Sunday, May 12, 2019

එදා සිංහල කඩු සහ මෙදා "සහජීවන" කඩු

නූතන දොන් ජුවන් ධර්මපාල නැවත වරක් "පැරකුම් යුගයක්" ගැන මෑතකදි කටමැත දොඩවා තිබුණි. පැරකුම් රජුද වැට් (Tax හෙවත් බදු නොවේ VAT හෙවත් එකතු කල අගය මත බද්දක් [Value Added Tax] ) ගැසූ බව එමගින් ඔහු කියා තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම මේ මහා "ඉතිහාස අඥානයාගේ" ප්‍රකාශ පිළිබඳව අප කතා කර ඇති මුත් මෙම ප්‍රකාශය එතරම්වත් කතා කරන්නට යමක් නොවන බැවින් එයට වඩා කාලීන මාතෘකාවක් පිළිබඳව ඓතිහාසික කරුණු කිහිපයක් සඳහන් කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ සැබවින්ම "පැරකුම් යුගයක්" නැවත "යහපාලන ලාභී සසිරි බර මේ සිරිලක" තුල උදාවී ඇති බැවිනි. මහ පරාක්‍රමබාහු රජු විදේශ රටවල් කිහිපයකද යුද වැදුණු බව වංශ කතාව පවසයි. ඒ සඳහා එකල ඔහුගේ හමුදාවන් භාවිතා කල ප්‍රමාණයටත් වඩා කඩු ප්‍රමාණයක් මේ වන විට මෙරට දස දෙසින් හමු වෙමින් පවතී. නැවතත් "පැරකුම් යුගයක්" උදාවී ඇත්තේ එම යුගයට සරිලන මට්ටමේ නැතහොත් එයටත් වඩා කඩු දැන් මෙරටින් හමු වෙමින් පවතින බැවිනි.

 මේ ලිපිය ලියවෙන අවස්ථාව වන විට නම් එම සොයාගන්න කඩු මාධ්‍ය මගින් පෙන්වීමද වාරණය කර තිබේ. ඒ "සංහිදීයාව" වෙනුවෙන් විය යුතුය. මල් පහන් රැගෙන පන්සල් යන බෞද්ධයා සිය පන්සල් තුලද, පසුගිය 21 දින දක්වා සිය පල්ලි තුල නිදහසේ සිය ආගම ඇදහු කතෝලිකයාද, හින්දු ආගම අදහන දෙමළ බැතිමතුන්ද සිය ආගමික ස්ථාන තුලද අවි ආයුධ තබා ගෙන ඒවා වන්දනාමාන කරන බවක් නම් අප අසා නැත. ඇතැම් දේවාල තුල දෙවියන්ගේ ආයුධ බව පැවසෙන කඩු ඇති මුත් ඒ එකක් හෝ දෙක තුනක් පමණි. එවන් තත්වයක් යටතේ කිසියම් වෙනත් ආගමික ස්ථාන තුල මෙතරම් විශාල කඩු ගබඩා කර තබා ගත්තේ තණකොල කැපීමට බව කියන ගජබින්නය පිළිගැනීමට නම් අප පළමුව කොන්ඩය බැඳ චයිනිස් කතා කල යුතුය. කිසියම් ශරීර අවයවයක කරන සියුම් ආගමික කටයුත්තක් උදෙසා ඒවා තිබූ බව "මිරිස් කරල්" වගේ නමක් සහිත පුද්ගලයකු කිවූ බවක්ද ඇසීමු. කඩුවකින් එම කටයුත්ත කලේ නම් එම අවයවය රහිත පුද්ගලයන් පමණක් එම ආගමික කොට්ඨාසය තුල ඉතිරි විය යුතු මුත් ඔවුන්ගේ ජනගහණ වර්ධන වේගය එය එසේ නොවන බව අපට පසක් කරයි.

අලුත්ම කෙප්පය කඩු ඇත්තේ සියල්ල වසාගෙන ඇස් දෙකත් වසන් යන කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා බවය. ශරීරයේ කිසිදු තැනක් නොපෙනෙන "ගෝනියකට" අතවර කිරීමට තරම් මානසික ලෙඩුන් මෙරට අනිත් ආගම් අදහන පුද්ගලයන් අතර නම් සිටිය නොහැක. කතාව පැහැදිලිය. මේ කඩු යම් අවස්ථාවක භාවිතා වන්නට තිබුනේ අහිංසක මිනිසුන්ගේ රුධිරයෙන් මෙම බිම තෙත් කිරීම උදෙසාය. ඒ සඳහා මුල් පියවර අහිංසක කතෝලික බැතිමතුන් සිය ගණනක් සහ විදේශික සංචාරකයන් පිරිසගේ ජීවිත මගින් මේ සූකර රැල පසුගිය දා තබන ලදී.
අනුරාධපුර යුගයට අයත් ගල් කැටයම් වල නිරූපිත කඩු සහිත රූප. වම්පස > ජේතවනාරාම වාහල්කඩක්, දකුණු පස > ඉසුරුමුණිය 
ඒ අද කඩු ගැන කතාවය. මේ එදා සිංහල කඩු ගැන කතාවෙන් බිඳකි...

මහාවංශයේ විජය පුරාවෘත්තය පිළිබඳව වූ විස්තරයේදී ඔහුට පොකුණක් අසලදී කුවේණිය නම් වූ යකින්න හමුවන විට විජය පංචායුධයෙන් සන්නද්ධව සිටි බව පැවසේ. "පංච ආයුධ" අතර කඩුවද ඇති අතර එහිම පසුව සඳහන් වන්නේ විජය වමතින් යකින්නියගේ කෙස්වැටිය ගෙන දකුණතින් කඩුව ඔසවා 'දැන්ම මාගේ පිරිස දෙව නැතහොත් තී මරමි' යි ඇයට තර්ජනය කල බවය. ධර්මාශෝක රජු විසින් දේවානම්පියතිස්ස රජු වෙත එවූ රාජ කකුධ භාණ්ඩ අතර කඩුවක් ද විය. දුටුගැමුණු රජු පිළිබඳව වූ දීර්ඝ මහාවංශ විස්තරයේදීද කිහිප තැනකදීම කඩු පිළිබඳව සඳහන් වේ. ඒ අතරින් භල්ලුක සමග වූ සටනේදී දුටුගැමුණු රජු කඩු පතින් සිය මුඛය වසාගෙන භල්ලුකයාට අවමන් වචන කී බවත් එවිට භල්ලුක "ක්ෂත්‍රියාගේ මුඛයට විදිමි" යි මහා හඬින් කෑගසමින් හීයක් විදි බවත්, එය කඩු පතෙහි වැටී බිම වැටුණ බවත් විස්තර වේ.
හඟුරන්කෙතින් හමු වූ කඩු  සහ පලිහ රැගත් සොල්දාදුවන් දෙදෙනෙකුගේ ද්වන්ද සටනක් නිරූපනය වන ගල් කැටයමක් - කොළඹ කෞතුකාගාරය
මහා පරාක්‍රමබාහු රජු මානාභරණ රජු සමග යුද වැදි අවස්ථාවක ඛදරවල්ලි නම් ගමේදී පරාක්‍රමබාහුගේ සේනාව දරුණු පසු බෑමකට ලක්වූ අවස්ථාවකදී රජු සතුරන් සමග යුද වැදීම සඳහා "මට සිංහළ කඩුවක් දෙන්නැ" යි සිය අත් ආයුධ භාරකරුට කී බවත්, ඔහු විසින් නොදැනුවත්කමින් දඹදිව කඩුවක් ගෙන ආ කල, "සිංහල ද්වීපයෙහි ආයුධයක් මා අතට දෙන්නට සමතෙක් නැතැ" යි අසල සිටි කේසධාතුනායක රක්ඛ සහ නාථනගර නමැත්තාගේද මුහුණු බැලූ බවත් මහාවංශයේ සඳහන් වේ. මේ සඳහන විවිධ ආකාරයෙන් අර්ථ කථනය කල හැකි මුත් සිංහළ  කඩු දඹදිව කඩු වලට වඩා භයානක (Terrible) ආයුධයක් හෙයින් රජු සිංහළ කඩුවක් ඉල්ලුවා වන්නට ඇතැයි ඇන්ටන් මුත්තුකුමාරු මහතා මෙරට යුද ඉතිහාසය සම්බන්ධව වූ සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. නමුත් එම අවස්ථාවේ සිංහළ කඩුවක් රජුගේ ආයුධ සපයන්නන් ලඟ නොමැති වූවේ මන්ද යන පැනය මෙහිදී පැන නගී. කෙසේ නමුත් සිංහළ කඩුවක් නොමැති හෙයින් රජු සටනට නොගිය බවත් ඉහත කී අනෙක් සෙන්පති දෙදෙන රජුගේ ඉඟිය වටහාගෙන සතුරන් සමග යුද වැදුණු බවත් මහාවංශ විස්තරය කියවීමේදී පෙනේ.
වම් පස > බ්‍රිතාන්‍යයේ Victoria and Albert කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන කෝට්ටේ යුගයට අයත් මෙරටින් ගෙන ගිය කඩුවක ඇත් දලින් කල මිටක්. දකුණු පස > බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන මෙරටින් ගෙන ගිය මහනුවර යුගයට අයත් කස්තාන කඩු සහ පිහි
ජාතක අටුවා ගැටපදයේ සඳහන් වන ලෙසට එකතොධාර සහ උභතොධාරා ලෙසින් වූ කඩු වර්ග දෙකක් තිබී ඇත. එහිම විස්තර වන ලෙසට එකතොධාරා අසි යනු එක් දිසායෙකින් මුවහත් ඇති කඩු (Single edged sword) වන අතර උභතොධාරා අසි යනු දෙදිසායෙන් මුවහත් ඇති කඩු වේ (Double edged sword). 14 වන සියවසට අයත් කෘතියක් වන දඹදෙණි අස්නෙහි මෙරට භාවිතා වූ කඩු වර්ග 26 ක නම් සඳහන් කර ඇත. එනම් 1) රන් කඩු 2 )රිදී කඩු, 3) මිණි කඩු 4)සත් රුවන් කඩු 5)ඇරා කඩු 6) ගුජර කඩු 7) පාඬි කඩු 8)වංග කඩු 9) චීන කඩු 10) මලය කඩු 11) මදුර කඩු 12) තෙලිඟු කඩු 13) ජාව කඩු 14) වංග කඩු 15) අයොධ්‍ය කඩු 16) දෑත් කඩු 17) මූන කඩු 18) දාර කඩු 19) සිරිවාල් කඩු 20) දිළෙන කඩු 21) ලෙළෙන කඩු 22) විසී කඩු 23) ධවල කඩු 24) වක් කඩු 25) දික් කඩු 26) ලුහුඩු කඩු වේ.
කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ කඩු වර්ග. දකුණු පස කෙලවරේ සිංහලේ අවසන් රජු වු ශ්‍රි වික්‍රම රාජසිංහ රජුට අයත් කස්තාන කඩුව දැක්වේ.
මේ අතරින් මුල් කඩු වර්ග 4 රජවරු වන් ප්‍රභූ පැලැන්තිය අලංකාරය පිණිස නැතහොත් ඔවුන්ගේ උසස් බව පෙන්වීමට යොදාගත් Ceremonial කඩු වර්ග බව පෙනේ. ඉන් පසු 5 සිට 16 දක්වා නම් සඳහන් කඩු විදෙස් දේශයන්ගේ නම් සඳහන් එම රට වල භාවිතා වන හෝ එම රටවලින් මෙරටට හඳුන්වාදුන් කඩු වර්ග ලෙසට හඳුනාගත හැක. විදෙස් කුලී හේවායන්ද මෙරට රජවරුන්ගේ සේනා වල සටන් කල හෙයින් ඔවුන් සමග එම ඇතැම් කඩු වර්ග මෙරටට පැමිණියා විය හැක. දැත්/දෑත් කඩු යනු කියතක ආකාරයෙන් දැති සහිත කඩු හෝ දෙපසම මුවහත් කඩුද, දාර කඩු යනු තියුණු මුවහතක් ඇති කඩුද විය හැකි බව M.B. ආරියපාල මහතා අනුමාණ කරයි.  මූන කඩු යනු එහි තලය උල් වූ අගිස්සක් සහිත කඩු විය හැක (Swords with blades ending in an acute point). විසී කඩු යනු දමා ගසන කඩු ලෙසත් (Throwing swords), දික් කඩු දික් වූ තලයක් සහිත කඩු ලෙසත්, ලුහුඩු කඩු කොට තලයක් ඇති කඩු ලෙසත් වක් කඩු යනු වක් වූ තලයක් සහිත කඩු ලෙසත් හඳුනාගත හැක. (de Silva P.H.D.H. & Wickramasinghe S., 2006 )

මූලාශ්‍ර
  • de Silva P.H.D.H. & Wickramasinghe S., 2006,  Ancient Swords, Daggers & Knives in Sri Lankan Museums, 
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • දඹදෙනි, කුවේණි, සිහබා අස්නත්‍රය, මා. මෛත්‍රිපාල1997
  • ජාතක අටුවා ගැටපදය, ඩී. බී. ජයතිලක සංස්කරණය, 2003
  • The Military History of Ceylon - an outline, Antom Muttukumaru, 1987
  • A Catalogue of Antiquities and other Cultural Objects from Sri Lanka (Ceylon) Abroad, de Silva P.H.D.H., 1975

Friday, May 3, 2019

ඇත්වෙහෙර කන්ද පාමුල හදයුණ්හ පිරිවෙන - කළුදිය පොකුණ ආරාම සංකීර්ණය

චේතිය පබ්බත විහාරය, සෑගිරිය නැතහොත් වර්තමාන ව්‍යවහාරය අනුව මිහින්තලය වනාහි මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට අඩිතාලම දැමූ මුල් බිම බවට අවිවාදිතය. රජරට තැනිතලා භූමියේ අතරින් පතර ඉහලට මතුවී දිස්වන කුඩා කඳු වැටි අතරින් අනුරාධපුර පැරණි අගනගරයට නැගෙනහිර දෙසින් පිහිටි එවන් එක් ශේෂ කඳු වැටියක් ආශ්‍රය කරගනිමින්, බෞද්ධ ධර්මය මෙරටට හඳුන්වා දුන් මුල් යුගයේ සිට සියවස් කිහිපයක් පුරා ඉදිවූ විහාර ආරාම වල නටබුන් මෙම ප්‍රදේශය පුරා පැතිර ඇත.

මිහින්තලයේ ප්‍රකට නටබුන් හමුවන අම්බස්ථල කන්ද, ඇත් වෙහෙර කන්ද, කණ්ටක සෑය පිහිටි කන්ද ආදියට නුදුරින් ඇත් පැටියා කන්ද (ආනෛයිකුට්ටි කන්ද) ආශ්‍රිතව විශාල පොකුණක් වටා ඉදිවූ ආරාම සංකීර්ණයක නටබුන් මේ වන විට කළුදිය පොකුණ ආරාම සංකීර්ණය ලෙසින් හඳුන්වයි.
පිවිසුම් ද්වාරය
මහනුවර - යාපනය මාර්ගයට නුදුරින් පිහිටි මෙම ස්ථානයට ඇතුළු වීමේදීම දැක ගත හැක්කේ නැගෙනහිර දෙසට සහ දකුණු දෙසට යොමුවූ දොරටු දෙකක් සහිත ආරාමයට පිවිසීමට තිබූ පැරණි පිවිසුම් ද්වාරයේ නටබුන්ය. ඒ අසලම උතුරු දෙසින් කැට ගලින් නිර්මිත මාලකයක් මත උස් බිමේ පිහිටි දැනට සංරක්ෂණය කර ඇති  ස්තූපයක් දැකිය හැකි අතර, එයට නුදුරින් තවත් කිසියම් පැරණි ගොඩනැගිල්ලක ශේෂ වූ ගල් කණු දැකිය හැක. මෙම ගොඩනැගිල්ලේ සිදු කල කැනීමකදී පොළොන්නරු යුගයට අයත් රන් කාසි 3 ක් හමූ වූ බව පැවසේ. මේ අසලම ශෛලමය කැටයම් සහිත කුළුණු හිස් දෙකක්ද දැකිය හැක.
ස්තූපය
කඳු වලින් වටවූ බේසමක් වැනි වූ ප්‍රදේශයක ඇතැම් විට ස්වභාවිකව තිබූ ජලය රඳන පහත් බිමක් පොකුණක් බවට පත් කර ඒ වටා මෙම ආරාම සංකීර්ණය ඉදි කර ඇති බව පෙනේ. එම පොකුණේ ඇත් වෙහෙර කන්ද පාමුල දෙසින් එයට පිවිසීමට පාලමක්ද සහිතව කිසියම් ගොඩනැගිල්ලක් පොකුණ තුල වූ දූපතක් වැනි මළුවක ඉදිකර ඇති අතර එය උපෝසථඝරයක් හෙවත් සීමා මාලකයක් ලෙස අනුමාණ කරයි. එකක් මත එකක් ලෙස පිහිටි කළු ගලින් නිර්මිත වේදිකා දෙකක් දැනට එහි දැකිය හැක.
උපෝසථඝරය ?
බෞද්ධ ධර්මය මෙරටට හඳුන්වාදීමත් සමගම සංඝයා වහන්සේට වාසය කිරීම උදෙසා කටාරම් කෙටූ ගල් ගුහා විවිධ පුද්ගලයන් විසින් පිරිනැමූ බවට මෙරට බොහෝ ප්‍රදේශ වලින් හමුවන බ්‍රාහ්මි අක්ෂර වලින් ඒ බව සටහන් කර ශිලා ලේඛන පිහිටවූ ලෙන් දහස් ගනනක් ජීවමාන සාක්ෂ්‍ය ලෙස පවතී. දැනට එවන් බොහෝ ලෙන් වල ඉදිරිපස විවෘතව පවතින මුත් ඇතැම් ස්ථාන වල වරිච්චි බිත්ති වලින් ආවරණය කර තිබූ බවටද සාධක හමුවේ. නමුත් එම ඇතැම් බිත්ති මෑත යුගයට අයත් බවටද හඳුනාගත හැක. කෙසේ නමුත් අවම වශයෙන් දිවයිනේ එකිනෙකට දුරස්ව පිහිටි ස්ථාන තුනකින් හමුවන ගල් ගුහා කිහිපයක ඒවායේ ඉදිරිපස කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු දක්නට ඇත. අරන්කැලේ සහ රජගල හැරුණ විට ඒ සඳහා විශ්ෂ්ට උදාහරණයක් මෙම කළු දිය පොකුණ පරිශ්‍රයෙන්ද හමුවේ.
කළු ගලින්ම නිර්මිත දොර සහ ජනේල උළුවහු සහිත ගල් ලෙන
මේම ගල් ගුහාව ඉදිරිපසින් තවත් ගොඩනැගිලි තුනක ගල් කණු, මුරගල්, කොරවක් ගල්, සඳකඩපහණ ආදිය දැකිය හැක. මෙම ගල් ගුහාවට ඉහලින් එක්තරා විශේෂ ලක්ෂණ කිහිපයක් සහිත ගොඩනැගිල්ලක් දක්නට ලැබෙන අතර එය ඉහත ගල් ගුහාවේ වහලය වූ පර්වතය ආශ්‍රය කරගනිමින් ඉදිකර ඇත. මෙහි එක් පසක මධ්‍ය කාලයට අයත් ගෙවීගිය සෙල්ලිපියක් ඇති අතර, ඒ අසලම ගලේ හික්ෂූන්වහන්සේ දන් වැලඳීමට යොදාගන්නා පාත්‍රාවන්ගේ යටි කොටස හා සමාන කුහර හතරක් දැකිය හැක. ඒවා දන් වැලදීමෙන් පසු පාත්‍රා වියලා තැබීම සඳහා උපයෝගී කරගත් ලෙස අනුමාණ කරන මුත් එය ඔප්පු කිරීම සඳහා වෙනත් කිසිදු සාධකයක් හමු නොවේ.
 ගල් ගුහාව ඉදිරිපසින් පිහිටි නටබුන් ගොඩනැගිලි 
පධානඝර හෙවත් පියන්ගල් යනුවෙන් හැඳින්වෙන පැරණි ආරාමික ගොඩනැගිලි විශේෂය පිළිබඳව මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කළෙමු Link >>. රිටිගල, අරන්කැලේ, මානාකන්ද, අනුරාධපුර බටහිරාරාම, නුවරගල් කන්ද ආදී ස්ථාන වල ආරාම සංකීර්ණ ප්‍රධාන වශයෙන එවන් පධානඝර ගොඩනැගිලි වලින් නිර්මිතව ඇත. එහෙත් වෙනත් ආරාමික නටබුන් අතර පධානඝර එකක් හෝ කිහිපයක් හමුවන ස්ථානද මෙරට තුල දැකිය හැක. තන්තිරිමලේ, අභරගිරි විහාර පරිශ්‍රයේ හමුවන පධානඝරය වැනි එවන් තනි පධානඝරයක් මෙම කළුදිය පොකුණ ආරාමික පරිශ්‍රයේද දැකිය හැක. ඉහත විස්තර වූ සියළුම ගොඩනැගිලි වලට වඩා ඉහලින් වූ මාලකයක පිහිටි එම පධානඝරය අසල වැසිකිලි ගලක් සහ කැසිකිලි ගලක් දැකිය හැකි මුත් වෙනත් පධානඝර ගොඩනැගිලි ආශ්‍රිතව හමුවන වැසිකිලි/කැසිකිලි  ගල් වල මෙන් විචිත්‍ර කැටයම් ඒවායෙහි දැකිය නොහැක.
විශේෂ ලක්ෂණ සහිත ගොඩනැගිල්ල
සිව්වන කාශ්‍යප රජුගේ (ක්‍රි.ව. 898 - 914)  ඉලංගසේන නමැති සෙන්පතියා චේතිය පබ්බතයේ හදයුණ්හ නමැති පිරිවෙන කරවා ධම්මරුචික භික්ෂූන්ට දුන් බව මහාවංශයේ සඳහන් වේ. H.C.P. බෙල් මෙම මහාවංශ ගාථාව පාදක කරගනිමින් එම හදයුණ්හ නම් පිරිවෙන කළුදිය පොකුණ ආරාමික පරිශ්‍රය විය හැකි බව පවසමින් එහි නිර්මාතෘ සිව්වන  කාශ්‍යප රජු බව පවසන මුත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා කිසිදු අමතර සාධකයක් ඉදිරිපත් නොකරයි. එම සෙන්පතියා ඒ ඒ ආරාමයන්හි එක් එක් කුටිය බැගින් සාදා ආරාමික භික්ෂූන්ට දුන් බවත් මහාවංශයේ පැවසෙන බැවින් එම කුටි අනෛයිකුට්ටි කන්දේ පිහිටි ලෙන් විහාර විය හැකි බවත් බෙල් වැඩි දුරටත් සඳහන් කරයි.
පධානඝරය
මෙම ස්ථානයේ තිබෙන ඉහත විස්තර වූ වීශේෂ ලක්ෂණ වලින් යුත් ගොඩනැගිල්ලේ ස්වභාවික පර්වතයේ කොටා ඇති සෙල්ලිපිය කියවා පළකර ඇති බවක් නොපෙනේ.  එහෙත් මෙහි හමුවන සෙල්ලිපි වල අක්ෂර අනුව ස්ථානය 10 - 11 සියවස් වලට අයත් කල හැකි බව පැවසේ.  කළුදිය පොකුණේ සිට උතුරු දෙසට ප්‍රධාන කන්ද වෙතට යොමු වූ ගලෙහි නෙලන ලද පඩි පේලියක අයිනේ කොටා ඇති සෙල්ලිපියක "මණිකර මුලගුතහ පදගඩිණි"  එනම් මැණික්කරුවෙකු වන මුලගුතහගේ පඩි ලෙසින් සඳහන්ව ඇති බව පැවසේ. එහි අක්ෂර මුල් බ්‍රාහ්මි යුගයට අයත් වේ. තවද කළුදිය පොකුණට ආසන්න ආනෛකුට්ටි කන්දේ හමු වන ලෙන් කිහිපයකම එම යුගයටම අයත් ලෙන් ලිපි හමුවේ. ඉන් එක් ලෙනක් පිරිනමා ඇත්තේ මාර්ග අධ්‍යක්ෂක (පකර අදෙක/Superindent of Roads) ශමුද නම් පුද්ගලයෙකුය.

නටබුන් වූ ගොඩනගිල්ලක පාදම සහ දොරටුව
තවද සිව්වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956 - 972) මිහින්තලේ පුවරු ලිපියේ පොරොදෙනි පොකුණ ලෙස සඳහන් වන පොකුණ මෙම කළුදිය පොකුණ විය හැකි බව බෙල් ඇතුළු පුරාවිද්‍යාඥයන් කිහිප දෙනෙකුම පවසා ඇත. එහෙත් එම පුවරු ලිපියේ අදාල කොටසේ සඳහන් වන්නේ "පහනැවිල පොකුණ වට ඉඩමත්, පොරොදෙනි පොකුණ ආසන්න ඉඩමත් යන මේ තැන් තැන්වල ලාභ වෙහෙරට ගත යුතු" බවය. පොරොදෙනි පොකුණ ඒ අනුව වර්තමාන කළුදිය පොකුණ වන්නේ කෙසේද  යන්න පැහැදිලි නැත.
කළුදිය පොකුණ
මේ සියළු සාධක අනුව අනුමාණ කල හැක්කේ කළුදිය පොකුණ අවට පිහිටි ලෙන් විහාර මුල් යුගයේ සිටම බෞද්ධ භික්ෂුන් වහන්සේට වාසස්ථාන වන්නට ඇති බවත්, බොහෝවිට උන්වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා ඉදිවූ පොකුණද මුල් යුගයේ සිටම තිබෙන්නට ඇති බවත්ය. පොකුණ වටා ඉදිවූ අනෙකුත් ගොඩනැගිලි, ස්තූප ආදිය ඉන් මෑත කාලයට අයත් විය හැක.  ඇතැම්විට H.C.P. බෙල් අනුමාණ කල පරිදි ඒවා සිව්වන කාශ්‍යප රජ සමයට අයත් හදයුණ්හ පිරිවෙනේ නටබුන් විය හැක.

මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Bell H.C.P.,  Archaeological Survey of Ceylon, North Central, Central and North WesternProvinces, Annual Report 1911- 12
  • Memoirs of the Archaeological Survey of Ceylon Volume X - Part II, Environment, Town,Village And Monastic Planning, Roland Silva, 2006
  • හෙළ හැදියාවේ බිහිදොර, මිහින්තලාව, චන්දිම බණ්ඩාර අඹන්වල , ගාමිණි සමරනායක, 2018 
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004
  • ශිලාලේඛන සංග්‍රහය, 1 වෙළුම 1904-1912, සංස්කරණය දොන් මර්තීනු ද සිල්වා වික්‍රමසිංහ, පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න, 2000
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Ancient Anuradhapura, Anuradha Seneviratna, 1994