෙනරත් පරණවිතාන මහතා එහි සිදු කල කැනීම් සහ සංරක්ෂණ කටයුතු වලදි එතුමාට හෝ මෙම නටබුන් ආගමික ස්ථානයකට අයත් බව සනාථ කල හැකි කිසිදු සාක්ෂියක් හමු වූයේ නැත. වර්තමානයේ ඉසුරුමුණි විහාරය ලෙසින් හඳුන්වන විහාර පරිශ්‍රයට පරිබාහිරව පැහැදිලි ලෙසම ප්‍රාකාරයකින් වටවු පෙදෙසක (එම ප්‍රාකාරයේ  නැගෙනහිර හා දකුණු කොටස් වල අත්තිවාරම්  ඇතැම් ස්ථාන වල තවමත් දැකිය හැක.) වූ මෙම නටබුන් පෙදෙස පරණවිතාන මහතා හඳුනාගන්නේ පැරණි අනුරාධපුර රාජකීය මඟුල් උයන ලෙසය.
රන්මසු උයනේ එක් පොකුණකට ඉහලින් කැටයම් කර ඇති ජල ක්‍රිඩා කරන ඇත් පංතිය. ඉහල සිට ගලා එන ජලය මෙහි දකුණු පස ඇති කානුව දිගේ විත් මෙම කැටයම් උඩින් පහලට ගලා යන ලෙස තනා තිබේ.
තවමත් වෙස්සගිරිය ලෙසින් වරදවා හඳුන්වන පැරණි ඉස්සරසමණ හෙවත් ඉසුරුමුණි විහාර පරිශ්‍රයේ තිබී හමුවූ සිව්වන මහින්ද රජුගේ පුවරු ලිපියක එන සඳහනක් පාදක කරගනිමින් පරණවිතාන මහතා මෙය රන්මසු උයන ලෙසින් හැඳින්වූ පැරණි රාජකීය මඟුල් උයන වශයෙන් හඳුනාගනී. එම පුවරු ලිපියේ තිසා වැවේ සිට ඉස්සරසමණ විහාරයට# අයත්, එම විහාරය අවට පිහිටි කුඹුරු වලට 'රාජකීය සොරොව්වෙන්'^ ජලය සැපයීමේදි අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙත විස්තර කිරීමේදී, එම සොරොව්වෙන් ජලය සැපයිය යුතු අනෙකුත් ස්ථාන අතරට රන්මසු උයන, කෙල හෙය*, උයන් කෙය*, මහනෙල් කෙය* ආදී තැන්ද ඇතුලත් කර ඇත.

   # පුවරු ලිපියේ එම විහාරය හඳුන්වන්නේ ඉසුරමෙණු බො උපුල්වන් කසුබ්ගිරි රද්මහ වෙහෙර ලෙසිනි.
   *  මෙහි කෙය යනු පාලම යන අර්ථයද, හෙය යනු කෙත යන අර්ථයද ගන්නා බව සිරිමල් රනවැල්ල මහතාගේ අදහසයි.
   ^ 'රද් සොරො' ලෙසින් ලිපියේ සඳහන් වේ.
පොකුණු වලට තිසා වැවේ සිට ජලය ගෙන එන අගල
මෙම නියෝගය පිළිපැදිය යුතු පුද්ගලයන් ලෙසට ලිපියේ සඳහන් වනුයේ මගුල් මහ උයන්කැමි රද්කොල් සම්දරුවන්ය. එනම් රාජකීය උද්‍යානයේ ප්‍රධාන උයන්පල්ලා සහ රාජකීය නිලධාරීන්ය. (Chief Park-keeper of the Royal park and the officials of the royal household)
ගල් ආසනයක් සහිත ධාරාගෘහයක් (Shower-bath-house) ලෙස පරණවිතාන මහතා හඳුනාගන්නා ශෛලමය ඉදිකිරීමක් 
ලිපියේ වචන වලට අනුව පැහැදිලි වනුයේ තිසා වැවේ සිට 'රාජකීය සොරොව්ව' හරහා ගලා එන ජලය පළමුව ඉහත සඳහන් රන්මසු උයන සහ අනෙකුත් ස්ථාන පසුකොට අවසානයේ ඉසුරුමුණි විහාරයේ කෙත් වලට ගලා යන බවය. ඒ අනුව එම උද්‍යානය තිසා වැව අසල තිබිය යුතුය. එබැවින් අප මෙහිදි සලකා බලන නටබුන් පිහිටි පෙදෙස රන්මසු උයන ලෙසින් හැඳින්වූ පැරණි රාජකීය මගුල් උයන ලෙස හඳුනාගැනීම නිවැරදි බව පෙනේ.
රන්මසු උයනේ උතුරු දෙස ඇති අටපට්ටම් හැඩැති පාදමක් සහිත ගොඩනැගිල්ලක්. මේ දෙපස තවත් එවන් කුඩා ගොඩනැගිලි දෙකක නටබුන්ද දැකිය හැක.
මෙම මඟුල් උයන කිනම් කලක මුල්වරට ඉදි කරන ලද්දක්ද යන්න අවිනිශ්චිත මුත් පරණවිතාන මහතා එහි ඇති පොකුණක් 7-8 වන ශතවර්ෂ වලට අයත් විය හැකි බවට එහි ශෛලිය අනුව අනුමාණ කරයි. කෙසේ නමුත් ඉහත විස්තර වූ පැරණි උද්‍යානයක අඩංගු වූ බවට සාහිත්‍යමය මූලාශ්‍ර වල සඳහන් ඇතැම් අංග මෙම රන්මසු උයනේද හමුවේ. ඒ අතර කැටයම් කල ගල් පුවරු වලින් සැදි නාන පොකුණු, ධාරාගෘහ, ගුහා, කෘතිමව සෑදු ශිඛර, ශෛලමය ආසන ආදිය දැනටද හඳුනාගත හැක.
රන්මසු උයනේ ඇති පොකුණක ඉහල ගඩොල් වලින් කල ඉදිකිරිම්
මෙම ලිපියේ ආරම්භයේදී පැරණි භාරත දේශයේ සහ සිංහල ද්වීපයේ තිබූ බවට සාහිත්‍යමය මූලාශ්‍ර වල සඳහන් උද්‍යාන පිළිබඳව සඳහන් විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාට අනුව මුළු මහත් ආසියාවේම ක්‍රි.ව 1000 ට පෙර කාලයේ ඉදි කර, මේ වන විටත් හොඳ මට්ටමින් සුරැකී තිබෙන පැරණි උද්‍යාන ඇත්තේ දෙකක් පමණි. ඒ 5 වන ශතවර්ෂයට අයත් සිගිරියේ රාජකීය උද්‍යානය සහ 10 වන ශතවර්ෂයට අයත් අනුරාධපුර රන්මසු උයන වේ. දිනපතා අනුරාධපුර පැරණි නගරයට ඇදෙන බැතිමතුන් සහ සංචාරකයන්ගේ අවධානයට එතරම් ලක් නොවී, එවන් ආසියාවේ පැරණිම උද්‍යානයක් මෙරට පවතිද්දි, මෙරට ඉහල මධ්‍යම පන්තියේ  'පුරවැසියන්' ආසියාවේ සංචාරක ආකර්ශනිය නගරවල කොන්ක්‍රිට් ගොඩවල් බැලීමට මෙරට විදේශ විනිමය වැය කරමින් "ෆොරින් ටුවර්ස්" යති. 5 වන 10 වන සියවස් වල එවන් නිර්මාණ ඉදි කල ජාතියක වර්තමාන ඉරණම එවැනිය.
රන්මසු උයනේ ඇති කටාරම් කෙටූ ගුහාවක්
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume I, 1904-1912, 1912, Edited and Translated by D.M.D.Z. Wickremasinghe
  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon Vol V, Part II, G.S. Ranawella, 2004
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • Magul Uyana (Royal Park) of Ancient Anuradhapura, Paranavithana S., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXXVI, No 97, 1944

Sunday, May 6, 2018

විශ්වකර්මයාගේ අසමාන නිර්මාණයක් බඳු වූ පුළත්ථි නගරයෙහි වෛජයන්ත ප්‍රාසාදය

"ඉක්බිති සියලු රජවරුන්ට අග්‍ර වූ රජු, කාමර දහසකින් යුක්ත වූ නොයෙක් සියගණනින් විසිතුරු කණුවලින් අලංකාර වූ කෛලාශකූටය බඳු කුළු ගෙවල් සියයකින් යුක්ත වූ, නොයෙක් ආකාරයේ ලියකමින් සහ මල්කමින් බබලන, රනින් කළ මහා දොරවල්, කුඩා දොරවල් හා කවුළු  ද ඇති මනාව වෙන් කළ බිත්ති වලින් හා හිණිපෙළවලින් යුතු, සියලු සෘතුවල සුව එලවන්නා වූ, රනින් සහ ඇත්දළින් කළ, බොහෝ වටිනා ඇතිරිළිවලින් යුක්ත, නොයෙක් ඇඳන් දහසකින් අලංකාර වූ ආකාශ ගංගාවෙහි ශෝභාවට සිනාසෙන්නාක් බඳු කැළුම් ඇති, සඳරැස් සේ සුදු වූ සිව් කොණෙහි එල්ලෙන මහත්වූ මුතු වලින් නිතර අතිශයින් ශෝභන වූ, ස්වර්ණමය මහා ප්‍රදීප මාලාවෙන් අලංකාර වූ , මලින් හා දුමෙන් නිතර සුවඳවත් වූ, උතුම් සිරියහන් ගැබෙන් යුක්ත වූ , පසඟතුරුගොස හා සමාන හඬ නගන, නොයෙක් පින්වල ආනුභාව පවසන්නාක් බඳු, ඒ ඒ තැන එල්ලෙන රන්මුවා කිංකිණිදැලින් යුත් විශ්වකර්මයාගේ අසමාන නිර්මාණයක් බඳු වූ වෛජයන්ත නම් වූ, ප්‍රසාදය දනවන උසස් ප්‍රාසාදයක් කරවීය"
නැගෙනහිර දොරටුවේ සිට රජ මාළිගය දිස්වන අයුරු
පරාක්‍රමබාහු රජු ඒ වන විට නමට පමණක් ඉතිරිව තිබූ පුළත්ථි නගරයෙහි එනම් පොළොන්නරුව පුරවරයෙහි පවුරු ප්‍රාකාර ඉදිකරමින් නගරය රමණිය සහ විශාල කිරීමේ කාර්යයෙහිදි ඉදිකල රජ මාළිගය පිළිබඳව මහාවංශය විස්තර කරන්නේ ඒ ආකාරයටය. බැලූ බැල්මට අතිශයෝක්තියට නගා ඇති බව පෙනුනත් පොළොන්නරුවේ පැරණි නගරයේ නටබුන් අතර සුවිසල් බිත්ති වලින් යුක්තව ඉතිරි වී ඇති එම මාළිගයේ අවශේෂ එම විස්තරය හුදෙක් වංශ කතා කරුගේ කාව්‍යමය අතිශයෝක්තියක් නොවන බවට දෙස් දෙයි.

නැගෙනහිර දිශාවෙන් ප්‍රධාන පිවිසුම සහිතව ඉදිකර ඇති මෙම මාළිගයද අනුරාධපුර, පඬුවස්නුවර ආදි එම යුගයට අයත් වෙනත් රජ මාළිගා ඉදි කිරීම සඳහා උපයෝගි කරගත් එකම බිම් සටහන (Ground Plan) අනුව ඉදි කර ඇත. එහි ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වන්නේ දැව කණු උපයෝගී කරගනිමින් ඉදි කර තිබූ බවට, ශේෂ වී ඇති ශෛලමය කණු පාදම් මගින් පැහැදිලි වන ශාලාවකටය (පහත සැලසුමේ B ලෙස ලකුණු කර ඇති ස්ථානය). එවන් කණු පාදම් ගල් 36 පමණ මේ වන විට දැකිය හැක. එම කණු දැව වලින් සාදා තිබෙන්නට ඇති බව මේ වන විට එම කණු වල කිසිදු සලකුණක් ඉතිරි වි නොමැති හෙයින් අනුමාන කල හැක.
දැව කණු උපයෝගි කරගනිමින් ඉදිකල ශාලාව තිබූ ප්‍රදේශය සහ ඉන් අනතුරුව ඇති ප්‍රධාන ගොඩනැගිල්ලේ බිත්ති නැගෙනහිර දෙසින් පෙනෙන ආකාරය
ඉන්පසු පිවිසෙන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලටයි (පහත සැලසුමේ C ලෙස ලකුණු කර ඇති ස්ථානය.) එය විශාල බිත්ති වලින් යුක්තව ඉදිකර ඇති අතර දැනට දක්නට ඇති ආකාරයට අවම වශයෙන් මහල් තුනකින්  යුක්තව ඉදි කර ඇත. එහි දෙවැනි මහලට පිවිසීම උදෙසා ඉදි කල ශෛලමය පියගැටපෙලක් දැකිය හැකි අතර (සැලසුමේ A) බිත්ති වල විශාලත්වය සහ ඒ සමග තිබූ බවට සාධක ඇති දැව කණු වලට අනුව දෙවන මහලින් ඉහලටද තවත් මහල් තිබූ බව පැහැදිලිය. ඒවා ප්‍රධාන වශයෙන් දැව උපයෝගි කරගෙන ඉදි කරන්නට ඇත. වංශ කතාව පවසන මහල් සතක් තිබූ යන්න ඒ අනුව ප්‍රලාපයක් විය නොහැක.
දෙවැනි මහලට පිවිසීම උදෙසා ඉදි කල ශෛලමය පියගැටපෙල
ප්‍රධාන ගොඩනැගිල්ල සහ ඉදිරිපස පිහිටි ශාලාව වටා දැනට කුඩා කුටි 50 කට වඩා දක්නට ඇති අතර ඉහල මහල් සහ රජ මාළිගය වටා පිහිටි වෙනත් ගොඩනැගිලි වල කුටිද එක්ව ගත් කල මෙම මාළිගය වංශ කතාව පවසන පරිදි කාමර දහසකින් යුක්තව තිබුනා විය හැක. අලංකාර කුළු ගෙවල් (කූටාගාර) සියයකින් වෛජයන්ත ප්‍රාසාදය යුක්ත වූ බව ඉහත විස්තරයේ කියැවේ. එක් කැණිමඩුල්ලක් යොදා සෑදු වටගෙය කූටාගාරය ලෙස අර්ථ දක්වා ඇත. වංශ කතා කරුවා අදහස් කල කූටාගාර යන්නෙන් වර්තමානයේ ඉතිරි වී ඇති නටබුන් අතරින් කුමන කොටසක් අදහස් කලාද යන්න අපැහැදිලිය. ඇතැම් විට ඉහත දැක්වූ ප්‍රධාන ගොඩනැගිල්ල වටා පිහිටි කුටීර එමගින් අදහස් කලා විය හැක.
ප්‍රධාන ගොඩනැගිල්ල වටා පිහිටි කුටි
මුල් බදාමය ඉතිරි වි ඇති බිත්ති කොටස්

මාළිගයේ සැලසුම 
මෙම මාළිගයේ ඇතැම් බිත්ති කොටස් වල මුල් බදාම තට්ටු තවමත් ඉතිරි වී ඇති අතර බටහිර දෙසට වූ කොරවක් ගල සහිත පියගැට පෙලද සැලකිය යුතු මට්ටමින් විනාශ නොවී මුල් ස්වරූපයෙන්ම දැකිය හැක (සැලසුමේ D). ඇතැම් ස්ථාන වල බිත්ති කොටස් අඩි 30 පමණ උසට විනාශ නොවී පවතී. බිත්ති වල දැකිය හැකි සිරස් කට්ට හෙවත් හාරන ලද පීලි (Vertical grooves) ඉහල මහල් වල තට්ටුව (Floor board) උදෙසා යොදාගත් දැව කණු සඳහා බිත්ති වල ඇතුලතින් සහ පිටතින් සාදා ඇත. මාළිගා ගොඩනැගිල්ල තුල වැසිකිලියක අවශේෂද හමුවේ.
වැසිකිලිය

බටහිර දෙසට වූ කොරවක් ගල සහිත පියගැට පෙල

බටහිර දෙසින් රජ මාළිගය දිස්වන ආකාරය
වෛජයන්ත ප්‍රාසාදයට අමතරව ඒ අවට ඉදි කල වෙනත් මන්දිර පිළිබඳව වූ විස්තරයක්ද මහාවංශයේ දැක්වේ. ඒ පිළිබඳව සහ ඒවායේ වර්තමානය වන විට දැකිය හැකි නටබුන් පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998