බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මහනුවර යුගයට අයත් කස්තාන කඩුවක මිටක් |
කොබ්බෑකඩුවගේ විමුක්ති සටන
ඉහත ලිපියේ ඉදිරිපත් කල සිදුවීම් වලින් මාස කිහිපයකට පසුව 1820 මැයි මස නැවතත් කොබ්බෑකඩුව නම් වූ සිංහල නායකයකුගේ මෙහෙයවීමෙන් උඩරට සිංහලේ ප්‍රදේශ තුල ප්‍රතිවිරෝධයක් ඇතිවිය. එම කොබ්බෑකඩුව, වෙල්ලස්සේ ප්‍රදේශය උදෙසා 1818 නිදහස් අරගලයේදි "රාජ ප්‍රතිරූපකයා" වූ විල්බාවේ රාල විසින් පත් කල දිසාවේ වරයාය. ඉංග්‍රිසී හමුදාවට හසු නොවී රටේ විවිධ ප්‍රදේශ තුල සැඟවි සිටි ඔහුට කොස්වත්තේ රටේ රාල සහ හල්මිල්ලෑවැව උන්නාන්සේ ඇතුළු භික්ෂූන්වහන්සේලා පිරිසක් සමග "ඔවුන් සේවය කල රෙජිමේන්තු වලින් (First Ceylon Regiment) පලාගිය මැලේ සොල්දාදුවන් තිදෙනෙක්ද" සහයෝගය දක්වා ඇත (කිඹිස්සේ රටේ රාල නම් පුද්ගලයෙකු ගැනද ඇතැම් මූලාශ්‍ර වල සඳහන් වේ.) තමණ්කඩුව සහ මාතලේ ප්‍රදේශ තුල සිටි ප්‍රදේශීය නායකයන්ට කොබ්බෑකඩුව නියෝග දී ඇත්තේ තමා "පැරණි රාජප්‍රතිරූපකයා" විසින් පළමු අධිකාරම ලෙස පත් කල බව පවසාය. මහනුවර-ත්‍රිකුණාමල පාරේ තැපැල් කාර්යාල ගිනි තැබීම සඳහා ඔහු යෙදවූ මැලේ සහ උඩරට සිංහල පුද්ගලයන් විසින් එක් තැපැල් කාර්යාලයක (පුලියන්කඩවත) ප්‍රධාන පණිවුඩකරුවා (Head Messenger) මරා දමයි (එහිදි තැපැල් කාර්යාලය අසල සිටි මුස්ලිම් තරුණයෙක්ද මරා දැමූ බව පැවසේ ). කෙසේ නමුත් ත්‍රිකුණාමලයෙන් සහ මහනුවරින් පිටත් වූ සෙබලුන් කොබ්බෑකඩුව අල්ලා ගැනීමත් සමග එම සිදුවීම්ද නිමාවට පත්වේ. ඔවුන් අල්ලාගැනීම සඳහා මාතලේ ප්‍රදේශයේ කීකරු වැසියන්ද (Loyal inhabitants) සහයා දැක්වූ බව පැවසේ. එම වසරේ ඔක්තොබර් 29 වන දින ඔවුන් එල්ලා මරා දමයි.
1823 නිදහස් අරගල
මෙවර සිදුවීම් ආරම්භවන්නේ උඩරට සිංහලේ පලාත් අතර ඉංග්‍රිසීන්ගේ බලපෑම එතරම් නොතිබූ නුවරකලාවිය ප්‍රදේශයෙනි. ඒ වන විට එම ප්‍රදේශ තුල ඉංග්‍රිසි යුද කඳවුරු හෝ පරිපාලන නිලධාරින් සිට නැත. මෙවර නිදහස් අරගලයේ නායකත්වය රත්මලේ උන්නාන්සේ නම් භික්ෂූන්වහන්සේ නමක් විසින් දරන අතර, 1823 වර්ෂයේ පෙබරවාරි අවසානයේ පමණ එය ආරම්භ වේ. ඉංග්‍රිසින්ට සේවය කල ලැස්කිරිඤ්ඤා භටයෙකු මෙම භික්ෂුන්වහන්සේගේ නියෝග මත කැරලිකරුවන් විසින් අත් අඩංගුවට ගන්නා අතර එම ප්‍රදේශ තුල ඉංග්‍රිසි ආන්ඩුව වෙනුවෙන් ධාන්‍ය බද්ද එක් රැස් කල පුද්ගලයාටද ජිවිතය බේරාගැනීම උදෙසා කැලෑව තුල සැඟ වෙන්නට සිදුවිය. තවද හේවාහැට ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් කටයුතු වල නියතව සිටි දකුණු ඉන්දියානු සේවකයන්ටද අවි ගත් සිංහල කැරලිකරුවන් පිරිසක් විසින් පහර දේ. කෙසේ නමුත් මේජර් ෆ්‍රේසර්ගේ (Major Fraser) නායකත්වයෙන් නුවරකලාවිය බලා යන මැලේ සෙබලුන්ගෙන් සමන්විත භට පිරිසක් සහ ත්‍රිකුණාමලයෙන් සහ කුරුණෑගලින් පිටත්වන අතිරේක භට පිරිස් විසින් ප්‍රදේශයේ තත්වය පාලනය කරයි. මේ අතර දඹුල්ල සහ හේවාහැට ප්‍රදේශ වෙතටද ඉංග්‍රිසි හමුදා භට පිරිස් කඩිනමින් යොමු කරවයි. රත්මලේ උන්නාන්සේ නම් වූ කැරලි නායකයාද අල්ලා ගන්නා ඉංග්‍රිසි සෙබලුන් ඔහුව ප්‍රශ්න කිරීම උදෙසා මහනුවරට පිටත් කරයි.
සිංහලේ රජ පවුල සහ රාජ සභාවේ පුද්ගලයන් දැක්වෙන දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත් දත් පිලිරූ පෙලක් |
එම නිදහස් අරගලයද පරාජයෙන් කෙලවර වන අතර අත් අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 29 දෙනෙකු වැරදි කරුවන් ලෙස හඳුනාගනී. ඒ අතරින් කහවත්තේ උන්නාන්සේ සහ කොස්වත්තේ රටේ රාල 1823 අගෝස්තු මස 5 වන දින එල්ලා මරනු ලබයි. වෑගොඩපොල රටේ රාල (Weyuridepolle), මිගහකුඹුරේ අධිකාරම්, කෙන්දගමුවේ කෝරාල, පෝයාවේ (Poyawe) දුරයා, වරකගස්තැන්නේ පිහින රාල, කහටගස්මුදමේ (Kahategasmudeme) දුග්ගන්නා රාල, පුබ්බෙලියේ අලුත්වත්තේ රටේ රාල ඇතුළු තවත් 12 දෙනෙකු ජීවිතාන්තය දක්වා මුරුසි දිවයිනට පිටුවහල් කරනු ලබයි. ඉතිරි පුද්ගලයන් හට කෙටි කාලීන සිර දඩුවම් නියම කරන අතර රාජප්‍රතිරූපකයා හට වසර දෙකක බලපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර, මහනුවරදී සහ මාතලේදි කස පහර 50 බැගින් කස පහර 100 ක් ලබාදේ. කැරැල්ලට සහභාගි වී දඩුවම් ලැබූ ඉහත පිරිස අතර කෝරාල, අතුකෝරාල, විදානේ, දුරයා වැනි පහල මට්ටමේ ප්‍රදේශිය නායකයන් බහුතරය අතර සාමාන්‍ය වැසියන් 11 දෙනෙකුද හමුවේ. දේවාලයක කපුරාල කෙනෙකු සහ නැකැති රාල කෙනෙක්ද ඒ අතර වේ.
සිංහලේ රජ පවුල සහ රාජ සභාවේ පුද්ගලයන් දැක්වෙන දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත් දත් පිලිරූ පෙලක් |
1824 අගෝස්තු 12 සිට 23 දක්වා කාලයේ සිදුවූ මෙම අරගලයේද නායකත්වය දරනු ලැබුවේ භික්ෂූන්වහන්සේ නමකි. එසේම බින්තැන්නේ වැදි නායකයන් දෙදෙනෙකු සහ ඇහැලේපොල සහ උනම්බුවේ පරම්පරා වලින් පැවත එන බව හැඟවූ සත් කෝරලයේ අප්‍රධාන නායකයන් දෙදෙනෙකුද (පිළිවෙලින් නෙල්ලියේ පුංචිරාල, සහ වන්නකු රාලගේ පුංචිරාල) එයට එක්වී ඇත. මේ පිරිස වැද්දන් කණ්ඩායමක් සමග මහවැලි ගඟ තරණය කර මාතලේ දිස්ත්‍රික්කයට පිවිස බින්තැන්න සහ ලග්ගල ප්‍රදේශයන්හී ගමින් ගමට ගොස් දුනු හී සහ තුවක්කු කිහිපයක් සහිත 470 ක පමණ පිරිසක් එකතු කරගෙන ඇත. ඔවුන් ධාන්‍ය බද්ද එකතු කරන්නෙකු (වී බද්දේ ලේකම්) අත් අඩංගුවට ගෙන ඇති අතර සංචාරක වෙළෙන්දන් කිහිප දෙනෙකුද කොල්ලකා ඇත. මෙහිදි රාජ ප්‍රතිරූපකයා ලෙස හාරිස්පත්තුවේ සෙව්රාල ලෙසද හැඳින්වූ ගල්ලෑල්ලේ වන්නිසේකරගෙදර මුදලිහාමි නැමැත්තෙක් බින්තැන්නේ මාරකේ ලෙස හැඳින්වූ වැදි ගම්මානයකදි අභිෂේක කර ඇත. එහිදි දිසාවේ, දියවඩන නිළමේ, බත්වඩන නිළමේ, සහ මහ මුදියන්සේ යන තනතුරු සඳහා නෙල්ලියේ පුංචිරාල, වන්නකු රාලගේ පුංචිරාල, කොට්ටේගංවෙල කුඩාරාල, මාරකේ මුදියන්සේ රාල සහ වැල්ලාවිට කීරාල යන පුද්ගලයන් සහ තවත් සය දෙනෙකු පත්කරගෙන ඇත. මාතලේ ආණ්ඩුවේ නියෝජිතයා (Government Agent in Matale) විසින් යවන බල සේනාවක් මගින් අල්ලා ගන්න 50 ක පමණ පිරිසකගෙන් (මෙහිදීද මාතලේ කීකරු ප්‍රදේශවාසීන් ආධාර කල බව බාන්ස් ආණ්ඩුකාරවරයා පවසයි. [A detachment from Mathale assisted by loyal inhabitants from that area...]) 13 දෙනෙකුට නඩු දමා ඉන් කැරලි නායකයන් ලෙස හඳුනාගන්නා පස් දෙනෙකුට මරණ දඩුවම ලබාදී, සෙස්සන් යාපනයේ බන්ධනාගාරයේ බරපතල වැඩ සහිතව හිර කර තබයි. මින් ඇතැමුන් ඩෙල්ෆ්ට් දූපතටද පිටුවහල් කලා විය හැක.
18 වන ශතවර්ෂයේ අවසාන කාලයට හෝ 19 ශතවර්ෂයේ මුල් කාලයට අයත් ඉංග්‍රිසි සහ සිංහල හේවායන් දැක්වෙන කපු බැනරයක කොටසක් |
1815 ට පසු 2015 සිට නැවතත් අධිරාජ්‍යවාදීන්ගේ සුරතලුන් පිරිසක් ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව මේ රට අගාධයක හෙලා අවසාන වී ඇති මේ මොහොතේද රට සහ ජාතිය තව දුරටත් වලපල්ලට නොයෑ රැකගැනීමට නම් වර්තමාන ජාතිකවාදීන් සහ බෙදුම්වාදීන්ගෙන් වරක් රට බේරාගත් දේශපාලන නායකත්වය යල්පැනගිය "ජනබල" පෙන්වීම් වලට වඩා "ආප්ප කා පැනගිය හිටං ක්‍රමයේ කුමන්ත්‍රණ දේශපාලනය" මීට වඩා හැදෑරිය යුතු බව අතීතයේ පාඩම් ඇසුරින් වටහා ගත යුතුය.
මූලාශ්‍ර
- Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries, Kumari Jayawarena - Colombo, Social Scientists's Association, 2010
- The Kandyan's Last Stand Against The British, M.A. Durand Appuhamy, 1995