මහා පරාක්‍රමබාහු හා සුගලා දේවිය අතර රෝහණ දේශයේ බලය සඳහා වූ සංග්‍රාමයේදී මහා පරාක්‍රමබාහුගේ රක්ඛ දමිළාධිකාරි විසින් වනනදී පෙදෙසේ (වනනදීපස්සං) සිට මාලාවරත්ථලි ගිරිදුර්ගයට පසු බැසීමට සැරසුන සතුරන් විනාශකල බව මහාවංශයේ සඳහන් වේ. එම සතුරන් සියගණන් ගම් නියම්ගම්වල උලතබා, එල්වා හෝ දවා හළුකොට දොළොස්දහස් රට (ද්වාදසසහස්සකෙ) සතුරන් රහිත කර මහානාගකුල ගමෙහි සිට සුභ නැකතින් ගම් නියම්ගම් වල අණබෙර හැසිරවූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ. එම මහානාගකුල නුවර වනවාහිනී (වන නදී) තෙර ආරාමයක වැඩ විසූ මහානාගසේන නමැති හිමි නමක් බුරුම රට අරිමද්දන පුර වෙහෙරක විසූ කස්සප නම් යතිවරයෙකු වෙත යැවූ හස්නක් ලෙසින් පොළොන්නරු යුගයේ කිසියම් කතුවරයෙකු විසින් පාළි භාෂාවෙන් රචිත මානාවුලු සංදේශය නැවතත් එම වනනදිය, ඒ අසල පිහිටි මහානාගකුල පෙදෙස සහ රම්‍ය වූ විහාරය පිළිබඳව විස්තර ඉදිරිපත් කරයි.
එම මානාවුලු සංදේශයට කල පැරණි සන්නයක 'වනනදී' යන්න 'වලා හොය' ලෙසින් හඳුන්වන බැවින් වර්තමානයේ වළවේ ගඟ ලෙසින් හැඳින්වෙන්නේ එම පැරණි වන නදිය බවත්, මහානාගකුල හෙවත් මානාවුලු නුවර අම්බලන්තොට-ඇඹිලිපිටිය පාරේ වලවේ ගඟේ දකුණු ඉවුරෙ විශාල නටබුන් ප්‍රමාණයක් පැතිර ඇති රම්බා වෙහෙර පිහිටි ප්‍රදේශය ලෙසත් පරණවිතාන, කොඩ්රිංටන් සහ නිකොලස් වැනි වියතුන් හඳුනාගනී.
මෙයට පෙරද විස්තරාත්මකව සඳහන් කර ඇති පරිදි (උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....) පොළොන්නරු යුගය වන විට (11-12 වන සියවස්) හෝ ඇතැම් විට එයට පෙර සිටම රුහුණේ දකුණු ප්‍රදේශය අටදහස් රට සහ දොළොස්දහස් රට ලෙසින් ප්‍රධාන කොටස් දෙකකට බෙදී තිබූ අතර වනනදිය හෙවත් වළවේ ගඟ එම රටවල් දෙකේ බෙදුම් රේඛාව විය. වළවේ ගඟින් නැගෙනහිරට වූ පෙදෙස සහ පහල ඌව අටදහස් රට (අට්තසහස්ස) වූ අතර බටහිර දෙසට වූ පෙදෙස දොළොස්දහස් රට හෝ දේශය (ද්වාදසසහස්සක) විය. දොළොස්දහස් රටෙහි අගනුවර මහානාගකුල විය.
එම මහානාගකුල හෙවත් මානාවුළු නුවර නටබුන් පිහිටි ස්ථානයේ සිට වළවේ ගං නිම්නයේ පහලට යනවිට පැරණි නටබුන් සහිත ස්ථාන කිහිපයක්ම හමුවේ. මෙම ලිපියට පාදක වන උච්චවාලිකාරාමය නම් වු විහාර භූමියේ පිහිටි නටබුන් ගොඩනැගිලි අයත් වන්නේ එවන් එක් පැරණි පුදබිමකටය. මෑත යුගයේ ඉදි කල විහාරයක් වන උච්චවාලිකාරාමයට එම නම පුරාණයේ සිට ව්‍යවහාර වී ආ බවට සිතිය නොහැක. බෝලාන නම් වූ ගමේ පිහිටි බැවින් 1972 වසරේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සැකසු 'පැරණි ස්මාරක නාමාවලියේ' බෝලාන නටබුන් ස්ථානය ලෙසින් මෙය හැඳින්වේ. එම ස්ථානයේ නිදන් හොරුන් විනාශ කල පැරණි දාගැබක් සහ එයට නුදුරින් ගල් කුළුණු සහිත විහාර ගෙයක අවශේෂ ඇති බවත්, එයටත් නැගෙනහිරට වන්නට තවත් එවැනි ගොඩනැගිල්ලක විය හැකි ගල් කුළුණු සහිත ගොඩැල්ලක් ඇති බවත් එහි සඳහන් වේ. දැගැබ සහ මළුවේ බැමි මැටියෙන් බැඳ කපරාරු කර තිබූ බවත්, විහාර ගෙය වටා ගඩොලින් කල ප්‍රාකාරයක් තිබුන බවට සාක්ෂි ඇති බවත්, එහි තිබූ හිස සුන් ගලින් කරන ලද හිටි පිළිමය අම්බලන්තොට පුරාවිද්‍යා කෞතුකාගාරයට ගෙන යන ලද බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
පසු කලක මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පල කල 'හම්බන්තොට දිස්ත්‍රික්කය, සමාජ-සංස්කෘතික උරුමය' නම් වූ ලිපි සංග්‍රහයට 'හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැරණි ස්මාරක' නමින් ලිපියක් සපයන ආචාර්ය සෙනරත් දිසානායක මහතා මෙහි නටබුන් දාගැබ් 3 සහ තවත් ගොඩනැගිලි කිහිපයක නටබුන් ඇති බව පවසයි. කෙසේ නමුත් ඉහත විස්තර කල දාගැබ සහ පිළිම ගෙය මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇති අතර අවම වශයෙන් වෙනත් ගොඩනැගිලි 3 ක නටබුන් ගොඩැලි සහ විනාශ කල හිඳි පිළිමයක්,පාදම් ගල් සහ වෙනත් අවශේෂ මෙම ස්ථානයේ දැනට දැකිය හැක.
මූලාශ්‍ර
එම මානාවුලු සංදේශයට කල පැරණි සන්නයක 'වනනදී' යන්න 'වලා හොය' ලෙසින් හඳුන්වන බැවින් වර්තමානයේ වළවේ ගඟ ලෙසින් හැඳින්වෙන්නේ එම පැරණි වන නදිය බවත්, මහානාගකුල හෙවත් මානාවුලු නුවර අම්බලන්තොට-ඇඹිලිපිටිය පාරේ වලවේ ගඟේ දකුණු ඉවුරෙ විශාල නටබුන් ප්‍රමාණයක් පැතිර ඇති රම්බා වෙහෙර පිහිටි ප්‍රදේශය ලෙසත් පරණවිතාන, කොඩ්රිංටන් සහ නිකොලස් වැනි වියතුන් හඳුනාගනී.
මෙයට පෙරද විස්තරාත්මකව සඳහන් කර ඇති පරිදි (උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....) පොළොන්නරු යුගය වන විට (11-12 වන සියවස්) හෝ ඇතැම් විට එයට පෙර සිටම රුහුණේ දකුණු ප්‍රදේශය අටදහස් රට සහ දොළොස්දහස් රට ලෙසින් ප්‍රධාන කොටස් දෙකකට බෙදී තිබූ අතර වනනදිය හෙවත් වළවේ ගඟ එම රටවල් දෙකේ බෙදුම් රේඛාව විය. වළවේ ගඟින් නැගෙනහිරට වූ පෙදෙස සහ පහල ඌව අටදහස් රට (අට්තසහස්ස) වූ අතර බටහිර දෙසට වූ පෙදෙස දොළොස්දහස් රට හෝ දේශය (ද්වාදසසහස්සක) විය. දොළොස්දහස් රටෙහි අගනුවර මහානාගකුල විය.
පසු කලක මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පල කල 'හම්බන්තොට දිස්ත්‍රික්කය, සමාජ-සංස්කෘතික උරුමය' නම් වූ ලිපි සංග්‍රහයට 'හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැරණි ස්මාරක' නමින් ලිපියක් සපයන ආචාර්ය සෙනරත් දිසානායක මහතා මෙහි නටබුන් දාගැබ් 3 සහ තවත් ගොඩනැගිලි කිහිපයක නටබුන් ඇති බව පවසයි. කෙසේ නමුත් ඉහත විස්තර කල දාගැබ සහ පිළිම ගෙය මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කර ඇති අතර අවම වශයෙන් වෙනත් ගොඩනැගිලි 3 ක නටබුන් ගොඩැලි සහ විනාශ කල හිඳි පිළිමයක්,පාදම් ගල් සහ වෙනත් අවශේෂ මෙම ස්ථානයේ දැනට දැකිය හැක.
මූලාශ්‍ර
- මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- මානාවුලු සංදේශය, අත්තුඩාවේ සිරි රාහුල හිමි, 2000
- හම්බන්තොට දිස්ත්‍රික්කය, සමාජ-සංස්කෘතික උරුමය, ප්‍රධාන කර්තෘ මහාචාර්ය නිමල් ද සිල්වා, 2005
- පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966
- Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
- Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925