Saturday, April 27, 2024

මීන් විල්ලුවේ එරික් ස්වෝන් ගලේ අභිරහස්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මෙරට බෞද්ධ ජනතාව අතර වන්දනාමානයට පාත්‍ර වන ප්‍රධානතම පුදබිමක් වන සෝමාවතිය රජමහා විහාරය දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයකි. පෙරිය ආරුව නැතහොත් කොටන් ගඟ ලෙසින් හැඳින්වෙන ඔයේ පාලම මතින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ පාලනය යටතේ පවතින  සෝමාවතිය ජාතික උද්‍යානය හරහා වැටී ඇති මාර්ගයට පිවිසීමෙන් පසු වනාන්තරය මැදින් සෝමාවතිය පුද බිම වෙත යාමේදී එහි පිවිසුමට කිලෝමීටරයකට පමණ මෙපිටින් මීන් විල්ලුව ලෙසින් හැඳින්වෙන විල්ලුවක පාරේ දකුණු පසින් පිහිටි එතරම් උස නොවන දික් ගල් තලාවක් හමුවේ. මේ වන විට නම් එතරම් පැහැදිලිව පාරට නොපෙනෙන තරමටම වනාන්තරයෙන් වැසී ඇති මුත් Google සිතියම් වල Stone Inscription Rock (Eric Swan Rock) ලෙසින් සලකුණු කර ඇති එම ස්ථානය සොයාගැනීම එතරම් අපහසු නොවේ.

සෝමාවතිය ජාතික උද්‍යානය, මීන් විල්ලුව, මීන් විල්ලුවේ සහ මහවැලි ගඟ ඉවුරේ සැරිසරන විල් අලි ලෙසින් හැඳින්වෙන අලින්ගේ සහ එරික් ස්වෝන් ගලේ දර්ශන සහිත කෙටි වීඩියෝව >>


මෙරට බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන්ම කොළඹ නගරයේ තවමත් සුදු ජාතිකයන්ගේ නම් වලින් ස්ථාන නාම දැකිය හැකි මුත් මෙවන් දුර බැහැර ප්‍රදේශයක එසේ ඉංග්‍රීසි ජාතිකයෙකුගේ යැයි බැලූ බැල්මට හැඟෙන එරික් ස්වෝන් වැනි නමකින් පර්වතයක් නම් කර තිබීම බොහෝදෙනෙකුට කුහුලක් දනවන දෙයක් වන බැවින්දෝ ඒ වටා විවිධ කතාන්දර ගෙතී තිබීම අරුමයක් නොවේ. මෙරට ප්‍රධානතම ඉංග්‍රීසී පුවත්පතක් වන Sunday Observer පුවත්පතතේ 2021 වර්ෂයේදී පලවී ඇති ලිපියක (>>) සඳහන් වන ලෙසට නම් එරික් ස්වෝන් නම් ඡායාරූප ශිල්පියෙකුද වන පුද්ගලයෙකු එම ගලේ නෙලා ඇති සැතපෙන බුදු පිළිමයකට වෙඩි තබා ඇති අතර එම ශබ්දය අසා කලබල වූ අලියෙකු ඔහුට පහර දී මරා දැමූ පසු එම ගල එසේ හඳුන්වා ඇත (It is so named because a person called Eric Swan, a photographer who shot at the reclining Buddha statue carved into a rock was killed on that rock by a wild elephant who was agitated by the sound of the gunshot. 
We didn’t get to see the rock, but heard the story from a caretaker at the temple.සෝමාවතිය පුද බිමට ගිය චාරිකාවකින් පසුව එම ලිපිය ලියූ මහතා එසේ පවසා ඇති බව ලිපිය කියවීමේදී පෙනෙන මුත්, ඔහු සඳහන් කරන එම ගලේ එරික් ස්වෝන් හට වෙඩි තැබීමට එවන් බුදු පිළිමයක් තිබේද යන්නවත් විමසා බැලීමට එම ලිපිය ලිවූ පුද්ගලයාට වුවමනාවක් තිබූ බවක් නොපෙනේ. මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය වල පළවන ලිපිවල අඩංගු කරුණු වල විශ්වාසනීයත්වය ගැන වටහාගැනීමට මෙයට වඩා තවත් උදාහරන අවශ්‍ය නොවේ.  

මීන් විල්ලුවේ සැරිසරන වන අලි
සැබවින්ම සිදුවූවේ කුමක්ද?

1951 වර්ෂයේ සැප්තැම්බර් අවසාන භාගයේ වූ මේ සිදුවීම, පසුකාලීනව එම සිදුවීම සිදුවන අවස්ථාවේ එයට මුහුණදුන්  පුද්ගලයකු ලෙසට සිටි ස්ටැන්ලි ද සිල්වා මහතා විසින් එකල  Wild Life Protection Society of Ceylon ලෙසින් හැඳින්වූ මුල් යුගයේදී Ceylon Game and Fauna Protection Society වූ වර්තමාන Wild Life and Nature Protection Society of Sri Lanka සංගමයේ සඟරාව වූ Loris දහවන කලාපයට (1964-1966) Eric Swan's Last Journey  ලෙසින් ලිපියක් ලියමින් විස්තර කර ඇත. ඒ අනුව ඔහු මග පෙන්වන්නා (Game Ranger) ලෙසින් එකතු වී ඇත්තේ ප්‍රවීන සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව ඇතුළු සිනමා නිර්මාණ රැසකට කැමරා ශිල්පියා ලෙසින් දායක වූ මෙරට සිටි ප්‍රධාන පෙලේ සිනමා කැමරා ශිල්පියෙකු වන විලියම් බ්ලේක් (නැතහොත් විලී බ්ලේක් - විලී බ්ලේක්ගේ දියණියන්  ඔහුගේ අභාවයෙන් පසුව ඔහු පිළිබඳව තැබූ සටහන කියවීමට >>) ඇතුළු පිරිසක් සමග වන අලින් චිත්‍රපටයකට නැගීම සඳහාය. දෙවන දිනයේදී ඔවුන් සමග මෙම සිද්ධියට මුහුණ දුන් එවකට සිටි ප්‍රකට වනසත්ව ඡායාරූප ශිල්පියෙකු වන එරික් ස්වෝන්ද එකතු වී ඇත (එරික් ස්වෝන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවේ. ඔහු මෙරට බර්ගර් ලෙසින් හැඳින්වෙන ජන වර්ගයට අයත් පුද්ගලයෙකි.) මීන් විල්ලුව ආසන්න ස්ථානයක කඳුවුරු බැඳ සිටි එම පිරිස පසු දින නැවතත් එයට පෙර දින ඔවුන් දුටු 72 ක පමණ වූ අලි රංචුව ඡායාරූපයට නැගීම උදෙසා ප.ව. 2.30 ට පමණ මීන් විල්ලුව වෙත පැමිණ ඇත. එහෙත් සැතපුම් ගණනාවක් ඇවිද ගියමුත් ඔවුන්ට කිසිදු අලියෙකු දැකගැනීමට හැකි නොවූ හෙයින්, පෙරදින අලි රංචුව නැරඹු ගල් පර්වතය [දැන් එරික් ස්වෝන් පර්වතය ලෙසින් හැඳින්වෙන ස්ථානය] වෙතට පැමිණ ඇත්තේ විඩා නිවීම උදෙසාය. ප.ව. පහට පමණ කණ්ඩායමේ සිටි ලැනරෝල් මහතා (මේ තවත් පිරිසක් සමග මහියංගනයේ සිට මහවැලි ගඟ දිගේ ඔරුවකින් පහලට චාරිකා කරමින් පසුව ඒ පිළිබඳව වන නදිය නමින් පොතක් ලියූ සැමුවෙල් ඩියුක් දි ලැනරෝල් මහතා වේ. විලී බ්ලේක්ගේ නායකත්වයෙන් සිදු කල එම ගමනට එරික් ස්වෝන්ද සහභාගී වී ඇත. ලැනරෝල් මහතා සිය වන නදිය පොතේ පිරිනැමීම සිදු කර ඇත්තේද ඔහුට වන චාරිකා යාමට ඇල්ම ඇති කරවූ එරික් ස්වෝන් නම් මිතුරාගේ ස්මරණය උදෙසාය.) වනාන්තරය තුලින් මතුවූ තනි අලියෙකු දැක ඇති අතර, පිරිස තීරණය කර ඇත්තේ එම අලියාව සමීපව ඡායාරූපගත කිරීම උදෙසා ඒ දෙසට යා යුතු බවය. ස්ටැන්ලි මහතා සමග එරික් සහ විලී බ්ලේක් කැමරා සහ තුවක්කු රැගෙන පඳුරු වලට මුවා වෙමින්, සුලඟ හමන දිශාව නිරීක්ෂණය කරමින්  ඒ දෙසට ගමන් කර යාර 50 ක් පමණ දුරක සිට පඳුරකට මුවාවී ඔවුනට පසු පස හරවාගෙන සිටි එම ඇතින්න ඡායාරූපයට නැගීම සහ චිත්‍රපටගතකිරීම අරඹා ඇත. 

මීන් විල්ලුවේ යාර 200 ක පමණ දුරක සිටින ඇතින්නක සහ පැටවෙකුගේ ඡායාරූපයක් - එරික් ස්වෝන් සිටි යුගයේ මෙන් ජීවිත අවදානමක් නොගෙන අද එවන් ඡායාරූපයක් ගැනීම තාක්ෂණයේ දියුණුව සමග පහසුවෙන් කල හැක.

මද වේලාවකට පසුව එරික් පවසා ඇත්තේ ඇතින්නට තව දුරටත් සමීප විය යුතු බවය. ස්ටැන්ලි සහ බ්ලේක් එයට එකඟ වී නොමැති මුත් මෙයට පෙර අවස්ථා වලදී අලින්ට ඉතාමත් ලන්ව ඡායාරූප ගත කර පලපුරුදු එරික් තනිව හෝ යන බව පවසා යාමට සැරසුන විට අනෙක් දෙදෙනාද ඔහු සමග එකතු වී ඇත. ඒ අවස්ථාවේ එරික්ගේ රයිපලය පරික්ෂා කල ස්ටැන්ලි එය ලෝඩ් කර නොමැති බව දැක එය ලෝඩ් කර ඔහුට දී, ඔවුන්ද සිය රයිපල් අතැතිව එරික් සමග එකතු වී ඇත. සුලඟ ඔවුන්ට වාසිදායක දිශාවට තිබූ හෙයින් ඇතින්නට යාර 25 ක් 30 ක් පමණ දක්වා ලගාවීමට හැකිවී ඇති අතර ඇතින්න ඔවුන් පිළිබඳව කිසිදු දැනීමක් නොමැතිව තණකොල කමින් සිට ඇත. මේ අවස්ථාවේ බ්ලේක් සිය සිනමා කැමරාව ක්‍රියාත්මක කර ඇති අතර ස්ටැන්ලි මහතා සැක කරන ලෙසට එහි ශබ්දය ඇතින්නට ඇසුනා විය යුතුය. ඒ අවස්ථාවේ මදක් දකුණු පසට හැරුන ඇතින්න හොඩවැල ඉහලට ඔසවා තප්පර කිහිපයක් සුලඟ පරික්ෂා කර බලා එක්වරම ඔවුන් සිටි දිශාවට හැරී අදහාගත නොහැකි වේගයකින් හොඩවැල ඉහලට කරකවාගෙන ස්ටැන්ලි මහතා විස්තර කරන ලෙසට ශීඝ්‍රගාමී දුම්රියක වේගයෙන් ඔවුන්ට පහරදීමට පැමිණ ඇත. 

අන් අයට දුවන ලෙසට කෑගසා පවසා ස්ටැන්ලි මහතා තමා දෙසට එන ඇතින්නට වෙඩි තබා ඇති මුත් එය සාර්තක වී නැත. මේ අවස්ථාවේ කැමරාවට ඇස තබාගෙන සිටි බ්ලේක් එයින් ඇස ඉවතට ගෙන එක් වරක් ඇතින්න දෙස බලා දිවගිය බවත් එරික්ද ඔහු අනුගමනය කල බවත් හෙතෙම පවසයි. වෙඩිල්ල අසාර්ථක වූ බැවින් ඔහු හැකි උපරිම වේගයෙන් පර්වතය දෙසට දිව ගොස් ඇත. එසේ දුවන අතරේ ස්ටැන්ලි එක්වරම ඔහුට යාර 10 ක් 15 ක් පමණ දුරින් එරික් එන බව දැක ඔහුට ඉක්මන් කරන ලෙස පවසා ඇති මුත්, එරික් සිනාසී හිස වනා අලියා දෙසට හැරී බිම දිගාවී, ඇතින්න යාර කිහිපයක් දක්වා ලගාවන තෙක් සිට වෙඩි තබා ඇත. ඇතින්න දනින් වැටුන මුත් එක්වරම යලි නැගිට ඒ වන විට නැවතත් සිය රයිපලය ලෝඩ් කරගැනීමට උත්සහ කරමින් සිටි එරික් වෙත වේගයෙන් පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට තම රයිපලය නැවතත් ලෝඩ් කරගෙන සිටි ස්ටැන්ලි සිය දනහිස් වලින් එරික්ව තල්ලු කරදමා පාගමින් සිට ඇති ඇතින්න වෙතට නැවතත් වෙඩි තබා ඇත. එවිට එරික්ව අතහැර දැමූ ඇතින්න ස්ටැන්ලි වෙත දිව ආ බැවින් දුවන්නට පටන්ගත් ස්ටැන්ලි එක්වරම ගැඹුරු වලක වැටී ඇද වැටී ඇත. අනෙක් පස හැරෙන විට ඇතින්න වේගයෙන් තමන් දෙසට එන බව දකින ස්ටැන්ලි පවසන්නේ තමන් කිසිදා යාඥා නොකල ලෙසට යාඥා කිරීමට පටන් ගත් බවත්, සිය ‍යාඥාවෙන් ස්වර්ගයේ දොරටු දෙදරා ඇතින්න එක්වරම ඔහුගෙන් ඉවත් ව ඔහුට ආසන්නව වූ කිසියම් පඳුරක් දෙසට දිවගොස් එය පාගා පොඩි කර කුංච නාද නගමින් වනාන්තරයට දිවගිය බවත්ය.

මීන් විල්ලුව අසල මහවැලි ගං ඉවුරේ සැරිසරන ඇතින්නක සහ පැටවුන් දෙදෙනෙක් (ජනවහරේ බොහෝවිට තුන්පත් රැල ලෙසින් හැඳින්වෙන්නේ මෙවන් ඇතින්නක සහ ඇගේ පැටවුන් වේ.)

ඇතින්න ගිය පසු එරික් සිටි තැනට යන ස්ටැන්ලි දකින්නේ ඔහු අධික ලෙසින් නහයෙන් සහ කටින් ලේ දමමින් සිටින බවය. සිහි විසඥව සිටි මුත් ඔහුගේ ඇතින්න විසින් පාගා බෙලහීන කර දැමූ ශරීරයේ ජීවයක සලකුණක් යන්තම් තිබූ බව ස්ටැන්ලි පවසයි. එම ස්ථානයට යාර 50 ක් 60 ක් පමණ දුරින් උස පඳුරකට මුවා වී සියල්ල බලා සිටි බ්ලේක්ද ඒ වන විට එතනට පැමිණ ඇත. ස්ටැන්ලි තවත් පිරිසක් සමග මේ කාලයේ මහවැලි ගඟේ ඉවුරු දෙපස දුම්කොළ වගාවන් කල මුස්ලිම් ගොවියෙකුගෙන් ලබාගත් කරත්තයක එරික්ව මීන්විල්ලුවේ සිට මහවැලි ගඟේ ඉවුරු දෙසට රැගෙන ගොස් මැස්සක තබා ඇති අතර, එහිදි ඔහු සිය අවසන් හුස්ම හෙලා ඇත. එරික්ගේ සිරුර පසු දින පොළොන්නරුවට ගෙන ගොස් එහිදී හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වූ දොස්තර නීල් ලූස් ලවා සිදු කල පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිවී ඇත්තේ එරික්ගේ හිස් කබල, එක් හනුවක් සහ ඉල ඇට කිහිපයක් කැබලි වී ඇති බවය. කොළඹදී සිදුවූ අවසන් කටයුතු වලින් පසුව වනසතුන් දඩයම් කිරීම ක්‍රීඩාවක් ලෙස කල පිරිසක් (මේ කාලයේ එය නීතිවිරෝධී නොවේ.) සූදානම් වී ඇත්තේ එරික්ට පහර දුන් ඇතින්න සොයා ගොස් මරා දැමීමටය. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ එම ඇතින්න ඉන්පසු මිනීමරු අලියෙකු බවට පත්විය හැකි බැවින් එසේ කල යුතු බවය. එහෙත් පුවත්පත් මගින් ඇති කල විරෝධය හමුවේ වන සත්ව දේපාර්තමේන්තුවේ අධිපති C.W නිකොලස් මහතා ඔවුන්ට සිය අදහස අතහැර දමන ලෙස ඒත්තු ගන්වා ඇත. ස්ටැන්ලි මහතා අවසාන වශයෙන් පවසන්නේ ඉන්පසුවද ඔහු වරින් වර මීන් විල්ලුවට ගිය බවත්, වන අලි රංචු නොයෙක් වර දැකගැනීමට හැකිවුවද එරික්ව මරාදමූ ඇතින්න නැවත කිසි දිනක නොදුටු බවත්ය. 

ඉහත සිද්දියෙන් පසුව එරික් ස්වෝන් ගේ නමින් නම් වූ පර්වතය. ඈතින් දිස්වන්නේ සුංගාවිල සිට සෝමාවතිය රජමහාවිහාරය වෙත යන මාර්ගය වන අතර, ඡායාරූපයේ දකුණු පස මෙම පර්වතයේ ඓතිහාසික යුගයේ කිසියම් කලක මිනිස් ක්‍රියාකාරකම් මගින් මතු කල ගල්ගුහාවක්ද දැකගත හැක. 

එරික් ස්වෝන් පර්වතයේ වර්ෂ 2008 දී ගත් ඡායාරූපයක්. ඒ වන විට පර්වතය මැනවින් මාර්ගයේ සිට දැකිය හැකි ලෙසට තිබී ඇත. මේ වන විට පර්වතය බොහෝදුරට වනාන්තරය තුල සැගවී ඇත.

වර්ෂ 2008දී ගත් ඡායාරූපයක් .එම යුගයේ ඉහත ඡායාරූපයේ ගස් කොළන් වලින් වැසී ඇති ගුහාව මැනවින් දර්ශනය වන අයුරින් තිබී ඇත.

එම ගුහාවේ පොළොව මත ආසනයක් වැනි යමක් මතු කර ඇත (වර්ෂ 2008 දී ගත් ඡායාරූපයක්)

එරික් ස්වෝන් පර්වතයේ ඇති බ්‍රාහ්මී සෙල්ලිපි

මෙකල පවා නිතර වන අලින් ගැවසෙන මෙම පර්වතයේ කොටා ඇති සෙල්ලිපි පරික්ෂාකිරීම උදෙස එරික් ස්වෝන් ගේ මරණය සිදුවීමට අඩ සියවසකට පමණ පෙර වර්ෂ 1897 දී පැමිණෙන H.C.P. බෙල් මින් විල වගුරේ හුදකලාව පිහිටි දික් සහ නොඋස් ගල් කන්දක අවම වශයෙන් සෙල් ලිපි හයකට නොඅඩු ප්‍රමාණයක් ඇති බව එම වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ සඳහන් කරයි. එකම පර්වතයක සෙල් ලිපි මෙතරම් ප්‍රමාණයක් තිබීමට හේතුව තමන්කඩුවේ මෙම ප්‍රදේශයේ පවතින එවන් ගල් වල හිඟකම බවය බෙල්ගේ අදහස වන්නේ. එම සෙල්ලිපි වට්ටගාමිණී (පො.ව. පූර්ව 103 සහ පො.ව. පූර්ව 89-77), පළමුවන ගජබාහු (පො.ව. 114 - 136), මහල්ලක නාග (පො.ව. 136 - 143), ඔහුගේ පුත් භාතිය තිස්ස (පො.ව. 143 - 167) සහ කණිට්ඨ තිස්ස (පො.ව. 167 - 186) ආදී රජවරු කිහිප දෙනෙකුට අයත් බව පවසන ඔහු මෙම ස්ථානය මෙරට ශ්‍රේෂ්ඨතම වටිනා ඓතිහාසික "දැන්වීම් පුවරු" වල සංක්ෂිප්ත ගබඩාවක් බව පවසයි. 

මෙම ස්ථානයේ දැකිය හැකි පැරණිම ගිරි ලිපිය

සෙනරත් පරණවිතාන මහතා පසු කලක බ්‍රාහ්මි අක්ෂර වලින් කොටා ඇති මෙම සෙල්ලිපි කියවා ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් පේලි දෙකකින් යුත් පැරණිම සෙල්ලිපියේ මුල් පේලිය වමේ සිට දකුණට ලියා ඇති අතර අකුරු තුනකින් යුත් එහි දෙවෙනි පෙල පලමු පේලිය අවසාන වූ ස්ථානයේ පහලින් දකුණේ සිට වමට ලියා ඇත (ඉහත ඡායාරූපය බලන්න.)

දෙවනපිය කුලහි මහචුඩිකහ පුත පුටකණ අබයස අඩි දෙගම

 ලෙසින් පෙළ සඳහන් වන එහි අදහස වන්නේ දෙවනපිය කුලයෙහි මහචුඩිගේ (පාලි- මහාචූලි) පුත් වූ පුටකණ අබයගේ දෙගම ඇල යන්නයි. ලිපියේ සඳහන් වන ඇල මාර්ගය වර්තමානයේදීද මෙම මීන් විල්ලුව හරහා මෙම ලිපිය පිහිටි පර්වතයට නුදුරින් ගලා බසින ඇල ලෙස හඳුනාගන්නා ඒ මහතා බෙල් විසින් වට්ටගාමිණී අභය ලෙසින් හඳුනාගන්නා පුටකණ අබය ලෙසින් ලිපියේ හැඳිවෙන්නේ මහාවංශයේ කුටකණ්ණතිස්ස (පො.ව. පූර්ව 44 - 22) ලෙසින් හැඳිවෙන රජු ලෙස හඳුනාගනී. ඒ අනුව එම ඇල ඉදිකර ඇත්තේ කුටකණ්ණතිස්ස රජු බව එතුමා නිගමනය කරයි. මහාවංශයේ සඳහන් වන ලෙසට කුටකණ්ණතිස්ස රජුගේ පියා මහාචූලිකරාජ (පො.ව. පූර්ව 77 - 63) වේ. එම සම්බන්ධයද ලිපියේ කරුණු සමග එකග වන බව පවසන පරණවිතාන මහතා ලිපියේ පුටකණ ගේ රාජ නාමය නොමැත්තේ එම ලිපිය ඔහු රජ වීමට පෙර කරවූවක් හෙයින් විය හැකි බව සඳහන් කරයි.  

මෙම ස්ථානයේ ඇති තවත් මේ වන විට අකුරු එතරම් පැහැදිලිව දැකගැනීමට නොහැකි ගිරි ලිපියක්

මුල් යුගයේ කරවූ එම සෙල්ලිපියට අනතුරුව කාලයේදී මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපියකට අනුව රජ-අඩි-පිටිය නම් ග්‍රාමය නාග මහරජු විසින් ඔහුගේ පුත් නකල විසින් කරවූ පජි(න) නකල අරබ විහාරයට [පාලි: ප්‍රාචීන නාගාරාම] දුන් බව පැවසේ. 

 සිද්ධ නක මහරජ රජ අඩි පිටිය තුමහ පුත අය නකලයහ කරිත පජි(න) නකල අරබ විහරටය දිනෙ

මෙම නක මහරජ H.C.P. බෙල් විසින් මහල්ලක නාග රජු ලෙස හඳුනාගන්නා අතර සෙනරත් පරණ්විතාන මතය වනුයේ එම රජු මහාදාඨික මහානාග රජු (පො.ව.  7 - 19) බවය. මෙම සෙල්ලිපි සහිත පර්වතයට නුදුරින් පිහිටි වර්තමානයේ සෝමාවතිය ලෙසින් හඳුනාගන්නා පුදබිමෙන් හමුවූ පුවරු ලිපියක මහනක රජ ගේ පුත් අය නකල (නකල කුමරු) විසින් කරවූ පජිනි නක අරබ විහාරයට මහනක රජු විසින් ඒ ආසන්නයේ වූ රජළි කෙතෙහි කරිස සතක් පිරිනැමූ බව කියැවේ. මේ අනුව සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ඔහු විසින් මහාදාඨික මහානාග රජු ලෙසින් හඳුනාගන්නා මෙම ලිපි දෙකෙහි නක මහරජ/මහනක රජ ලෙසින් සඳහන් වන රජුගේ නකල නම් වූ වංශ කතා වල නම සඳහන් නොවන පුතෙකු විසින් ප්‍රාචීන නාගාරාමය [පජිනි නක අරබ] නම් වූ විහාරය කරවූ බවය. පොදු පිළිගැනීම කුමක් වුවත් ඒ අනුව වර්තමානයේ සෝමාවතිය ලෙසින් හැඳින්වෙන විහාරය ඒ අනුව එකල හදුන්වා ඇත්තේ ප්‍රාචීන නාගාරාමය [පජිනි නක අරබ] ලෙස බවත් එය මහාදාඨික මහානාග රජුගේ නකල නම් වූ පුත්‍රයා විසින් කරවූ බවත් පිළිගැනීමට සිදුවේ.  

එරික් ස්වෝන් ගේ නමින් නම් වූ පර්වතය

මීන්විල්ලුවේ පිහිටි පර්වතයේ වූ ලිපියේ රජ අඩි පිටිය ලෙසින් හැඳිවෙන ග්‍රාමය එහි වචානාර්ථය අනුව රාජකීය ඇලේ ඉහලින් පිහිටි භූමිය ලෙසින් හඳුනාගත හැකි අතර, ඒ අනුව මුල් ලිපියේ සඳහන් කුටකණ්ණතිස්ස විසින් කරවූ 'ඇලෙහි ඉහලින් පිහිටි පිටියේ වූ ග්‍රාමය' මෙලෙස විහාරයට පිරිනමා ඇති බවට අනුමාණ කල හැක.  

සෙල්ලිපි වටා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යොදා ඇති ආරක්ෂිත යකඩ වැට මෙහි පැමිණෙන්නන් විසින් හෝ වන අලින් විසින් බොහෝදුරට විනාශ කර දැමීමට පෙර (2008 වර්ෂයේදී ගත් ඡායාරූපයක්)

මෙම පර්වතයේ කොටා ඇති කොටස් විනාශ වී ගිය තවත් ලිපියක දෙව(නපි)ය පුටකණ අබ(ය මහ) රජ ගේ මුණිබුරු නක මහ රජගේ පුත් දෙව(නපිය ගමිණි) අබ මහ රජ යන කොටස පමණක් කියවිය හැක.  තවද සෙනරත් පරණවිතාන මහතා විසින් අනුමාණ වශයෙන් පළමුවන ගජබාහු (පො.ව. 114 - 136)  ලෙස හඳුනාගන්නා යුදජි (Conqueror in Battle/සංග්‍රාමයේ විජයග්‍රාහක) ගමිණි අබය ලෙසින් ලිපියේ සඳහන් වන රජු විසින් (රජ අ)ඩිය ගමේ ආදායම මණි(අගිය විහර) ට දුන් බව සඳහන් වන පළමුවන හෝ දෙවන සියවස් වල අක්ෂර සහ ලිපියේ භාෂාව අයත් කල හැකි, ඇතැම් අකුරු කියවිය නොහැකි ලිපියක්ද මෙම ස්ථානයේ තිබේ. එම ලිපියේහිද රාජකීය ඇල [රජ අඩිය] ග්‍රාමය යන සඳහන ඒ. මෙහි සඳහන් මණි (අගිය) විහාරය වර්තමාන සෝමාවතී දාගැබ පිහිටි භූමියේ වූ විහාරය ලෙස හඳුනාගන්නේ නම් මේ වන විට එහි මුල් නම [පජිනි නක අරබ] වෙනස් වී ඇති බවක් පෙනේ.

එවකට හොඳ තත්වයෙන් තිබූ තවත් සෙල්ලිපියක් ( 2008 වර්ෂය )

මෙහි ඇති පස්වන සෙල්ලිපියේ (නක) මහරජුගේ පුත් ම[ලු]තිස මහරජ ර(ජ)අ(ලි )විටියේ හවිටක සරහි (අකඩ) සග අරබ කරවා බවකිරිය නිකායට දුන් බව පැවසේ. බවකිරිය නිකාය, අභයගිරි නිකාය ලෙසින් සහ මලු රජ ලෙසින් හඳුන්වන්නේ කණිෂ්ඨතිස්ස රජු (පො.ව. 167 - 186) ලෙසින් හඳුනාගන්නා සෙනරත් පරණවිතාන මහතා ඒ අනුව මේ ලිපියේ අදහස වන්නේ නාග මහරජුගේ පුත් වූ කණිෂ්ඨතිස්ස මහ රජු විසින් රජ-අලි-විටියේ, හවිටක විල සමීපයේ නිත්‍ය ලෙස සංඝාරාමයක් කරවා එය අභයගිරි නිකායට පිරිනැමූ බව යැයි සඳහන් කරයි. මුලින් රජ-අඩි-පිටිය ලෙසින් හැඳින්වූ ගම පසුකාලීනව රජ-අඩි-ගම වී මේ වන විට රජ-අලි-විටිය ලෙසින් වෙනස්වී ඇති බව පෙනේ. 

මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට ඇරඹී මීන් විල්ලුව හරහා ගමන් කර එහි පැරණි ගමන් මාර්ගය සමග එක්වන ඇල මාර්ගය

මෙහි තිබෙන දීර්ඝතම සහ කාලය අනුව වඩාත් මෑත කාලීන ලිපිය ලෙස සැලකිය හැකි සයවන ලිපියේ අඩු වැඩි වශයෙන් පිටපතක් ලෙස සැලකිය හැකි තවත් පුවරු ලිපියක් අසල පිහිටි සෝමාවතී දාගැබ පරිශ්‍රයෙන්ද සොයාගෙන ඇත. එම ලිපි දෙකෙහිම අන්තර්ගතය අනුව කියැවෙන්නේ නක මහරජුගේ පුත් වූ බතිය තිස මහරජුගේ බාල සහෝදරයා වන මළිතිස මහරජ, රජ(අළි)විටිය හවිටක සරහි [හවිටක විල අසල], මණි අගිය රජමහ විහර සඟ අරබ කරවා එහි පැවැත්ම සහ නඩත්තු කටයුතු සඳහා සිදු කල පිරිනැමීම් ගැනය.  ඒ අතර අතරගග කෙහිගම තොට, සුමනත ගම තොට සහ තොටගම තොට යන තොටුපලවල් වල ආදායම්ද ඉහත සංඝාරාමයට අයත් උපෝසථඝරයෙහි පහන් දැල්වීම, නවකම් කිරීම ආදී කාර්යයන් උදෙසා පිරිනමා ඇත. මෙම ලිපි දෙකද ඉහත ලිපිය පිහිටවූ කණිෂ්ඨතිස්ස රජුගේ (පො.ව. 167 - 186) ලිපි ලෙසින් සෙනරත්  පරණවිතාන මහතා හඳුනා ගනී [ඒ අනුව ඔහුගේ පියා ලෙස සෙල්ලිපියේ සඳහන් වන නක මහ රජු වංශ කතා වල මහල්ලක නාග (පො.ව. 136 - 143) ලෙස හඳුන්වන රජු ලෙසත්, වැඩිමහල් සහෝදරයා ලෙස සඳහන් වන බතිය තිස මහරජු, භාතිය තිස්ස (පො.ව. 143 - 167) ලෙසත් ඒ මහතා හඳුනාගනී.]
සෝමාවතිය රජමහාවිහාර භූමියේ ඇති පුවරු ලිපියක්

සෝමාවතිය රජමහාවිහාර භූමියේ ඇති පුවරු ලිපියක්

පොළොන්නරු රාජාධානියේ පැරණි කුඹුරු විල්ලු බවට පත් වීද?

මෙරට සිටින ශ්‍රේෂ්ඨ උද්භීද විද්‍යාඥයෙකු වන අචාර්ය මැග්ඩොන් ජයසූරිය මහතා මෙරට 'විල්ලු තණබිම් පරිසර පද්ධති' ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් අනුව ඇතිවී ඇති බව හඳුනාගන්නා අතර, ඒ අතරින් මහවැලි ගඟේ එහි පහල නිම්නයේ පිටාර තැන්නේ (Mahaweli Flood Plains)  හමුවන විල්ලු 11 -14 සියවස් අතර පොළොන්නරු රාජධානිය සමයේ එහි අග්‍රස්ථානයට පත්වූ මෙරට වාරිමාර්ග ශිෂ්ඨාචාරයේ බිඳ වැටීමත් සමග අතහැරදමනු ලැබූ විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබූ  කුඹුරු යායවල් පිහිටි තැන් වල ඇතිවූ ඒවා බවට විශ්වාස කරයි. මීන් විල්ලුවට අමතරව මේ ප්‍රදේශයේ හෙක්ටයාර 10,000 ක පමණ වපසරියක පැතිරුණු එවන් විශාල විල්ලු 40 කට ආසන්න ප්‍රමාණයක් නම් වශයෙන් හඳුනාගත හැක. කෙසේ නමුත් මහවැලි යෝජනා ක්‍රමයත් සමග මහවැලි ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශ වල ඉදිකල විශාල ජලාශ වල ජලය ගබඩාකරගැනීම හේතුවෙන් එයට පෙරදී මෙන් පහළ නිම්නයේ නිතර ගංවතුර තත්වයන් ඇති නොවන හෙයින් පාරිසරික වශයෙන් ඇතැම් ලොකු කුඩා විල්ලු වලට බලපෑමක් ඇති වන්නට ඇත. 

මීන් විල්ලුව

මහවැලි ගඟේ ගමන් මාර්ගයේ සිදු වූ වෙනස්වීම්

රාජකීය ආසියාතික සමිති සඟරාවේ විශේෂ කලාපයක් ලෙස 1980 දී ප්‍රකාශයට පත් කල ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රධාන වාරිමාර්ග කටයුතු පිළිබඳව වූ A. ඩෙනිස් N. ෆර්නැන්ඩෝ මහතාගේ ලිපියේ එතුමා ඓතිහාසික යුගයේ සිදුවූ ලෙසට අනුමාණ කරන මහවැලි ගඟේ ප්‍රධාන අපගමනයක් පිළිබඳව එවකට බොහෝ දෙනෙකුට පරිශීලනය කිරීමට නොලැබුනු ගුවන් ඡායාරූප උපයෝගි කරගනිමින් කරුණු ඉදිරිපත් කරයි. මහවැලි ගඟේ ගමන් මගෙහි සිදුවූ එම වෙනස්වීම භූ කම්පනයක් හේතුවෙන් සිදුවූ බවට අනුමාන කරන ඒ මහතා එය සිදුවූ කාලය පිළිබඳව යම් මතයක් ඉදිරිපත් කිරීමටද ඓතිහාසික මූලශ්‍ර වල එන කරුණු අනුව එම ලිපියෙහි යම් උත්සාහයක් දරයි. එම කරුණු වල යම් යම් පිළිගත නොහැකි උපකල්පන ඇති මුත් ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ නොවේ. කෙසේ නමුත් කඳු නිම්න වලින් ඔබ්බේ වූ සමතලා බිමක වන ගංගාවක ගමන සැමදා එක ලෙස නොතිබූ බව මහවැලි ගඟේ පමණක් නොව මෙරට වෙනත් ගංගා වලද ඒ ආශ්‍රිත භූ විෂමතා විමසා බැලීමේදී පැහැදිලි වේ. මල්වතු, වලවේ, කලා ඔය වැනි ගංගා වලද ගං මෝය ආසන්නයේ එවන් තත්වයන් දැක ගත හැක. කාලයත් සමග එකතු වන වැලි පර වැනි ස්වභාවික බාධක නිසාද, අධික ලෙස වර්ෂාව පවතින කාලයේ එකවර පැමිණෙන යෝධ ජලධාරාව නිසාද ගංගාවක් එවන් අලුත් මං සලකුණු කරගනිමින් සිය ගමන යාමට පෙලඹෙනු ඇත. 

මීන් විල්ලුව පසු කර කන්දකාඩුව දෙසට යාමේදී හමුවන සෝමාවතිය පාලම අසලදී මහවැලි ගඟ

සුප්‍රසිද්ධ මනම්පිටිය පාලම අසල සිට මහවැලි ගඟේ සැතපුම් තුනක් පමණ පහලට ගිය විට ගඟ දෙකට බෙදී විශාල දූපතක් තනමින් ගමන් කර නැවත එකට එකතුවේ. මෙම දූපතේ දකුණු පස වූ තැනකින් මේ වන විය වියලී ගොස් ඇති මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය හමුවේ.  මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගයෙන් නව ගමන් මාර්ගය වෙන්වන තැන සිට සැතපුම් දෙකක් පමණ පහලට යාමේදී මහවැලි ගඟේ ජලයට අර්ධ වශයෙන් යටවූ, ඇතෙකුගේ ජීවමාන ප්‍රමාණයට සමාන පැරණි ශෛලමය ඇත් රුවක් හමුවේ (මේ වන විට මෙම ඇත් රුව නිදන් හොයන අමනයන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව පැවසේ. එහි පැරණි කළු සුදු ඡායාරූපයක් පමණක් එවන්නක් තිබූ බවට සාක්ෂ්‍යයක් ලෙසට ඉතිරිව ඇත.)  ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතා අනුමාණ කරන්නේ මෙම ඇත් රුව මහවැලි ගඟේ ගමන වෙනස්වීමත් සමග එහි ජලකඳට බිලිවූ පැරණි කිසියම් ආරාමයක තිබූවක් බවය. මෙම ස්ථානය පසු කල පසු මහවැලි ගඟ සෝමාවතී පුද බිමට ඊසාන දෙසින් වූ ස්ථානයකදී එහි පැරණි ගමන් මාර්ගය සමග එක්වන අතර එතැන් සිට නැගෙනහිර දෙසට වූ පැරණි ගමන් මගක්ද චන්ද්‍රිකා ඡායාරූප වල යන්තමින් දැකගැනීමට හැක. ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතා අනුමාණ කරන්නේ මහවැලි ගඟේ ගමන් මගේ සිදුවූ මෙම වෙනස එකල සරුසාර කෙත් බිම් වලින් පිරී තිබූ මෙම ප්‍රදේශය ජනශූන්‍ය වී වන ප්‍රවාහය විසින් යටවී යෑමට බලපාන්නට ඇති බවය. 

මනම්පිටිය පාලම අසල සිට මහවැලි ගඟේ සැතපුම් තුනක් පමණ පහලට ගිය විට ගඟ දෙකට බෙදී විශාල දූපතක් තනමින් ගමන් කර නැවත එකට එකතුවේ. මෙම දූපතේ දකුණු පස වූ තැනකින් මේ වන විට වියලී ගොස් ඇති මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය හමුවේ. (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගයෙන් නව ගමන් මාර්ගය වෙන්වන තැන සිට සැතපුම් දෙකක් පමණ පහලට යාමේදී මහවැලි ගඟේ ජලයට අර්ධ වශයෙන් යටවූ, ඇතෙකුගේ ජීවමාන ප්‍රමාණයට සමාන පැරණි ශෛලමය ඇත් රුවක් හමුවේ. එම ස්ථානය සිතියමේ Ancient Life-size Stone Elephant Carving ලෙසින් සලකුණු කර ඇත.
 (සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

මහවැලි ගඟේ පැරණි ගමන් මාර්ගය සෝමාවතී පුදබිමට ඊසාණ දෙසින් වූ ස්ථානයකදි එහි නව මාර්ගය සමග එක්වේ.
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

වර්තමානයේ මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගයක් ඇති අතර එය එරික් ස්වෝන් පර්වතය ආසන්නයෙන් වර්තමාන සුංගාවිල-සෝමාවතී රජමහා විහාරය මාර්ගය හරහා ගමන් කරයි ( මේ සමග ඇති වීඩියෝ දර්ශන, සිතියම් සහ ඡායාරූප බලන්න.) එසේම එරික් ස්වෝන් පර්වතයට නැගෙනහිර දිශාවෙන්ද එයට පහලින් ගමන් කරන ඇල මාර්ගයක සලකුණු ගූගල් මැප් චන්ද්‍රිකා ඡායාරූප වල දැකගත හැක. මේවා මීන් විල්ලු ලෙසින් වර්තමානයේ විල්ලුවක් බවට පත්වූ රජ-අඩි-පිටිය>රජ-අඩි-ගම>රජ-අලි-විටිය ගම පැරණි වෙල් යායට ජලය සැපයූ ඉහත සෙල්ලිපි වල  සඳහන් වන ශේෂ වූ  රාජකීය ඇල මාර්ගයේ (දෙගම ඇල/රජ අඩි) නශ්ඨාවශේෂ විය හැක. ගම සහ පජිනි නක අරබ/මණි අගිය විහාරය සියවස් ගණනාවක් පුරා මහවැලි ගඟේ පිටාර ජලය සමග රැගෙන එන රොන්මඩ වලට සහ වනාන්තරයට යටවී තිබෙනවා විය හැක. විහාරයේ ස්තූපය පමණක් අද දක්වා බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වෙමින් සෝමාවතී ස්තූපය ලෙසින්  මහවැලි නිම්නයේ ඉතිරිව ඇත. 
මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගය
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න
)

මහවැලි ගඟේ නව ගමන් මාර්ගයේ සිට එහි පැරණි ගමන් මාර්ගය දක්වා මීන් විල්ලු හරහා ජලය ගලා බසින ඇල මාර්ගය සහ එරික් ස්වෝන් පර්වතයට නැගෙනහිර දිශාවෙන්ද එයට පහලින් ගමන් කරන ඇල මාර්ගයක සලකුණු
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න
)

ඉහත ඇල මාර්ගය මහවැලි ගඟේ පැරණි ගමන් මග සමග එක්වන ආකාරය
(සිතියම විශාලනය කර බැලීම උදෙසා ඒ මත ක්ලික් කරන්න)

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon, North Central, Central And Eastern Provinces, Annual Report, 1897, Bell, H.C.P. 1904
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon, Volume 2, Part 1, Paranavitana S., 1983
  • Archaeological survey Department , Inscription of Ceylon, Volume 2, Part 2, Paranavitana S., Editor Malini Dias, 2001
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Diversity of Terrestrial Vegetation in Sri Lanka, A.H. Magdon Jayasuriya, Phd, 
  • A Directory of Asian Wetlands
  • Canoeing along the Mahaveli In Sri Lanka River In The Jungle, S.D. de Lanerolle, 2003
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Saga of the elephant in Sri Lanka , Extracts from Loris Volume 1 (1936) - Volume 10 (1964) Part 1, Compiled by Ranasinghe D.B. et. al., 2010