අවිස්සාවේල්ල නගරයේ සිට කෑගල්ල පාරේ මද දුරක් ගොස් සීතාවක ඔය හරහා ඇති පාලම පසු කර දකුණු පසට ඇති කුඩා පාරක් ඔස්සේ ගිය විට පැරණි ශෛලමය ගොඩනැගිල්ලක සංරක්ෂණය කල නටබුන් හමුවේ. බැරැණ්ඩි කෝවිල ලෙසින් හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල පිළිබඳව වර්ෂ 1800 මාර්තු මස එම ස්ථානයට ගිය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ 19 වන පාබල රෙජිමේන්තුවේ රොබට් පර්සිවෙල් පවසන්නේ එය ඒ වනවිටද නටබුන් වී ගිය ආගමික ස්ථානයක්ව (Ruins of a temple) තිබූ බවයි. සතර දෙසින්ම පඩිපෙල් සහිතව අඩි 4-5 උසට බිත්ති ගලින් නිර්මාණය කර තිබූ එය ඔහු මෙරටදි දුටු එවන් ආකාරයේ පළමු ශෛලමය නිර්මාණය බව පර්සිවල් පවසයි. එහි පාදමේ ගල් කණු වල ඒ වනවිටද සෙල්ලිපි කිහිපයක්ම තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
1827 වසරේදී එම ස්ථානයට ගිය මේජර් ෆොබ්ස් එය රාජසිංහ රජු 16 වන ශතවර්ෂයේ මැද භාගයේදි යක්ෂයන් ඇදහීම (Demon worship) සඳහා ඉදි කල බයිරන්ඩේ කෝවිල්ල (Bairainde Kowilla) ලෙස හඳුන්වයි. ඝනව වැවි තිබූ වන ප්‍රවාහය නිසා ඔහුට එහි මිණුම් ගැනීමට හෝ එහි විශේෂ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නොහැකි වූ නමුත් මෙම ගොඩනැගිල්ලද 16 වන ශතවර්ෂයේ අග භාගයේදී පෘතුගීසින් විසින් සීතාවක රාජධානිය යටත් කර එහි ගොඩනැගිලි ගිනි තැබූ අවස්ථාවේදී බිඳ හෙළා ඇති බව ඔහු පවසයි.
මෙම ස්ථානයේ නටබුන් මනාව ආරක්ෂා වි පවතින නමුත් සැලකිය යුතු මට්ටමේ කළුගල් කුට්ටි ප්‍රමාණයක් වෙනත් ගොඩනැගිලි සෑදීම සඳහා රැගෙන ගොස් ඇති බව පසුකලක H. වයිට් (H.White) විසින් Seethawaka and its vicinity නමින් Orientalist සිව්වන වෙළුමට ඉදිරිපත් කල ලිපියක සඳහන් වේ.
වර්ෂ 1885 ඔක්තොබර් මස එම ස්ථානයට යන ලෙ මසූරේ (C.J.R. Le Mesurier) සීතාවක තොටුපොල අසල පිහිටි නටබුන් ගොඩනැගිල්ල බැරණ්ඩි කෝවිල (Barendi Kovil) නමින් හඳුන්වා එය පැරණි ඉදිකිරීම් අවසන් නොකල ආගමික ස්ථානයක් ලෙස (Ancient unfinished temple) ඔහුට හඳුන්වාදුන් බව පවසයි. එහෙත් ඒ පිළිබඳව මනා විස්තරයක් දන්නා කිසිවෙකු ඔහුට සොයාගැනීමට නොහැකි වූ බවද හෙතෙම පවසයි. එම ගොඩනැගිල්ල පිහිටි ඉඩම මහනුවර මහා දේවාලයට (විෂ්ණු දේවාලය) අයත් බවත් එහි බස්නායක නිළමේ විසින් එය මිගෙට්ටුවත්තේ හිමියන්ට 99 වසරකට බදු දුන් බවත්, ඒ හිමියන් එය නැවතත් වෙනත් පහත රට පුද්ගලයෙකුට බදු දුන් පසු එම පුද්ගලයා එහි තිබූ ගල් වලින් කොටසක් රැගෙන ගොස් ඔහුට කුඩා මනරම් නිවසක් ඉදිකල බවත් සඳහන් කරයි. (Who has built a nice little house out of the portion of the stones of the temple)
නැවතත් 1887 වසරේ මැයි 17 දරන F.H ප්‍රයිස්ගේ (F.H. Price) දිනපොතෙන් හෙළිවන්නේ ඔහු රත්වත්තේ බස්නායක නිළමේගෙන් බැරණ්ඩි කෝවිල (Berendi Kovil) පිහිටි ඉඩම ඔහු විසින් බදු දුන්නේදැයි විමසා සිටි බවත්, එසේම එම ගොඩනැගිල්ල ප්‍රතිස්ථාපනය කිරීමට ඔහුට යම් අදහසක් ඇත්දැයි වැඩිදුරටත් අසා සිටි බවත්ය. එයට පිළිතුරු සපයන බස්නායක නිළමේ දන්වා එවා ඇත්තේ ඔහුට පෙර සිටි තැනැත්තෙකු එය මිගෙට්ටුවත්තේ උන්නාන්සේට බදු දී ඇති බවත්, එය අවලංගු කර ගැනීම සඳහා ඔහු උත්සුක වන බවත්ය. එසේම ඒ සඳහා උදව් කරන ලෙසද ඔහු ඉල්ලා සිටි බවත් ප්‍රයිස් වැඩිදුරටත් පවසයි. රත්වත්තේ බස්නායක නිළමේ වැඩිදුරටත් ප්‍රයිස්ට දන්වා ඇත්තේ එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔහුට අවශ්‍ය නමුත් ඒ සඳහා හැකියාව නැති බවත්ය. ආණ්ඩුවේ ඒජන්ත (Government Agent) වෙත ඉන් අනතුරුව ප්‍රයිස් මහතා එම කරුණු දෙක ඉටුකරදෙන ලෙස ඉල්ලා ලිපියක් යොමු කරයි.
සියලු මිණුම් සමග මෙම කෝවිල පිළිබඳව සවිස්තර විස්තරයක් මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස පසු කලක පත්වන H.C.P. බෙල් මහතා සිය සුප්‍රසිද්ධ කෑගලු වාර්තාව මගින් වර්ෂ 1904 දී ඉදිරිපත් කරයි. කැටයම් වල සහ ගොඩනැගිල්ලේ කොටස් වල සැලසුම්ද ඒ සමග ඉදිරිපත් කරන හෙතෙම මෙම ගොඩනැගිල්ල ද්‍රවිඩ ගෘහ නිර්මාණාත්මක අංග ලක්ෂණ වලින් යුත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස හඳුන්වයි.
බැරණ්ඩි කෝවිල පිළිබඳව විය හැකියැයි සිතිය හැකි බොහෝ දුරට එකම ඓතිහාසික ලේඛනගත සඳහන (ඉංග්‍රිසි වාර්තා වලට පෙර) සැවුල් සන්දේශයේ හෙවත් සැවුල් අස්නේ අන්තර්ගත පැදි කිහිපයකින් විස්තර වන සීතාවක පුරවරය පිළිබඳව වූ වර්ණනාවයි. සීතාවක රාජසිංහ හෙවත් පළමුවන රාජසිංහ අවධියේම ලියවුණු එම විස්තරය වෙත දැන් අපි යොමුවෙමු.
සව් සිරි පිරි එපුර වරඟනගෙ මන නඳ
දෙව් රජ විමන් තන යුගතුරෙහි ගිලි සොඳ
එව් නිල වසා රොද ගඟිනෙතරවැ පැහැද
දෙව් විමනතෙහි රඟ වහසල තුළට වැද
සීතාවක ඔයෙහි එක් පසක සීතාවක යුගයට අයත් රජ මාළිගයේ නටබුන් වර්තමානයේද දැක ගත හැකි අතර අනෙක් පස බැරැණ්ඩි කෝවිල ලෙස ජනවහරේ හැඳින්වෙන මෙම ලිපියේ සාකච්චා වන කෝවිලෙහි නටබුන් දැක ගත හැක (පහත සිතියම බලන්න). සැවුල් සන්දේශ කවියා ඉහත කවියෙන් සීතාවක නගරය වරඟනක ලෙසත්, (උතුම් කාන්තාවක්) එම නගරයේ ඇති රජ මාළිගාව සහ දේවාලය ඇයගේ පයෝදර ලෙසත්, ඒ දෙක මැදින් ගලා බස්නා සීතාවක ඔය ('ගඟ' ලෙසින් කවියේ හැඳින්වෙන කැළණි ගඟේ අතු ගංගාව වර්තමානයේ හැඳින්වෙන්නේ එම නමිනි.) ඇගේ වසාරොද (ලපැත්තේ මැද සිට උකුල තෙක් ඇති රෝම පෙල) ලෙසත් හඳුන්වයි.
සැවුල් සන්දේශයේ ඉන්පසුව එන පද්‍යයෙන් රජ මැදුරේ සිට ගඟින් එතෙර වූ පසු හමුවන දේවාලය කුමක්දයි යන්න පැවසේ.වයිරව සිටි අසුර සෙන් ජයගෙනැ නොමද
කයිරව සිය සදිසි යසසින් යුතු පබද
බයිරව කෝවිලට වදිමින් සිතු පැහැද
වයියව සබද නරඹා එහි රැඟුම් පුද
සැවුලාට බයිරව කෝවිලට ඇතුලුව එහි නැටුම් පූජාව බලන ලෙස පවසන බැවින් එම කෝවිල භෛරව දෙවියා උදෙසා පුද පූජා පවත්වන ස්ථානයක් ලෙස සැලකිය හැක. සැවුල් සන්දේශ කවියා ඉන් අනතුරුව එම දේවාලයේ තිබූ සිතුවම් පිළිබඳව විස්තරයක් ඉදීරිපත් කරයි . ඒ අනුව එහි රාම රාවණා යුද්ධය, මහා භාරත සංග්‍රාමය සහ ස්කන්ධ කුමාරයා කල අසුර යුද්ධ ආදියේ සිතුවම් තිබූ බව පැවසේ. කෙසේ නමුත් අනතුරුව සැවුලාට පිවිසෙන ලෙස පවසන්නේ හරඟන විමන තුලටය. එනම් ඊශ්වරගේ භාර්යාව වූ උමයංගනාව හෙවත් මහේෂ්වරියගේ දෙවොල තුලටය. ඉන්පසු දසපද හෑල්ලක් මගින් උමයංගනාව පිළිබඳව ගුණ වයා ඇයගෙන් අවසර ගන්නා ලෙස සැවුලාට පවසයි.
මේ අනුව මෙම ස්ථානයේ භෛරව කෝවිලක් සහ වරඟන එනම් උමයංගනාවට පුද පූජා පවත්වන දේවාලයක් තිබූ බව සැවුල් සන්දේශයට අනුව පැහැදිලි වේ. කාලි ලෙසින්ද හැඳින්වෙන්නේ උමයංගනාවගේ එක් අවතාරයක් හෙවත් වේශයක් බැවින් වර්තමානයේද මෙරට ඇතැම් ප්‍රදේශ වල දැකිය හැකි ආකාරයේ කාලි කෝවිලක්ද ඒ අනුව මෙහි තිබූ බව අනුමාණ කල හැක. මෙම බයිරව කෝවිල පද පෙරලියක් තුලින් කාලයත් සමග වෙනස් වී වර්තමානයේ ව්‍යවහාර වන බැරණ්ඩි කෝවිල යන්න ප්‍රභවය වූ බව සිතිය හැක.
සැවුල් සංදේශය
සැවුල් සංදේශය හෙවත් එම කාව්‍යයෙහි දැක්වෙන අයුරින් සැවුල් අස්න අලගිවන් මුකවෙටි විසින් කල බව එහි අවසාන කවියෙහි දැක්වෙන බැවින් සීතාවක යුගයේ සිටි ප්‍රසිද්ධ පඬිවරයෙකු වන අලගියවන්න මුකවෙටි විසින් එය කල බව පෙනේ. එම සැවුල් අස්න රචනා කිරීමෙහි අරමුණ සීතාවක රාජසිංහ රජුට සහ සසුනට සෙත් පතා සීතාවක සිට සැවුලෙකු (කුකුළකු) අතේ සපරගමු පුරවරයෙහි සමන් දේවාලයේ සුමන සුරිඳු වෙත හසුනක් යැවීම වන බැවින් එහි කාලයද සීතාවක රාජසිංහ යුගයම බව පෙනේ (ක්‍රි.ව. 1580 - 1588)
සීතාවක රාජධානිය ආරම්භ වනුයේ සීතාවක රාජසිංහ රජුගේ පියා වන මායාදුන්නේ රජුගෙන් (ක්‍රි.ව. 1521 - 1580) වන බැවින් මෙම දෙවොලද සීතාවක රාජසිංහ හෝ මායාදුන්නේගේ රාජ්‍ය කාලයේ ඉදිවූවක් බව සිතිය හැක. මහාවංශයට අනුව පසු කලක සීතාවක රාජසිංහ රජු විපරීත අදහස් ඇතිව බුදු සමය අතහැර ශිව ආගම (ඊශ්වර දෙවියා ඇදහීම) වැලදගත්තේය. එහෙත් සැවුල් සන්දේශය මගින් සමන් දිව්‍යරාජයාගෙන් මුනිසස්නද (බුදු සසුන), රාජසිහ නිරිඳු සහ මැති ගණද, ඇත් අස් රිය පාබල සෙනගද, ජනතාවද රකින ලෙස අයදින බැවින් රජු එසේ ශීව ආගම වැලද ගත්තා නම් ඊට පෙර කලක මෙය ලියූ බව සිතිය හැක. කෙසේ නමුත් සීතාවක යුගය දකුණු ඉන්දීය සංස්කෘතික බලපෑම ශීඝ්‍රයෙන් මෙරට තුල පැතිරෙමින් තිබූ අවධියක් බවට වෙනත් සාධකද ඇති බැවින් එම දෙවිවරුන් උදෙසා වූ දෙවොල් ආදිය සීතාවක නගරයේ ඉදිවී තිබූ බව පෙනේ. එම නිසා මෙම අගනා නටබුන් ගොඩනැගිල්ල සැවුල් අස්නේ දැක්වෙන බයිරව කෝවිල හෝ උමයංගනාවගේ දෙවොලේ නශ්ඨාවශේෂ ලෙස හඳුනාගත හැක. බැරැණ්ඩි කෝවිල යන නාමය නම් නිසැකවම බයිරව කෝවිල යන්නෙහි විකෘතියකි.
මූලාශ්‍ර
- An account of the Island of Ceylon , Robert Percival, 1803.
- Eleven Years in Ceylon, Major Forbes Vol 1 & 2, 1840
- මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
- සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
- ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
- Archaeological Survey of Ceylon, Report on The Kegalla District of the Province of Sabaragamuwa, H.C.P. Bell, 1904
- සීතාවක රාජධානියේ උන්නතියේ ද අවනතියේ ද සමහර අංශ පිළිබඳ විමර්ශනයක් (ක්‍රි.ව. 1521 සිට ක්‍රි.ව. 1593 දක්වා ) මහාචාර්ය රිසිමන් අමරසිංහ, 1998
- සැවුල් සන්දේශය