කොස්පොතු ඔය නිම්නයේ කුඹුරු යායවල් |
අලවල සෙල්ලිපිය |
මියුලර්ට පසුව වර්ෂ 1931 දී මෙම සෙල්ලිපියේ පිටපතක් ගැනීම උදෙසා මෙම ස්ථානයට යන සෙනරත් පරණවිතාන මහතා හට ප්‍රදේශවාසීන් පවසා ඇත්තේද මියුලර් සිය ග්‍රන්ථයේ සඳහන් කල මැදගම විහාරය සහ දඹදෙනියේ විසූ පරාක්‍රමබාහු පිළිබඳව වූ කතාවම වීම නිසා (අදට වඩා එදා සිටි ගැමියන් මෙහි සඳහන් වන්නේ කිසියම් හෝ විහාරයකට රජ කෙනෙකු විසින් පිරිනැමූ ප්‍රදානයක් බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් වූ බව පෙනේ.) පරණවිතාන මහතා සැක කරන්නේ මියුලර් සඳහන් කරන විස්තරයද ඔහු එම ලිපිය කියවා පවසන්නකට වඩා ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමක් විය යුතු බවය. සෙනරත් පරණවිතාන මහතා එහි යන සමය වන විටත් ලිපියේ මුල් පේලි දහයේ කොටස් මෙහි නිධන් සෙවූ අමනයන් දරුණු ලෙස විනාශ කර තිබී ඇති අතර, ලිපිය පිහිටවූ රජුගේ නම සඳහන් වන සිව්වන පේලියේ අකුරු ඔවුන් විසින් සදහටම නැති කර දමා ඇත (ගිරි ලිපියේ මුල් කොටස විනාශ කර දමා ඇති ආකාරය මෙම ලිපියේ පළමු ඡායාරූපයෙන් දැකගත හැක) එහෙත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන්නේ මියුලර් මෙහි ආ කාලයේදී ඇතැම්විට එම විනාශය සිදු වී නොතිබෙන්නට ඇති බවත්, පරාක්‍රමබාහු යන වචන එමනිසා ලිපියේ ඇති බව ඔහු බොහෝවිට දකින්නට ඇති බවත්, එනිසාම ඔහුට මෙන්ම මියුලර්ටද ප්‍රදේශවාසීන් පැවසූ දේ මියුලර් විශ්වාස කරන්නට ඇති බවත්ය.
අලවල සෙල්ලිපිය |
ලංකා විශ්ව විද්‍යාලය විසින් පළකල University of Ceylon Review සඟරාවට 1960 වර්ෂයේදී Lankatilaka Inscription යන මැයෙන් දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් මෙම සෙල්ලිපියේ පෙළ සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයක් මුල් වරට ලංකාතිලක විහාරය පිහිටි පරිශ්‍රයේ පිහිටි වෙනත් සිංහල සෙල්ලිපි කිහිපයක් සහ දෙමළ සෙල්ලිපියක්ද එම විහාරය සතු තඹ සන්නසක්ද සමගින් පල කරන පරණවිතාන මහතා එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් කරුණු මෙම සෙල්ලිපියේ කරුණු සමග සසදමින් පවසන්නේ මෙම සෙල්ලිපිය අනිවාර්යෙන් සිව්වන බුවනෙකබාහු [පො. ව. 1341 - 1351] හෝ පස්වන පරාක්‍රමබාහු [පො. ව. 1344 - 1359] විසින් පිහිටවූවක් බවය. ඒ අතරින්ද ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ පස්වන පරාක්‍රමබාහු වීමට බව ඔහු පවසයි (ඒ මන්දැයි මේ ලිපියේ ඉදිරියේදී කරුණු ඉදිරිපත් කර ඇත.)
නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. |
මෙම සෙල්ලිපියේ සඳහන් කරුණු සහ එම කරුණු ඉදිරිපත් කර ඇති භාෂා විලාශය සහ වචන පවා අඩු වැඩි වශයෙන් ලංකාතිලක විහාර පරිශ්‍රයේ පිහිටි එම අනෙකුත් සෙල්ලිපි සහ තඹ සන්නස සමග සමාන වේ. එහෙත් එම අනෙකුත් සෙල්ලිපි වල සඳහන් වන ආකාරයට පරණ බදලගොඩ, කසඹිලියාගොඩ, නාරංගොඩ, අලුත් බදලගොඩ යන ප්‍රදේශ වලින් ලංකාතිලක විහාරයට පිරිනමා ඇති කුඹුරු වල මුළු වපසරිය යාළ් 14 ක් පමණ වේ. එහෙත් මෙම අලවල අමුණ සෙල්ලිපියේ එම ප්‍රමාණය යාළ් 90 ක් ලෙසින් සඳහන් වේ. මෙම නොගැලපීම විස්තර කරමින් පරණවිතාන මහතා පවසන්නේ ලංකාතිලක විහාරය ඉදිකර මුලින් එම ස්ථානයේ පිහිටවූ සෙල්ලිපි වල එවන් අඩු ඉඩම් ප්‍රමාණයක් සඳහන් කලද, ඊට පසු කාලයකදී එම ඉඩම් පිහිටි ගම් අයත් ප්‍රදේශයේ පිහිටවූ මෙම සෙල්ලිපිය පිහිටවන අවස්ථාව වන විට මුලින් තිබුනාට වඩා වැඩි ප්‍රදේශයක් අස්වද්දා එම කුඹුරු වල ආදායමද ලංකාතිලක විහාරයට පිරිනමන්නට ඇති බවත්, ලංකාතිලක විහාරයේ ඇති සෙල්ලිපි පිහිටවීමට පසුව කාලයකදී මෙම සෙල්ලිපිය පිහිටවූ බවට ඒ අනුව සිතිය හැකි බවත්ය. එනයින් අලවල අමුණ සෙල්ලිපිය පිහිටවා එම ප්‍රදානයන් සිදු කල රජු පස්වන පරාක්‍රමබාහු වීමට වැඩි ඉඩක් ඇති බව පරණවිතාන මහතා සඳහන් කරයි.
නූතන යුගයේදී ඉදි කල අමුණට පහලින් ගල් තලාවේ ඇති පැරණි අමුණක සාධක. |
ඉහත සඳහන් කල පරිදි කිසියම් කාලයක විනාශ කල ලිපියේ මුල් පේලි වලින් කියැවෙන්නේ ලංකාතිලක විහාරය උභය වාසයෙහි මහා සංඝයා (ආරණ්‍ය වාසී සහ ග්‍රාමවාසී) විසින් ඉදි කල බවත්, මහල් සතරකින් යුත් එහි එක් එක් මහල් ඉදි කල පුද්ගලයන් සහ ඒවායේ වූ පිළිම සහ අනෙකුත් පූජනීය දේ පිළිබඳවත්ය. එම විස්තර ලංකාතිලක විහාර පරිශ්‍රයේ ඇති සෙල්ලිපි වලද කියැවෙන බැවින් මෙම ලිපිය විනාශ කලා වුවත් එම තොරතුරු එහි සුරැකිව ඉතිරි වී ඇත. එහි පළමුවන මහල තුන් රජයේ (රුහුණු, මායා, පිහිටි) සේනාව සමග එක්ව සෙනාලංකා අධිකාරයන් කරවූ බවත් එහි වජ්‍රාසනයේ සාමීන්ද (විදුරසුන් මත වූ බුදු පිළිමයක්) වෙනත් පිළිම දහසකින්ද ( ඒ අතරින් දෙදහසක් පන්සිය පනස් ජාතක කතා නිරූපනය කරමින් අඹා ඇත.) බ්‍රහ්ම, විෂ්ණු, මහෙශ්වර, සතර වරම්, කිහිරැළි උපුල්වන්, සමන් , විභීෂණ, ගණපති, කන්දකුමාර ආදී ලෝකපාල දෙවියන්ගෙන්ද බබලන්නා වූ බව ලිපියේ විනාශ නොකල කොටසින් සම්පූර්ණ ලෙස කියවිය හැක.
අලවල අමුණ |
ඉහත කී ආකාරයෙන් ලංකාතිලක විහාරය රන් තුන් කෙළ සැට ලක්ෂයක් (මිලියන 36 ක්) දී කරවා, උභය වාසයේ සංඝාරාම කරවා (එනම් නිකාය දෙකේ භික්ෂූන්ට සංඝාරාමද කරවා) මතු පවත්නා ලෙස භූමි දානයක් ඇත මැනැවැයි සිතා, යම් යම් කෙනෙකුන් සන්තක ගමක් බිමක් උදුරා පිදුවහොත් මතු නොපවතී කියා ප්‍රධාන ගණා හා සේනාව (රාජ්‍යයේ ප්‍රධානීන් සහ සේනාව) රැගෙන රජ්ජුරු සාමි මෙම තැනැට වැද වදාරා අමුතුව ඇළ අමුණු බන්දවා* වෙල් වල් කප්පා තනා (අලුතින් ඇළවල් සහ අමුණු බැඳ, කැලෑ කපා වෙල් තනා) ගොවීන්, එඩේරන් වහල් [වහලුන්], සරක් [හරක්] පුදා මතු ඇතිවන රජ, යුවරජ මහාමාත්‍යාදීන් නූගුලුවන ලෙස ඉර සඳ ඉම් පමුණු කොට (එනම් ඉර හඳ පවතින තුරා අනාගතයේදී පැමිණෙන රජවරු , යුවරජවරු හෝ මහ ඇමැති ආදීන් විසින් අහිමි නොකරන පරිදි) ලෙසින් සඳහන් කරමින් පහත දැක්වෙන ලෙසට කුඹුරු විහාරයට ප්‍රදානය කර ඇත.
* මෙම ස්ථානයේ ඇති ඉහත විස්තර කල පැරණි අමුණේ සාධක බොහෝවිට මෙසේ ඉදි කල අමුණක නටබුන් විය හැක.
අලවල අමුණ |
පරණ බදලගොඩ, කසඹිලියාගොඩ, නාරංගොඩ, අලුත් බදලගොඩ යන ගම් සතරින් සතර දිගින් යොත්නකින් කුඹුරු බිජුවට අනූ යාළක්, එනම් ඉහත කී ගම් වල පිහිටි (බොහෝවිට ලිපිය පිහිටවූ ස්ථානයේ සිට සතර දෙසින් යොදුනක් දුරට වූ) කුඹුරු යාළ් අනූවක්, සිගුරුවාණෙන්, සිද්දාවුල්ල, ගොන්වණකේ, කිරිවවුල, ගොඩවෙල ඇතුළු වූ තෙනින් කුඹුරු බිජුවට තුන් යාළක් එනම් සිගුරුවාණේ පිහිටි ඉහත කී ගම් සතරින් යාළ් තුනක් පමණ වූ කුඹුරු සහ සැදැ ඇත්තන් නොයෙක් තැන් වලින් පිදූ කුඹුරු බිජුවට සත් යාළක් (එනම් සැදැහැවතුන් විසින් නොයෙකුත් ස්ථාන වලින් පූජා කල කුඹුරු යාළ් සතක්) ඇතුළුව කුඹුරු බිජුවට සියක් යාළක් මෙම ලිපියේ කියැවෙන ලෙසට ලංකාතිලක විහාරයට පිරිනමා ඇත.
අලවල අමුණට ඉහලින් කොස්පොතු ඔය |
සෙල් ලිපියේ තව දුරටත් සඳහන් වන ලෙසට මේ කුඹුරු වලින් ලැබෙන දේ කොටස් පහකට බෙදා ඉන් කොටස් තුනක් තුණුරුවනට, එක් කොටසක් දේවාල පහට සහ ඉතිරි කොටස විහාරය මතු පවත්වන (එනම් ඉදිරියට විහාරයේ කටයුතු පරිපාලනය කරන) සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීහුගේ බන්ධූන්ට (එනම් සේනාලංකා අධිකාර නම් මන්ත්‍රීවරයාගේ ඥාතීන්ට) ලැබිය යුතුය.
මෙම ලිපිය පිහිටවූ තැනට රජු පැමිණ ඉහත විදානයන් ලියවා වදාළ බව එහි අවසානයේ සඳහන් වේ. තවද ඉහත සඳහන් භූමින්ට භයකින් වන් කෙනෙකුන්ට අභය දානය ලැබෙන බවත්, එහි සඳහන් විදානයන් කඩ කරන පුද්ගලයන් පංච චණ්ඩාලයන්ටත් අන්තව කවුඩන්ට බල්ලන්ටත් පුත් වන බවත්, නරකාදියේ වැටෙන බවත්, එම විදානයන්ට බසකින් හෝ සහයෝගය දක්වන උත්තමයන් මෙම කුසලෙන් කොටසක් ලැබ දිව සැපත්, නිවන් සැපත් ලබන බවත් සඳහන් වේ.
මූලාශ්‍ර