Sunday, January 24, 2016

නම්පොත නැවත කියවීමක් - කළුතර දිස්ත්‍රික්කය


සඳකඩපහනක් - හොරණ රජමහා විහාරය

 පෙර කල පිරිවෙන් අධ්‍යාපනයේදී කුඩා දරුවන්ට හෙළබස ඉගැන්වීමට යොදා ගත් පොතක් ලෙස මෙන්ම සති පිරිත් දේශනා වලද දේවාරාධනයේදී යොදා ගත් ලක්දිව සියලු දිසාවන්හි පිහිටි පන්සල්, දේවාල නාමාවලියක් ඇතුලත් නම්පොත හෙවත් විහාර අස්න නමින් යුත් පැරණි කෘතියක් වේ. එය කවර කලකදි කවරෙකු විසින් කරවන ලද්දක්ද යන්න අවිනිශ්චිත මුත් මහනුවර යුගයේ කල විහාර වැඩි වශයෙන් ඇතුලත් බැවින්  එම කාලයේ කරන ලද්දක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. කලින් කලට කොටස් එකතු වෙමින් ආ දඹදෙනි වැනි යුගයක මුලින්ම පටන් ගත් නාමාවලියක් වීමටද ඉඩ නැතිවා නොවේ. කෙසේ නමුත් වර්තමානයේ මෙහි ඇති වැදගත්කම නම් අවම වශයෙන් මහනුවර යුගය වන විට මෙරට බෞද්ධ ජනයා වැදුම් පිදුම් කල ස්ථාන ලක්දිව සතර දිග් භාගයේම පිහිටා තිබූ බවට දෙස් දෙන ප්‍රබල සාක්ෂියක් මෙම නම්පොතෙන් සැපයෙන බැවිනි.

සඳකඩපහනක් - හොරණ රජමහා විහාරය
එම ස්ථාන භූමියේ පිහිටි තැන් පිළිබඳ ගවේෂණයක් එතරම් සාර්ථක මට්ටමින් මේ දක්වාම සිදුවී නොමැති මුත් පන්නිල ශ්‍රී සාරානන්ද සහ පණ්ඩිත ඕපාත ශ්‍රී සරණංකර යන නායක ස්ථවිරයන් වහන්සේලා විසින් 1956 දී මුද්‍රණයෙන් එලි දැක්වූ පොතක ඒ සඳහා ප්‍රශස්ත උත්සාහයක් දරා ඇත. 'විවරණ සහිත නම් පොත හෙවත් විහාර අස්න' නමින් එලි දැක්වූ එහි නම්පොතේ සඳහන් විහාර සහ දේවාල 267 ම හඳුනාගැනිම සදහා උත්සාහ කර ඇත. වර්තමාන පලාත් අනුව සලකා බලතොත්. එහි දකුණු පලාතේ පිහිටි ස්ථාන 14 ක්ද බස්නාහිර පලාතේ ස්ථාන 35 ක්ද, සබරගමු පලාතේ ස්ථාන 46 ක්ද, උතුරු මැද පලාතේ ස්ථාන 30 ක්ද, උතුරු පලාතේ ස්ථාන් 12 ක්ද, වයඹ පලාතේ ස්ථාන 43 ක්ද, නැගෙනහිර පලාතේ ස්ථාන 5 ක්ද, ඌව පලාතේ ස්ථාන 5 ක් ද, මධ්‍යම පලාතේ ස්ථාන 75 ක්ද  ඇත.

වර්තමාන විහාරගෙයි පාදමේ ඇති ගල් කැටයම් - හොරණ රජමහා විහාරය
ඉහත හිමිවරුන්ගේ ග්‍රන්ථය අනුසාරයෙන් වර්තමාන දිස්ත්‍රික්ක පදනමින් එම ස්ථාන පිළිබඳ හදුනාගැනිමක් සදහා දරන උත්සාහය ස්ථාන 6 ක් පමණක් ඇති කළුතර දිස්ත්‍රික්කයෙන් අරඹමු.

කළුතර බෝධියේ පැරණි ඡායාරූපයක්
කළුතොට
කළුතර ගං මෝය ආසන්නයේ කඳු ගැටයක් මත පිහිටා තිබුනා යැයි සැලකෙන මෙම විහාරය බොහෝවිට පෘතුගීසීන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ ඔවුන්ගේ කොටුවක් ඉදි කරන ලදී. එම බලකොටුව ලන්දේසීන් යටතේද පැවත ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ පාලන කාලයේ මුල් භාගයේදි පමණ තවදුරටත් කොටුවක් ලෙස පවත්වාගෙන යෑම අතහැර ඇති බව පෙනේ*. 1956 වන විටත් එම ස්ථානයේ පැරණි දෙයකට ඉතිරිව තිබී ඇත්තේ ගඟ සමීපයේ තිබූ බෝධිය පමණි. පාර අයිනේ ඇති බෝගසද පැරණි බෝධියට වඩා මෑත කාලයට අයත් වේ. ඉන්පසු කාලයේදී වර්තමාන චෛත්‍යය සහ අනෙකුත් ගොඩනැගිලි ඇතිවී වර්තමානයේ ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් බවට පත්වී ඇත.

සොරණ
ගල් උලුවස්ස - හොරණ රජමහා විහාරය

වර්තමාන විද්‍යාරත්න පිරිවෙණ පිහිටි හොරණ රජමහා විහාරය පිහිටි භූමියේ පිහිටා තිබූ විහාරයක් විය හැක. කැටයම් සහිත ගල් උලුවස්සක්, සඳකඩපහන් සහ වර්තමාන විහාර ගෙයි පාදමේ ඇති පැරණි කැටයම් සහිත ගල් එම විහාරයේ නටබුන් විය හැක.

වර්තමාන විහාරගෙයි පාදමේ ඇති කොරවක් ගල් - හොරණ රජමහා විහාරය
විසිදාගම
පෘතුගීසීන් අතින් මෙම ස්ථානයද විනාශ වූ බවට ලිඛිත සාක්කි ඇත (බලන්න කන්ද උඩරට චරපුරුෂ පරංගි පූජකයා සහ පරංගියාගේ ආගමික සහජීවනය.) වර්තමානයේ ඇති මෑත කාලයේ ඉදි කල විහාර භූමියේ පැරණි විහාරයේ නටබුන් ලෙස ගල් පඩි, ගල් කුලුණු, සඳකඩපහන් ආදිය ඇත.

ගල් ආසනයක් - රඹුක්කන නටබුන්
කොතලාවල
පැරණි නටබුන් කිසිවක් වර්තමානයේ දක්නට නොමැති පානදුර - රත්නපුර පාරේ පානදුර සිට සැතපුම් 8 ගිය තැන පිහිටි වර්තමාන කොතලාවල රජමහා විහාරය මෙය විය හැකි ලෙස සැලකේ.

රඹුක්කන
රඹුක්කන නටබුන්
වර්තමාන රඹුක්කන රජමහා විහාරය පිහිටි භූමියේ මෙම පැරණි වෙහෙරේ යැයි සැලකෙන නටබුන් ඇත. පැරණි බෝධියක්, ගල් ආසන දෙකක් සහ වෙනත් ගල් කැටයම් ආදිය දක්නට ඇත

පානදුරේ දේවාලය
පානදුර සෙන් ජෝන් විදුහලට යාබදව පුරාණ විෂ්ණු දේවාලයක් තිබුනා යැයි පැවසෙන ස්ථානයක වර්තමානයේ පන්සලක් තනවා ඇත. පැරණි බෝධියක්ද ඇත.  ගල් පඩි, ගල් ලෑලි වැනි නටබුන්ද 1956 වන විට තිබී ඇත.

හොරණ රජමහා විහාරය

නම්පොතේ සඳහන් කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන පිළිබඳ විමසීමේදි පෙනි යන දෙයක් නම් එම ඇතැම් ස්ථාන පෘතුගීසින් මෙරට මුහුදු බඩ ප්‍රදේශ යටත් කරගෙන සිටි කාලයේදි විනාස කල ස්ථාන බවය. එමෙන්ම එම ස්ථාන වල නැවතත් විහාරස්ථාන ඉදිවන්නේ බොහෝවිට 19 වන ශතවර්ෂයේ ආරම්භ වූ බෞද්ධ පුනර්ජීවනයෙන් පසුව බව පෙනේ. නම්පොත මුලින්ම රචනා කල කාලය 1505 පෘතුගීසීන් පැමිණීමට පෙර  එනම් කෝට්ටේ යුගය දක්වා ගෙනයා හැකි බවද මෙයින් පෙනියන්නේ?

* - The Dutch Forts of Sri Lanka, The Military Monuments of Ceylon W.A. Nelson, 2004

Sunday, January 17, 2016

සිංහලේ සහ සිංහ-ලේ

තොටගමුව විහාරයේ බිතුසිතුවමක්
මීට සිව් මසකට පමණ පෙර සිංහලේ නමින් මෙම බ්ලොගය පටන් ගනිද්දී මා මෙසේ පැවසුවා....

"රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත. " 

වැඩිදුර කියවීමට > සිංහලේ - The Last Phase

වරින් වර 'සිංහලේ' නම විවිධ අවස්තා වලදී යොදාගත් මුත් ඒ පිළිබඳව විස්තාරත්මක විවරණයක් කිසි විටක ඉදිරිපත් නොකලේ ඒ පිළිබඳ විස්තර සියලු ලිපි තුලින් වරින් වර සමස්තයක් ලෙස ඉදිරිපත් වනු ඇතැයි සිතූ බැවිනි. එහෙත් 'සිංහ-ලේ' නමින් එක්තරා ආකාරය රැල්ලක් හෝ ඔවුන් කියන ලෙසට කැරැල්ලක් සමාජය සිසාරා හමා යන මොහොතක සිංහලේ පිළිබඳ යමක් පැවැසීම උචිතයැයි සිතුණි. මෙය සිංහලේ පිළිබඳව විනා සිංහ-ලේ පිළිබඳව නොවේ. සිංහ-ලේ පිළිබඳ මේ වන විට මා ඇසූ වඩාත්ම සාධනීය විවරණය මේ සමඟ ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ මගේ මතයද අඩු වැඩි වශයෙන් එයම වන බැවිනි. සවන්දෙමු උදය ගම්මන්පිල මහතාට.



පොළොන්නරු යුගයේ ගුරුළුගෝමින් විසින් රචිත පාලි බෝධිවංශ පරිකථාව හෙවත් පාළි බොධිවංශයට කල ගැට පදයේ එනම් ධර්මප්‍රදීපිකාවේ සිංහළභාෂා නම් කවරැ යත්? යන පැහැදිලි කිරිමේ මෙසේ සඳහන් වේ.

"යම්සේ ශක්‍රයහට නිවාසභූමි වූ පුරය 'ශක්‍රපුර' වීද, එසෙයින් මැ සිංහළයනට නිවාසභූමිය වූ ද්වීපය 'සිංහළද්වීප' නම් විය. යම්සේ මඤ්චස්ථ වූ ජනයො මඤ්ච ශබ්දයෙන් කියනු ලැබෙද් ද, එසෙයින් මැ සිංහළ දේශස්ථ වූ ජනයෝ සිංහළ ශබ්දයෙන් කියනු ලැබෙත්. ඔවුන්ගේ භාෂා 'සිංහළභාෂා' නම් වේ."

එසේම කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජුගේ සත්වන රාජ්‍ය වර්ෂයේ එනම් ක්‍රි.ව. 1417 දී ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමියන් 'හෙලුබසින්' සද්ධර්මරත්නාකරය රචනා කරනුයේ බුදුන් වහන්සේ දේශනා කල "සද්ධර්මය මාගධික භාෂාවෙහි නො හසළ සිංහලද්වීපවාසීන්ට විශේෂයෙන් නො දැනෙන හෙයින් " ය. 

මේ අනුව පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ඇතැම් අවස්තා වලදී සිංහල දේශය නැතහොත් සිංහල ද්වීපය යන නම මේ දිවයින හැදින්වීමට යොදාගෙන ඇති බව පැහැදිලි වේ (පරණවිතාන මහතා පවසන්නේ පුරාණ සංස්කෘත පොත් වලද මේ රට සිංහලද්වීපය ලෙසින් හඳුන්වන බවය*.). එයට හේතු වූවේ රටේ ශිෂ්ඨාචාරය පිහිටවූ එහි ජීවත් වූ ජාතිය ('ප්‍රධාන ජාතිය' නොව 'ජාතිය' ) සිංහලයන් වූ බැවිනි. වරින් වර මෙරටට සංක්‍රමණය වූ බොහෝවිට දකුණු ඉන්දීය ජන කොටස් කුල ක්‍රමය යටතේ සිය අනන්‍යතාවය හා උප සංස්කෘතිය පවත්වා ගනිමින්ම 'සිංහල ජාතිය' තුලට ඇතුලත් වූවා මිසක ඔවුන් තමන් වෙනත් ජාතියක් ලෙස වෙනම අනන්‍යතාවයක් ඇතිව රටේ කොටස් වෙන් කර ගත්තා නොවේ. උදාහරණයක් වශයෙන් මෙරට බටහිර මුහුදු තීරයේ කරාව, සලාගම, දුරාව වැනි කුල යටතේ අද සිංහල වී ඇත්තේ 14-15 ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවෙන් පැමිණි (බොහෝවිට දකුණු ඉන්දියාවට එවකට මුහුන දීමට සිදුවූ මුස්ලිම් ආක්‍රමණ මීට හේතු වන්නට ඇත.) එවකට ද්‍රාවිඩ භාෂා කතා කල ජනයාය. 

ටොලමි මේ රට හැඳින්වීමට යොදා ගන්නා සාලිකේ (Salike) යන්නද සිංහල හෝ සිහල යන්න නාවිකයන්ගේ කට වහරෙහිදි සිදුවූ වෙනස් වීමකින් ඇති වූවක් බවට මත පලවී ඇත. එසේම සිංහල ද්වීප > සිලන් ද්වීප > සෙරෙන් දිව ලෙසින් වෙනස් වෙමින් ගොස් අරාබි වෙළෙන්දුන් මෙරට හැඳින්වීමට භාවිතා කල සෙරෙන්ඩිබ් (Serendib) ඇතිවූ බවටද පොදු පිළිගැනීමක් ඇත. පෘතුගීසීන් ට සෙයිලාන් (Zeilan) වන්නේත් නැවත ලන්දේසීන් සෙලාන් (Ceylan) කරන්නේත් අවසානයේ ඉංග්‍රීසීන් සිලෝන් (Ceylon) කරන්නේත් එම සිංහල ද්වීපය නොහොත් සිංහල ශබ්දයේ විකෘති වූ ව්‍යවහාරයන්මය. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් වෙනස් වන තුරුම මේ රට අන් දේශයන්ට සිලෝන් (Ceylon) විය. සිංහලෙන් කියනවා නම් මේ රට 1972 වන තුරුම සිංහල ද්වීපය විය. කට වහරේදී නම් සිංහලේ විය.

ඊලාම් යනු සිංහලේද? ඒ පිළිබඳව සහ සිංහලේ පිළිබඳ තවත් තොරතුරු මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
      * සිංහලයෝ, සෙනරත් පරණවිතාන, 1969
  • ධර්මප්‍රදීපිකාව, ගුරුළුගෝමින්
  • සද්ධර්මරත්නාකරය, ධම්මදින්නාචාර්ය විමලකීර්තී හිමි
  • Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859

Friday, January 8, 2016

සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා

 "පස්වරු 8 ට පමණ අධිකාරම්ගේ හිතවතෙකු වන හියඹලාපිටියේ මොහොට්ටාල කඳවුරට පැමිණ මාගේ සුවදුක් විමසා බලා සිය හිතවත් බව මා වෙත සැලකිරීම සඳහා අධිකාරම් විසින් ඔහුව එවූ බව පවසා, අපි කන්ද තරණය කිරීමට අදහස් කරන දිනය විමසා සිටියහ. මක් නිසාද යත් එවිට ඔහුට (අධිකාරමට) රජු සමග ඇති සම්බන්ධය නවතා වහාම හතර කෝරලයේ ජනතාව සමග අප හා එක් වීමට හැකි බැවිනි."
සිංහලේ අවසාන රජුගේ කිරුල
"මාගේ විමසීම් වලට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ අධිකාරම් පෙර දිනයේ අලුත්නුවර ආසන්නයේ සිටි බවත් අපට පෙර දින ඇසුන වෙඩි හඬවල් කිහිපය අපට පහර දෙන බවට බලන කොටුවට හැඟවීමේ අරමුණින් පමණක් කල බවත් අධිකාරම් කිසි විටකත් අපගේ හමුදාවන්ට පහර දීමට අවිගත් බල සේනා අපගේ පෙරමඟට යොදවන්නේ හෝ අපගේ කඳවුරු වලට එවන්නේ නැති බවත්, හිස් වෙඩි පමණක් පෙර දිනයේ මෙන්  විටින් විට පත්තු කරනුයේ ඔහු රජුට පක්ෂපාතී බව පෙන්වීමට සහ අපට පහර දෙන බව රජුට හැඟවීමට පමණක් බවත්ය."

1815 පෙබරවාරි 2 වෙනි දින කන්ද උඩරට සිංහලේ බලය යටපත් කරගැනීමේ අරමුණින් බලන කඩවත පාමුල ගණේතැන්නේ කඳවුරු ලා සිටි ඉංග්‍රීසි හමුදා වෙතට එවකට පලමු අධිකාරම් දූරයට අමතරව රජුගෙන් තුන් කෝරල, සතර කෝරල සහ සබරගමුව දිසාවන්ද ලබා සිටි මොල්ලිගොඩගේ පණිවිඩ කරුවෙකු පැමිණ සැල කල දේ, 1815 සිංහලේ යටත් කරගැනිමේ මහා මොළකරු වූ ජෝන් ඩොයිලි සිය දිනපොතේ සටහන් කර තබන්නේ එලෙසිනි. ඔහු කියූ අයුරින්ම කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිවම කන්ද තරණය කර, බලන කොටුව පසු කර ගන්නොරුව හරහා සෙංකඩගල පුරවරය අල්ලාගැනීමට ඊට දින කිහිපයකට පසු ඉංග්‍රීසි හමුදාවන්ට හැකිවිය.

සිංහලේ අවසාන රජුගේ  සිහසුන
පෙබරවාරි 28 වන දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතභාර ලේඛම්ට යවන රහස් ලිපියකද මොල්ලිගොඩගේ මෙම පොරොන්දුව ගැන සඳහන් කරන අතර ඔහු පවසන අයුරින් ඔහුට ඉංග්‍රිසීන් සහ එක් නොවීමට ඇති එකම බාදාව ඒ වන විටත් මහනුවර රජුගේ බල ප්‍රදේශයේ සිටින සිය අඹු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව පමණක් බවය. ඉංග්‍රිසීන් නුවර ආසන්නයට පැමිණිවිට රජු පලා ගිය පසු ඔවුන්ටද පලා ඒමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවද එතෙක් ඉංග්‍රීසි හමුදාවන්ට කිසිදු හානියක් නොකර හිස් වෙඩි පමණක් තබන බවට මොල්ලිගොඩ අධිකාරම පොරොන්දු වූ බවද ආණ්ඩුකාරවරයාද එම ලිපියේ සඳහන් කරයි. ඔහු කියූ අයුරින්ම ක්‍රියා කල බවද හෙතෙම අවසානයේ පවසයි (He afterward faithfully kept his words)

ඩොයිලිට පොරොන්දු වූ පරිදිම මොල්ලිගොඩ අධිකාරම පෙබරවාරි 8 වන දින හතර කෝරලයේ කොඩිය, ලේඛම් මිටිය සහ අනෙකුත් කොරල ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ පැමිණ ඩොයිලි හමුවේ සිය පාවාදීම ස්ථිර කරනුයේ ඒ වන විට ඔහුගේ අඹුදරුවන් සාර්ථක ලෙස රජුගේ බල ප්‍රදේශයෙන් නික්මුනු බව සැලවීමත් සමගය.

කලගුණ දත් ඉංග්‍රීසීන් මාර්තු 2 වෙනි දින උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මොල්ලිගොඩ පලමු අධිකාරම් ලෙස පත් කරයි.

වැඩිකල් නොගොස්ම තමන් රැවටුන බව තේරුම් ගත් ඉංග්‍රීසීන්ගේ කර පිටින් ගොස් බලය ලබාගැනීමට තැත් කල ඇහැලේපොල ඇතුළු සිංහල රදලයන් 1818 නිදහස් අරගලයට අඩු වැඩි වශයෙන් නායකත්වය දුන් මුත් මොල්ලිගොඩ එයට එක්නොවූ අතර තම බල ප්‍රදේශය වූ සතර කොරලයේ ජනතාව එයට එක්වීමෙන්ද වලක්වාලූහ. නැවතත් කලගුණ සැලකූ ඉංග්‍රිසීන් ඔහුට මසකට රික්ස් ඩොලර් 200 ක මාසික විශ්‍රාම වැටුපක්ද සහිතව පල්ලේගම්පහේ මහා අධිකරම් සහ සතර කෝරලයේ දිසාව යන තනතුරුවලට අමතරව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සහ මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයද පිරිනැමූහ.

රජු සමග එකට සිටිමින්ම, පුස් වෙඩි පත්තුකරමින් එදා මොල්ලිගොඩලා සුද්දට පාවාදීමේන් බිලි දුන්නේ සිංහලේ අවසාන රජුව නොව මුලු මහත් තුන් සිංහලයමය. ඉන් වසර 200 ක් ඉක්මවූ පසු 2015 දී මෙදා 'මොල්ලිගොඩලා' එකට ආප්ප කමින් සිටි බවට කට මැත දොඩවමින් ගොස් බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේද පෙර සිටි පාලකයන්ව නොව මුලු මහත් ශ්‍රි ලංකාවමය.

History repeats itself, first as tragedy, then as farce. - Karl Marx 

වර්තමානයේ අප ඉතිහාසයේ ඒ විකාරරූපි (farce) පුනරාවර්තන විදිමින් සිටිමු. මාර්ක්ස් බොනපාට්වාදයට අදාලව කියූ පරිදි නොවී වසර 200 කට පසුවද මෙරටදී එය ඛේදාන්තයක්ම (tragedy) වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මක් නිසාද යත් මේ දිවයින වනාහී මේ ලෝකයේ වෙන කොහේවත් සිදු නොවන ආකාරයේ සිදුවීම් සිදුවන අරුම පුදුම මිනිසුන් වෙසෙන රටක් බැවිනි.

මූලාශ්‍ර
  • Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917.
  • Sri Wickrema, Brownridgg and Ehelepola, Tennakoon Vimalananda, 1984
  • The chieftains in the last phase of the Kandyan kindom (Sinhale), Revised and Enlarged edition, Ananda S. Pilimatalavuva, 2008


Tuesday, January 5, 2016

මඩු වලිගෙන් තැලිය යුතුව තිබූ පැරණි කවීන්

 රට පර සතුරන්ගෙන් මුදවා ගැනීම, සහ එහි දියුණුව සඳහාම පමනක් සිය කාලය යෙදවූ, අසල්වැසි රටක කුමන්ත්‍රන තුලින් සිහසුන ලද රූකඩ පාලකයන් නොවූ බැවින් රට කල යුතු ආකාරය ගැන නියෝග අන් අයගෙන් නොලැබූ සහ ඒ සඳහා සිය කාලය මිඩංගු කල යුතුව තිබූ බැවින්,  එවකට සිටි රජ දරුවන්ට අසභ්‍ය කවි රචනා කිරීමේ වරදට මඩු වලිගෙන් තැලීමට නොහැකි වූ පැරණි කවීන් කිහිප දෙනෙකුගේ නිර්මාණ කිහිපයක් කාලීන වැදගත් කමක් ඇති බැවින් මෙසේ උපුටා දැක්වීමට සිතුනි. මෙවැනි නිර්මානශීලි කවි බෙහෙවින් කෝට්ටේ යුගයේ කල වෙනත් සංදේශ කාව්‍ය වලද එනමුත් කිහිපයක් පමනක් මෙහිදී උපුටා දක්වමි.

ධාතුසේන රජුට මඩු වලිගෙන් තලා හදා ගැනීමට බැරිවූ පුත් කාශ්‍යප කරවූ නිර්මාණයක්
මයුර සන්දේශය

ළඳුන් කැකුළු තන පට බැම්මකින් යුතේ
එවන් දඟේ දුටුවන්ද බැඳ ලතේ
මෙයින් මිදී මුන් පැලඹුම් ලැබුණ හොතේ
සෙදින් මෙමුළු ලොව වුව බැඳලතී සිතේ

අර්ථය: - ළඳුන්ගේ රෙදි බැම්මකින් යුත් තන එවැනි හිරවීමක සිටත් දුටුවන් බැඳදමන්නේ නම් එයින් මිදී මොවුන් වැජඹීමක් ලදහොත් මේ මුළු ලෝකය වුවත් වහා බැඳදමතියි සිතෙයි

යුගය සහ කතෲ: - ගම්පොල යුගයේ 5 වන බුවනෙකබාහු රජු කල. කවීශ්වර නම් විරුදාවලි ලත් කවියෙකු විසින් කරන ලද බව ඇතැම් පිටපත් වල කියවේ.

තිසර සන්දේශය

ඉන් ගිය කල තගෙ මෙයතුරට රවටන
මෙන් අඟනෝ ඇවිදිති සුරඟන වටන
උන් පියවුරු දුර දැක හසුනැයි නටන
මන් තුටු කර නොලගව මාපාපටන

අර්ථය: - එතැනින් ගිය කල්හි තොපගේ මේ ගමනට විහිළු කරනු මෙන් සුරංගනාවන් බඳු කාන්තාවෝ ඇවිදිති. උන්ගේ පයෝධර දුරදී දැක නටන්නා වූ හංසයනැයි සිතා සතුටු කොට මාපාපටුනෙහි නොලගින්න.

යුගය සහ කතෲ: - කෝට්ටේ යුගයේ 6 වැනි පැරකුම්බා රජු කල යතිවරයෙකු විසින් කල බව සැලකේ. ඇතැම් පිටපත් වලට අනුව වීදාගම හිමියන් විසින් රචිතය

සැළලිහිණි සන්දේශය

සලා දුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලාගෙන කනත
කලාපිලා නොව ඇල් ගෙවි කෙළින ඉත
ධාතුසේන රජුට මඩු වලිගෙන් තලා හදා ගැනීමට
බැරිවූ පුත් කාශ්‍යප කරවූ නිර්මාණයක්
බලා පලා යව අස්වන් ගුරුළු කෙත

අර්ථය: - දිලිසෙන්නා වූ පියොවුරු වල රතු නෙළුම් රේනු තවරාගෙන, පිපුනාවූ නිල් මහනෙල් කනෙහි පැලද ගෙන, කෝලාහලයන්ගෙන් පීඩා නොවිද හිතවත්ව ඇල් ගෙවිලියන් ක්‍රීඩා කරන, වපුරන ලද ගුරුළු කෙත බලා වහා යන්න.

යුගය සහ කතෲ: - 6 වැනි පැරකුම්බා රජුගේ කාලයේදි (කෝට්ටේ යුගය ) තොටගමුවේ රාහුල හිමියන් විසින් විරචිතය

ගිරා සන්දේශය 

දිය කෙළි වැනුමකදී: -

කෙළනා ලිය පියොවිරු බීත ගැසෙමිනි
විදුනා රළ රොන් වැද වැද වෙසෙසිනි
සොබනා සොලි වුවනත නඳ විලසිනි
රදනා අම කිරණින් පිරි සඳ වැනි

අර්ථය: - ළඳුන්ගේ පියවුරු පෙදෙසේ රළ වැදී සිහින් දිය බිඳු මුහුණට විහිදෙයි. එවිට මුහුණින් රැස් විහිදෙන වැන්න. එමුහුණ අමා කිරණින් බබළන පුන්සඳ වැනි වේ.

යුගය සහ කතෲ: - කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජු කල.