Saturday, August 5, 2023

හතර වෙනි සියවසේ සිරි මෙකවන අබ මහ රජු කල හොරණ-පොකුණුවිට පිහිටි රබගම කර්ණිකාවේ පචරිය විහාරය

මෙරට දේශගුණික කලාප අනුව ගතහොත් තෙත් කලාපයට අයත් වන, වර්තමාන බෙදීම් අනුව කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ මුල් ඓතිහාසික යුගයට අයත් මානව ක්‍රියාකාරකම් සිදුවූ ප්‍රදේශයක් ලෙසට හඳුනාගත හැකි පුරාවිද්‍යාත්මක සාධක එතරම් හමුවන්නේ නැත. අනුරාධපුර යුගය ලෙස හැඳින්වෙන එම වකවානුවේ මෙරට සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය මූලිකවම ගොඩනැගුනේ වියලි කලාපයට අයත් එවකට රජරට සහ රුහුණු රට ලෙසින් හැඳින්වූ කලාපයේ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක් මුල් කරගෙනය. එහෙත් මලය රට නැතහොත් පසු කාලීනව දක්ඛිණ දේශය හෝ මායා රට ලෙසින් හැඳින්වූ කලාපයට අයත් ප්‍රදේශ වලද කිසියම් මට්ටමකින් හෝ ජනයා එම මුල් ඓතිහාසික යුගයේද  සිටි බවට එම ප්‍රදේශ වල අතරින් පතර හෝ හමුවන සෙල්ලිපි ආදී පුරාවිද්‍යාත්මක සාධක දෙස් දෙයි. එවන් එක් පර්වත ලිපියක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයට ආසන්නව පොකුණුවිට මංසන්ධියට නුදුරින් පිහිටි ස්වභාවික කඳු ගැටයක් මුදුනේ ඇති බව ඒ අවට වෙසෙන බොහෝදෙනෙක් පවා නොදන්නා කාරණයකි. 
මහනුවර සම්ප්‍රදායේ සිතුවම් සහිත විහාරගෙයක්ද සහිත පොකුණුවිට කොණ්ඩඤ්ඤාරාමය ලෙසින් හැඳින්වෙන විහාරස්ථානයේ එකී විහාරගෙයට ආසන්නව පිහිටි ගල් තලාවක මෙම සෙල්ලිපිය කොටා ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා 1933 තරම් ඈත කාලයකදී මේ පිළිබඳව සටහනක් Ceylon Journal of Science කලාපයකට සැපයූ ඔහුගේ ලිපියක සඳහන් කර ඇති මුත් ලිපියේ ස්පර්ශ ලාංජනයක් (Estampage)  ගෙන එය කියවා ප්‍රකාශයට පත් කිරීමක් මෑතක් වනතුරුම සිදුකර නොතිබුණි. පරණවිතාන මහතා එහිදී මෙම ලිපියෙන් සිරි මේඝවර්ණ රජුගේ කාලයේදී සිවගේ පුත් දේව නැමැත්තෙකු විසින් විහාරයකට කරන ලද පූජාවක් පිළිබඳව කියැවෙන බව පවසා ඇත. එම කාලයේදීම ගත් ස්පර්ශ ලාංජනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව තිබී ඇති මුත් එය පසුකාලීනව සොයාගැනීමට නොහැකි වී ඇත. 1963 වර්ෂයේදී C.W. නිකොලස් මහතාද ඔහුගේ පුරාතන සහ මධ්‍යතන යුගයේ ඓතිහාසික ස්ථාන පිළිබඳව විස්තර ඇතුලත්ව සැකසූ ග්‍රන්ථයේ කැඩී බිඳී ගිය මෙම මේඝවණ්ණාභය රජුගේ කාලයට අයත් සෙල්ලිපිය සම්බන්ධව කෙටි සටහනක් තබා තිබේ.
එදා මෙදා තුර කාලයේදී ලිපියේ අක්ෂර ස්වභාවික සහ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තව දුරටත් මැකී යෑම සහ ඇතැම් අක්ෂර විනාශ කිරීම සිදුවී ඇත. සුපුරුදු පරිදි මෙවන් අක්ෂර කොටා ඇති ස්ථාන වල ගල තුල නිධන් තැන්පත් කර ඇතැයි යන මිත්‍යාව හේතුවෙන් ඒවා විනාශ කිරීමේ පෙලඹවීමක් ජාතියක් ජම්මයක් නොමැති ඇතැම් වර්තමාන ශ්‍රී ලාංකිකයන් අතර ඇතිවී ඇති බැවින් එහි අනිටු ඵල විපාකයන්ට මුහුණ දීමට මෙම වැදගත් සෙල්ලිපියටද සිදුවී ඇත. ඒ අවට ඇතැම් ගල් පතුරු එවැනි පුද්ගලයන් විසින් ගලවා ඇති අතර සෙල්ලිපිය අසලින්ම වර්තමාන විහාරයේ ඝණ්ටාර කුළුන සිටවීමටද ගල හාරා ඇත. කෙසේ නමුත් මේ සමග පළවන ඡායාරූප වල පෙනෙන පරිදි මෙම සෙල්ලිපියට නිසි ආරක්ෂාවක් මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සපයා ඇත (මෙම ඡායාරූප 2018 වර්ෂයේ ජනවාරි මාසයේදී ලබාගත් ඒවා වේ.)
මහනුවර සම්ප්‍රදායේ මූර්ති සහ සිතුවම් සහිත විහාරගෙය

කෙසේ නමුත් ඉතාම මෑතකදී (2022 වර්ෂයේදී) මෙම ලිපිය කියවා ප්‍රකාශයට පත් කල පුරාවිද්‍යාඥ නාමල් කොඩිතුවක්කු මහතාට අනුව එහි පෙල මේ ආකාරයට වේ. 

සිරි මෙකවන අබ මහ රජ චත ලෙගිතෙක (හි) දස අවනක වසහි (පතය) ම....
සිවයහ පුත දෙවයහ අතනයෙහි තුම පිතහිච පති....(වක රබගම කණියෙ) පචරිය වෙහෙරහි දිනි (බුමි)...

සිරි මෙකවන අබ මහ රජුගේ අභිෂේකයෙන් දසවන වර්ෂයේ සිවගේ පුත් දේවගේ ආස්ථානයෙහි තම පියා සතු කොටසද.. රබගම කර්ණිකාවේ පචරිය විහාරයට දෙන ලදී යන අර්ථය සහිත මෙහි නම සඳහන් සිරි මෙකවන අබ මහ රජු පොදු වර්ෂ 301 සිට 328 දක්වා කාලයේ රාජ්‍යය විචාල කීර්ති ශ්‍රී මේඝවර්ණ හෙවත් කිත්සිරි මෙවන් රජු ලෙස හඳුනාගත හැක. මෙහි සඳහන් සිව හෝ ඔහුගේ පුත් දෙව යන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් මෙම ලිපියේ ඉතිරිව ඇති කොටසින් සොයා ගත නොහැකි මුත් සිරි මෙකවන අබ රජුගේ කාලයටම අයත් එකී නමද සඳහන් වන වව්නියා දිස්ත්‍රික්කයේ පිහිටි තෝනිගල සෙල්ලිපියේ සිවයහ පුත දෙවයහ නම් පිය පුතු දෙපලක් ගැන කියැවේ. සිරි මෙකවන අබ මහ රජුගේ තුන්වන රාජ්‍ය වර්ෂයට අයත් එම තෝනිගල ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ සිව නැමැත්තා කඩුබල නම් ගම්හි වසන අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු බවය. මෙම සෙල්ලිපි දෙකෙහිම නම් සඳහන් වන්නේ එකම පිය පුතු දෙපලක් පිළිබඳවය යන්න ඒ අනුව බොහෝදුරට අනුමාණ කිරීමට හැකිය. 

ආස්ථානය හෙවත් අතන ලෙසින් මෙම සෙල්ලිපියේ සහ මේ යුගයට අයත් වෙනත් ඇතැම් සෙල්ලිපි වල සඳහන් වන වචනයෙන් වෙළඳපොල, වෙළඳ මධ්‍යස්ථානය හෝ බැංකුව වැනි ආයතන හැඳින්වූ බව යන්නය පොදු පිළිගැනීම වන්නේ. වර්තමාන බැංකුවක සිදුවන ආකාරයට එවන් ස්ථාන වල මුදල් හෝ ධාන්‍ය තැන්පත් කර ඒවායේ පොළියෙන් විහාරවල සිදුවන පිංකම් කටයුතු සහ ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරිම් කල බවට වූ සාධක එවන් සෙල්ලිපි කිහිපයකින්ම හමුවී ඇත. 
මෙහි සඳහන් කණිය යන වචනයෙන් එවකට මෙරට බෙදා තිබූ විවිධ පාලන ප්‍රදේශ හැඳින්වූ බව හඳුනාගෙන ඇත. වර්තමාන දිස්ත්‍රික්කයක් වැනි වූ එවන් ප්‍රදේශයන් කිහිපයක් පිළිබඳවම මේ ආකාරයේ වෙනත් සෙල්ලිපි ගණනාවකම සඳහන් වේ. රබගම කණිය යන්නෙන් මේ ලිපිය පිහිටා ඇති ප්‍රදේශය හෝ ඒ ආසන්න වෙනත් ප්‍රදේශයක් හැඳින්වූවා විය හැක. කෝට්ටේ යුගය වනවිටද මෙම පොකුණුවිට ප්‍රදේශයද අයත් වන ප්‍රදේශය හැඳින්වූ රයිගම යන්න රබගම > රයගම > රයිගම ලෙසින් වෙනස් වූවා විය හැක. නැතහොත් පාළි භාෂාවෙන් රම්බා ලෙසින් හැඳින්වෙන කෙසෙල් යන්නෙන් රබ ලෙස සිංහල භාෂාවට පැමිණි වචනයක් අනුසාරයෙන් කෙසෙල් ගම යන්න රබගම වූවා විය හැක. එයට අදාලව මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් වන්නේ දඹදෙණි යුගයේ සිටම පැවතෙන කෙසෙල්සේනා ගම (පූජාවලියේ දඹදෙණි යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ පතිරාජ නම් වූ ඇමැතිවරයා කෙසෙල්සේනාව නම් ගමෙහි පන්සියයක් රියන් දික්වූ මහ හෙයක් [පාලමක්] තැනවූ බව පැවසෙන එම සඳහන මහාවංශයේ පාළියෙන් සඳහන් වන්නේ කදලීසෙනගාමයෙහි රියන් 100 ක් වූ පාලමක් තැනවූ ලෙසින්ය.) නම් වූ ප්‍රදේශයක් වර්තමානයේ කෙසෙල්හේනාව නමින් යුතුව කළුතර දිස්ත්‍රික්කය තුලම ඇති අතර, එහි පැරණි අනුරාධපුර යුගයට අයත් බවට හඳුනාගත් ස්ඵටික හුණුගලින් තැනූ බුදු පිළිමයක්ද ලෙන් විහාරයක් තුල තැන්පත් කර ඇත. 

ලිපියේ සඳහන් පචරිය විහාරය පිළිබඳව සඳහනක් වෙනත් සෙල්ලිපි වල හෝ පැරණි සාහිත්‍යමය මූලාශ්‍ර වල හමු නොවේ. එම විහාරය මෙම ලිපිය පිහිටුවා ඇති කඳුගැටයේ වර්තමාන විහාරය පිහිටි භූමියේ හෝ මේ ආසන්න වෙනත් ස්ථානයක තිබුණා විය හැක. 

මූලාශ්‍ර
  • අභිලේඛන සංග්‍රහය - 1, පුරාවිද්‍යාඥ නාමල් කොඩිතුවක්කු, 2022
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015 
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.