Sunday, March 18, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 1 - මුතූර් සිට පංගුරාණට

වර්ෂ 1762 දී මදුරාසියේ සිට ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය සමාගමේ (English East India Company) නිලධාරින් පිරිසක් කන්ද උඩරට  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ සභාවට දූත ගමනක යෙදුනේ රජු සමග ගිවිසුමකට එකඟවීම සඳහා සාකච්චා කිරීමටය. එම දූත පිරිසේ නායකත්වය මදුරාසි කවුන්සිලයේ සාමාජිකයෙකු වූ (A member of the Madras Councilජෝන් පයිබස් (John Pybus) හට හිමිවූ අතර ඔහු 1762 මැයි මස 5 වන දින ත්‍රිකුණාමලය වරායේ සිට ගමන් අරඹා, දින 13 ක දුෂ්කර ගමනකින් පසු ගන්නෝරුවට ලඟා වේ. ඒ වන විට මෙරට මුහුදු බඩ ඇතැම් ප්‍රදේශ ලන්දේසීන්ගේ පාලනය යටතේ පැවතුන අතර ලන්දේසින් මෙරටින් පලවා හැරීමට ඉංග්‍රීසින්ගේ මිත්‍රත්වය හරහා යුද ආධාර ලබාගැනීම රජුගේ අරමුණ වුවද, ලන්දේසීන් සමග යුද නොවදින තීරණයක සිටි ඉංග්‍රීසින් එම ඉල්ලීමට ඒ වන විට එකඟ විය හැකි තත්වයක සිටියේ නැත. කෙසේ නමුත් පයිබස්ගෙ දුත ගමන සඳහා ඇරැයුම ඉදිරිපත් වන්නේ මෙරට සිට මදුරාසියට ගිය රජුගේ නියෝජිතන් මගින් වන අතර පයිබස්ගේ දූත ගමන රාජ්‍යතාන්ත්‍රික මිත්‍ර ගිවිසුමකට එලඹීමට වඩා මෙරට තොරතුරු එකතු කර ගැනීම සඳහා වූ ඔත්තු සේවා ගමනක් කර ගැනීම පෙරදිග ඉන්දීය සමාගමේ අරමුණ වූ බව පෙනේ.

කෙසේ නමුත් පයිබස් මෙරටදී ඔහුගේ ක්‍රියාකාරකම්, ඔහු දුටු දේ මෙන්ම ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා සිය ගමන් විස්තරය සටහන් කර තැබූ අතර එහි සඳහන් වන දෑ එම යුගයේ මෙරට සමාජ ආර්ථික තත්වයන්, රාජ සභාවේ සිරිත් විරිත් මෙන්ම ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා වූ ගමන් මාර්ගය පිළිබඳවද වූ අගනා තොරතුරු එකතුවක් ලෙස සැලකිය හැක. මෙම ලිපි පෙලින් ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා වූ ඔහුගේ ගමන් විස්තරයේ අඩංගු වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ මගින් එම පුරාණ මාර්ගය නැවත මතු කර ගැනීමට උත්සාහ කරණු ලැබේ.

මැයි 5 දින උදෑසන 3 ට සිය නැවෙන් පිටත් වන පයිබස් පෙරවරු 5.15 ට පමණ කොට්ටියාර් ගඟේ (Cottiar River) මෝයේ සිට සැතපුමක් පමණ ඇතුලතින් වූ මුතූර් (Moodoore) ගම්මානයට පැමිණේ. ඔහු සඳහන් කරන පරිදි මෙම ගමද අයත් වන මුළු ප්‍රදේශයම කොට්ටියාර් ලෙස හැඳින්වෙන අතර එහි මුලෑදෑනින් තුන් දෙනෙකුට (Head Men) අයත් ගම් 64 ඇති අතර ඔවුන් මහනුවර (Candia) වසන සිය ප්‍රධානියා (General) වෙනුවෙන් එම ගම් පාලනය කරයි. ගම් වැසියන් චෝලියාර් සහ මලබාර් (Choliars & Malabars) වරු වූ බව පයිබස් වැඩිදුරටත් සඳහන් කරයි (චෝලියාර් සහ මලබාර්වරු ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට Link>>). ඉංග්‍රිසීන් එනවිට නැගෙනහිර පළාතේද තිබුනායැයි දෙමළ ජාතිවාදීන් පවසන ඊණියා දෙමළ රාජ්‍යය මිත්‍යාවක් බව පයිබස්ගෙ ගමන් විස්තරයෙන්ද පැහැදිලි වන්නේ General who resides at Candia ලෙස පයිබස් හඳුන්වන කොඩ්ඩියාර් පත්තුව පාලනය කල දිසාවේ වරයා මහනුවර සිටි රජු යටතේ ඔහු වෙනුවෙන් සේවය කල බව එමගින්ද පැහැදිලි වන හෙයිනි. (කඩයිම් පොත් වල කොටසර රට ලෙසත් මහාවංශයේ අවස්ථා කිහිපයකදීම කොට්ටිවාල/කොට්ටසාර ජනපදය ලෙස හැඳින්වෙන්නේත් මෙම ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත.)
සිතියම 1
පෙරවරු 6 පසුවී විනාඩි 40 ට ඔහුට මග පෙන්වීමට පැමිණ සිටි බලයලත් පුද්ගලයා (Vackeel) සමගින් ගමන් අරඹන පයිබස් කැලෑබද පාරක් හරහා ගමන් කර පෙරවරු 8.30 ට පමණ පෙරියවෙල්ලී (Perriavelly) නම් වූ කුඩා ගම්මානයට පැමිණෙන්නේ ඔහු පවසන පරිදි සැතපුම් 7 ක ගමනකින් පසුවය. මෙය දැනට මුතූර් සිට සැතපුම් 4.5 පමණ දුරින් ඇති පෙරියවේලි (Periaveli) ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. (සිතියම 1 සහ 2 බලන්න) . එතැන් සිට සැතපුම් තුන්කාලක් පමණ ගිය තැන Malledeve නම් වූ ගම්මානයක් හරහා යන පයිබස් Malledeve සිට සැතපුම් 4 ක දුරින් වූ Meangamo ගම්මානය පසු කර පෙරවරු 11 ට Clevetty නම් වූ ගම්මානයට පැමිණේ. Malledeve ලෙස හැඳින්වෙන ගම්මානය වර්තමානයේ මල්ලිකායිතිව් (Mallikaitivu) ලෙසද, Meangamo, මෙන්කාමම් (Menkamam) ලෙසද Clevetty  කිලිවෙඩ්ඩි (Kiliveddi) ලෙසද හඳුනාගත හැක. කෙසේ නමුත් පයිබස් සඳහන් කරන දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස් කම් ඇත. මල්ලිකයිතිව් ගම්මානයට ඔහු සඳහන් කරන දුර නිවැරදි මුත් මෙන්කාමම් සහ කිලිවෙඩ්ඩි පිළිවෙලින් සැතපුම් 2 (මල්ලිකයිතිව් සිට) සහ සැතපුම් 1 (මෙන්කාමම් සිට) දුරින් පිහිටා ඇත. 
මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී ගම්වැසියන් විසින් ඔහුට බත්, කුකුලන් සහ වෙනත් දෑ සැපයූ අතර එය රජුගේ නියමයෙන් ඔහු හමුවීම සඳහා පැමිණෙන වැදගත් පුද්ගලයන්ට ඉටු කල යුතු රාජකාරියක් බවත් ඔහුගේ මුළු ගමන පුරාම එය එසේ සිදුවනු ඇති බවත් ඔහුට දැනගැනීමට හැකිවූ බවත් පයිබස් සඳහන් කරයි. සුදු තිර රෙදි වලින් සැරසූ කුඩා මලබාර් නිවසක එදින පයිබස් රැය ගත කරන අතර එසේ තිර රෙදි එලීම වැදගත් ප්‍රභූ පුද්ගලයන්ට ගෞරවයක් ලෙස මේ රටේ ඉටු කරන බවත් ඔහු පවසයි. 
සිතියම 2
පසු දින උදෑසන 5 ට පමණ ඔහුගේ පල්ලැක්කිය ඔසවාගෙන යෑමට යෙදවූ අලුත් පිරිස සමග ගමන් අරඹන පයිබස් කිලිවෙඩ්ඩි සිට සැතපුමක් පමණ ගොස් කැලෑව තුලට ඇතුළු වන අතර පෙරවරු 10.30 ට පමණ කොට්ටියාර් දිස්ත්‍රික්කයේ මායිම වන මහවැලි ගඟ (Mavalay Ganga River) අසලට පැමිණෙන තෙක්ම අතහැර දැමූ Temmungalay නම් වු එක් කුඩා ගම්මානයක් මිස වෙනත් කිසිදු ජනාවාසයක් නොදුටු බව පවසයි. (මෙම ගම්මානය අද වනවිට හඳුනාගත නොහැක.) දහවල් 12 වනතුරු ඔහුගේ ගමන් මළු ආදිය ඔසවාගෙන යෑමට ගඟෙන් එතෙර පලාතෙන් යොදවා සිටි මිනිසුන් එනතෙක් බලා සිටින පයිබස් හට එම ප්‍රදේශයේ මුලෑදෑනින්ගේ පණිවුඩකරුවෙන් පැමිණ පවසා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය කරන මිනිසුන් එකතු කරගැනීමට නොහැකි වූ බැවින් කොට්ටියාර් පලාතේ මිනිසුන්ටම ඔහුව ගඟින් එගොඩ කර ගෙන එන ලෙසය. එයට එකඟ වන ඔවුන් ඔහුව සොන්ගාවැලි (Songa Valley) දක්වා රැගෙන යයි. එය වර්තමානයේ සුංගාවිල ලෙස හැඳින්වෙන ප්‍රදේශය ලෙස පහසුවෙන් හඳුනාගත හැක. 
කන්දකාඩු අසලදී මහවැලි ගඟ
ගඟෙන් එගොඩ වූ තැන් සිට සැතපුම් 2.5 ක දුරින් එම ගම වූ බව පයිබස් පවසයි. (පයිබස් මහවැලි ගඟ තරණය කල ස්ථානය බොහෝදුරට කන්දකාඩු තොටුපොල විය හැකි බවය ඔහුගේ ගමන් විස්තරය සංස්කරණය කර පල කල රේවන් හාර්ට් (R. Raven-Hart) අනුමාණ කරන්නේ). සුංගාවිල ගමේ ගෙවල් පහ හයකට වඩා නොවූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. Tommangany (තමණ්කඩුවලෙස හැඳින්වූ සුංගාවිල ගමද අයත් වන මෙම ප්‍රදේශයේ සිංහල ජනයා (Chingalese) විසූ බවත් එහි ගම්මාන 60 ක් වූ බවත් ඔහුට දැනගන්නට ලැබී ඇත.
සුංගාවිල-සෝමාවතී මාර්ගය 2008
පසුදින (මැයි 7) පෙරවරු 11.45 ට සුංගාවිලෙන් ගමන් අරඹන පයිබස් පෙරදින පැමිණි මාර්ගයේම සැතපුමක් පමණ ආපසු ගමන් කර ඔහුගේ ගමනාන්තය යෙදී ඇති දිශාවට වැටී ඇති මාර්ගයට අවතීර්ණ වී, කැලෑව මැදින් සැතපුම් 3.5 ක් පමණ ගමන් කර මාර්ගයේ දකුණු පසින් වූ අඩම්බන් (Adambun) නම් වූ කුඩා ගම්මානයක් පසු කරයි. එම ගමේ ගෙවල් 4-5 කට වඩා නොවූ බවය ඔහුගේ අදහස. මෙය අඩම්පන් කුලම් (Adampan Kulam) ලෙස වර්තමානයේ හැඳින්වෙන ගම්මානය ලෙස හඳුනාගත හැක. එතැන් සිට සැතපුම් 6-7 පමණ නැවතත් කැලෑව මැදින් මාර්ගය වැටී තිබූ බවත් ඉන්පසු වගා නොකල විශාල තැනිතලා බිම් හරහා වැටි තිබූ මාර්ගයක අවසානයේ පස්වරු 5 ට පමණ Ridduvily (හඳුනාගත නොහැක.) නම් වූ සරුසාර කුඹුරු යායක් සහිත ගෙවල් 6-7 පමණ වූ  ගම්මානයක් පසු කල බවත්, එතැන් සිට මාර්ගයේ දෙපසට වෙනත් ගම්මාන වලට යන පාරවල් දැකිය හැකි වූ බවත් පයිබස් සඳහන් කරයි. හිරු බැස යන වේලාව වන විට ඔහු චෝලියාර්වරු (Choliars) වෙසෙන පන්ගරනෙයි(Pangaraney)  නම් වු ගම්මානයකට ලඟාවේ. පන්ගුරාණ(Pangurana) ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ගම්මාන දෙකක්ම මෙම ප්‍රදේශයේ හමුවන මුත් ඒ ආශ්‍රයෙන් පැරණි මාවත හඳුනාගැනීම තරමක් දුෂ්කරය. පයිබස් සඳහන් කරන Pangaraney මෙම එක් ගමක් විය හැක.
සිතියම 3
කෙසේ නමුත් පයිබස් වැඩිදුරටත් සඳහන් කරන්නේ නිවාස 10 ක් පමණ වූ මෙම Pangaraney ගම්මානය අසලින් Cowdaly ගඟේ ශාඛාවක් ගලා ගිය බවය. අප ඉහත සඳහන් කල එක් පංගුරාණ ගමක් අසලින් වර්තමානයේ කහඹිලියා ඔය ලෙසින් හැඳින්වෙන කවුඩුලු ඔයේ ශාඛාවක් ගලා යන බැවින් සහ පයිබස් සඳහන් කරන Cowdaly නිසැකවම කවුඩුලු ඔය ලෙස හඳුනාගත හැකි බැවින්, ඔහු සඳහන් කරන Pangaraney, සුංගාවිලට උතුරු දෙසින් සැතපුම් 3 පමණ දුරින් වූ පංගුරාන ලෙස හඳුනාගත හැක. එහෙත්මෙම දිනය තුල පයිබස් ගමන් කල මුළු දුර සැතපුම් 21 ලෙස සඳහන් වෙන හෙයින්. සහ අඩම්පන්කුලම් නම් ප්‍රදේශයක් පසු කල බව පවසන හෙයින් සිතියම 2 දැක්වෙන ලෙසින් ඔහු පාර වැරදී දිගු දුරක් වෙනත් දෙසකට ගිය බවක් හැඟි යයි. 
පංගුරාණ ගම සහ ඒ අසලින් ගලා යන කවුඩුලු ඔයේ අතු ගංගාව- කහඹිලියා ඔය
Pangaraney ගමෙහි එදින රැය ගත කරන පයිබස් හට දැනගන්නට ලැබෙන පරිදි එම ගමේ සිට මඩකලපුවට (Battacola) දවසේ උදෑසනම නික්මෙන පුද්ගලයෙකුට පසු දින හවස් වන විට එහි ලඟා විය හැක. සුංගාවිලෙන් පැමිණි පුද්ගලයන් ආපසු ගොස් ඇති බැවින් ඔහුගේ පල්ලැක්කිය සහ ගමන් මළු ඔසවාගෙන යෑමට යෙදවූ වෙනත් පුද්ගලයන් පැමිනෙන තෙක් පයිබස් පසු දිනද (මැයි 8) එම ගමෙහිම නැවතී සිටි. පංගුරාණ ගමෙහි සිට පයිබස් ගිය ගමන් මග අප ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.p> Deraniyagala, Reprinted 2001
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.


Sunday, March 4, 2018

බ්‍රිතාන්‍යයන් දුටු තෝපාරේ...

"පොළොන්නරුව සංචාරය මෙතෙක් විස්තර කල සියලු ගවේෂණ වලට වඩා බරපතළ කර්තව්‍යයකි. එබැවින් ඒ සඳහා උත්සාහ කරන්නන් පළමුව අනුරාධපුරයේ රජයේ ඒජන්ත වෙත ලියා මාර්ග තත්වය විමසා බැලිය යුතු බවට මෙන්ම, අවශ්‍ය කරන සැපයුම් ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ ඔවුන්ගේ හොඳහිත මත වන බැවින්, මූලාදෑනින්ගේ උපකාරය ඉල්ලා සිටිය යුතු බවටද තරයේ අවවාද කර සිටිමි. එය මනා සූදානම් වීම සහ විමසුම නොමැතිව නොයා යුතු සංචාරයකි. එසේම කාන්තාවන් සඳහා එය දුෂ්කර ගමනකි.

හබරන තානායම අසලින් බෙදී ගමන් කරන (දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා වන කරත්ත පාරේ සැතපුම් 15 ගිය විට) නව කරත්ත පාර දැනට තෝපාරේ හෙවත් තෝපා වැව දක්වා විහිදී ඇත. එය පොළොන්නරුවම වේ. වසරේ බොහෝ මාස වල එය රෝද සහිත වාහන ගමනාගමනයට සුදුසු වේ. මාර්ගය මින්නේරිය වැවේ දිය පැන්නුම් දෙකක් හරහා (හබරන සිට සැතපුම් 15 ගිය තැන) ගමන් කරයි. දෙවැනි දිය පැන්නුම අසලදී සීගිරිය ගලේ මනා දසුනක් නැරඹිය හැක. ..."

බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවා නිලධාරියෙකු වූ, එසේම H.C.P. බෙල්ට ප්‍රථම පුරාවිද්‍යා කටයුතු පිළිබඳව අධිකාරය දැරූ  S.M. බරෝස්   (S.M. Burrows) වර්ෂ 1905 මෙරට නටබුන් නගර පිළිබඳව රචිත සිය ග්‍රන්ථයේ පොළොන්නරුවේ නටබුන් ස්ථාන නැරඹීම සඳහා යා යුතු දුෂ්කර ගමන පිළිබඳව ඒ ආකාරයෙන් විස්තර කරන්නේ 1905 ට වසර කිහිපයකට පෙර එහි තිබූ තත්වයයි.
ලංකාතිලක පිළිමගෙය උපුටාගැනීම ෆොබ්ස්ගේ Eleven Years in Ceylon
වසර 250 ක් පමණ මෙරට අගනුවර වූ පොළොන්නරුව නගරය සියවස් හතක් පුරා වන ප්‍රවාහයට ලක්වී විනාශ වෙමින් තිබූ අතර ඒ පිළිබඳව බ්‍රිතාන්‍යයන් පළමුවරට දැනගන්නේ වර්ෂ 1820 දී ලුතිනන් ෆගාන් (Lieut. Fagan) විසින් මෙම නටබුන් නගරයට පැමිණ තමන් දුටු දේ විස්තර කරමින් Accounts of the Ruins of Topary නමින් Ceylon Gazette වෙත සැපයූ ලිපියත් සමගිනි. දෙවන සිලෝන් රෙජිමේන්තුවේ (2nd Ceylon Regiment) නිලධාරියෙකු වූ හෙතෙම 1818 නිදහස් අරගලය කෲර ලෙස මර්ධනය කර දැමූ අලුතම පාහේ  හමුදා අනුඛණ්ඩයකට අණ දෙමින් එවකට තෝපා වැව හෙවත් තෝපාරේ ලෙසින් ඉංග්‍රිසීන් වරදවා හැඳින්වූ පැරණි ගම හරහා යාමේදී මෙම නටබුන් දැක ඇත.

ෆගාන් සිය විස්තරයේ ගල් විහාරයේ හිටි පිළිමය ඔහු පළමුව දුටු ආකාරය මෙසේ විස්තර කරයි.

"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය විට අඩි 80 ක් පමණ දිග, මධ්‍යයෙහි අඩි 30 පමණ උස, දෙපසට ක්‍රමයෙන් බෑවුම් වන, එක්වරම විශාල කළු ගලක් ලෙස දිස්වන ස්ථානයකට මා ලගාවිය. පියවර කිහිපයක් ඉදිරියට ගිය විට මට වැටහුනේ මා අඩු තරමින් අඩි 25 ක් වත් උස කාල වර්ණ දැවන්ත මිනිසෙකුගේ රූපයක් යට සිටින බවය. ඒ අවස්ථාවේ මට ඇතිවූ හැඟීම් මට විස්තර කල නොහැක. තව දුරටත් පිරික්සීමේදී මට සොයා ගැනීමට හැකිවූවේ මෙය සිටගෙන සිටින ඉරියව්වෙන් ඇති, මනා මිණුම් වලට සහ ආකෘතියකට අනුව, මා සිතන පරිදි නිතර හමු නොවන ආකාරයේ, සිය අත් සුන්දර ලෙස පපුව හරහා තබා ගත්, සිවුර සිය වම් අත මතින් වැක්කෙරෙන ලෙස තැනූ බුද්ධ රූපයක් බවය. "
ගල් විහාරය - උපුටා ගැනීම එමර්සන් ටෙනන්ට්ගේ Ancient Ceylon
Eleven Years in Ceylon ලෙසින් තම සංචාරක අත්දැකීම් සටහන් කර තැබූ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ජොනතන් ෆෝබ්ස් (Major Jonathan Forbes) මෙරට පැරණි නටබුන් ස්ථාන බොහෝමයකම ඇවිද එවකට එම ස්ථාන වල වූ තත්වය ඉදිරිපත් කර ඇත. ඔහු 78 වන හයිලන්ඩර්ස් (78th Highlanders) නම් ස්කොට්ලන්ත සෙබලුන්ගෙන් සමන්විත හමුදා රෙජිමේන්තුවේ අණදෙන්නා ලෙසින් එම රෙජිමේන්තුවත් සමගම වර්ෂ 1826 මෙරටට පැමිණ පසුව වර්ෂ 1829 දී පමණ මාතලේ දිසාවේ රජයේ ඒජන්ත තනතුර ලැබූහ.

'දළදා මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ පසුව අංක 1 ශිව දේවාලය (එම ශිව දේවාලය පිළිබඳව වූ ලිපිය කියවීමට Link>>) ලෙස නම් කල ගොඩනැගිල්ල නැරඹීමට යාමේදි ඔහුගේ අත්දැකිම් ෆොබ්ස් විස්තර කරන්නේ මෙලෙසිනි. ෆොර්බ්ස් සිය ග්‍රන්ථය මුල් වරට ප්‍රකාශයට පත් කරන්නේ වර්ෂ 1840 දීය.

".....විශාල වශයෙන් වලසුන් මෙම නටබුන් සිය වාසස්ථාන ලෙස තෝරාගෙන ඇත. මෙම 'අභයභූමිය' ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හැරගොස් ඇත්තේ අපගේ පැමිණීමත් සමග ඇසුන ශබ්දය ඇසීමෙන් අනතුරුවය. පොරෝ වලින් සන්නද්ධව සිටියද මග පෙන්වන්නන් පිවිසුම වෙත ලඟාවීමේදි නිතරම බොහෝ උනන්දු ඇතිව වට පිට බලා අපගේ තුවක්කු සූදානම් කර තබාගෙන සිටින ලෙස ඉල්ලා සිටියහ. ගොඩනැගිල්ලට ඇතුළු වීමට පොරොතුව මගපෙන්වන්නා දොරකඩ එක් පසක සිටගෙන ඔහුගේ හිස ඇතුලට දමා හයියෙන් කෑ ගසා, කිසියම් 'සහෝදර වලසෙකු' ඇතුලත සිටී නම්  කැඳවීමට ඔහුට පිළිතුරු දීමට හෝ ඉදිරියට පැමිණ ඉදිරිපත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී අපට ඇතුලු වීමට අවසර ලබාදේ."

අංක 1 ශිව දේවාලය
වලසුන් ගැවසුන පොළොන්නරුව පැරණි නගරයේ බොහෝ නටබුන් අද වන විට පුරාවිද්‍යාඥයන් විසින් කැනීම් කර සංරක්ෂණය කර ඇත. රක්ෂිත වන උද්‍යාන කිහිපයකට පමණක් සීමා වූ වලසා පොළොන්නරුවට ආසන්නම වස්ගමුවේද මේ වන විට කලාතුරකින් දැකිය හැකි දුර්ලභ සතෙක් බවට පත්වී ඇත. තෝපාවැව පැරණි ගම්මානය අද වන විට ලංකා සිතියමින් මැකී ගොස්ය. ජනාකීර්ණ පොළොන්නරුව නව නගරය ඒ වෙනුවට ඉදිවී ඇත. බරෝස් සඳහන් කරන යෑමට අපහසු හබරන- තෝපාවැව කරත්ත පාර අද වන විට කාර්පට් කල නවීන මාර්ගයකි. කොළඹ සිට පැය කිහිපයකින් සුඛෝපභෝගී මෝටර් රථයක නැගී අවශ්‍ය නම් මෑත කාලයේදී එම මාර්ග නැවත කාර්පට් අතුරා ඉදිකල ජන නායකයාට "ඌ හොරා පේනවද පාරවල් හදලා හොරකන් කල හැටි" කියා බැන වදිමින් පහසුවෙන් ලඟා විය හැක.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
  • Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Authors of Books on Sri Lanka. 1796-1948, C.G. Uragoda, 2011
  • The Buried Cities of Ceylon, A Guide book to Anuradhapura And Polonaruwa S.M. Burrows, 1906