"
මීමුරේ" මෑතක් වනතෙක්ම ස්වභාවික පරිසරය විනාස නොකර සංචාරයේ යෙදුන පරිසර හිතකාමි අතලොස්සක් වූ සංචාරකයන්, ගවේෂකයන් සහ ස්වභාව විද්‍යාඥයන් කිහිප දෙනෙකු හැරෙන්නට මෙරට බහුතරයකගේ අවධානයට එතරම් ලක් නොවූ හුදකලා ගම්මානයක්ව පැවතිනි. 1990 දශකයේ අවසාන අවධියේ පළමු වරට මා
රණමුරේගම,
නාරංගමුව හරහා වනාන්තරය තුලින් වැටී තිබූ අඩි පාර ඔස්සේ
මීමුරේ ගමට යන විටද අප වැනි සංචාරකයන් යනු ගමට කලාතුරකින් පැමිණෙන මුළු ගමම විමසිලිමත් වන ආගන්තුකයන් පිරිසක් විනා කන්නට යමක් දී ඉන්නට තැනක් දී ඔවුන් හට මුදල් ටිකක් ලබාගත හැකි ෆන් ගන්නට
මීමුරේ එන 'කැසිලිකාරයන්' ලෙස ගම්මුන් සැලකුවේ නැත. ඉදුම් හිටුම් කෑම බීම කැමැත්තෙන්ම සපයා දී ඔවුන් පැරණි උඩරට ගමක
රොබට් නොක්ස් සියවස් ගනණකට පෙර සඳහන් කල සිංහලයාගේ ආගන්තුක සත්කාරය විසිවන සියවස ගෙවී යමින් තිබූ එම අවදියේත් මැනවින් අප හට නැවත වරක් පසක් කරවීය. නමුදු අද වන විට
මීමුරේ සහ වෙනත් ඒ අවට පිහිටි බොහෝ ගම්මාන 'ටුවරිස්ට් ඩෙස්ටිනේෂන්ස්' වී අවසානය. සිනමාවේ කුඩා දරුවන් විකුණා සල්ලි ගරන කසිකබල් චිත්‍රපට කාරයකුගේ "කෙහෙල්මල් අරණක්" නිසා බාහිර ලෝකයට අනවශ්‍ය ලෙස විවෘත වූ
මීමුරේ ගම වසර කිහිපයකට පෙර රට පුරා දස දෙසින් පැමිණෙන සංචාරකයන්ට "වීක් එන්ඩ්" එකක යායුතුම ස්ථානයක් බවට පත් ව තිබුණි. යාන්තම් එක් වාහනයක් පමණක් යා හැකිව තිබූ ජීප් පාරක් වූ මාර්ගය ලේලන්ඩ් බස් පිටින් සෙනග දෙපසට අදින "ගාළු පාරක්" වී තිබුන අයුරු එම අවදියේ
මීමුරේ දෙසට නොයා
හීන් ගඟේ දකුණු ඉවුරේ වූ
කුඹුක්ගොල්ල ගමට ගිය අවස්ථාවක අපට දැක ගන්නට හැකි විය. අද වන විටද අඩු වැඩි වශයෙන් එම තත්වය එලෙසමය.
 |
| ලකේගල පාමුල පිහිටි මීමුරේ ගම |
තරගයට මෙන් මෙරට සංවේදී පරිසර කලාප "රන් දෙපැයේ රූපවාහිනි සෝප් ඔපෙරා" හරහා ලෝකය දකින ප්‍රේක්ෂකයන් වෙත හෙළි කරන ටිවී චැනල් වල "ට්‍රැවල් විත් අරයා මෙයා" වැඩසටහන් මෙරට අනෙකුත් බොහෝ සංවේදී පරිසර කලාප වෙත අත්කර දී ඇති ඉරණම දුම්බර අඩවියටද නොනැවතී අත් කර දෙමින් සිටි. පරිසර කලාපයකට දරාගත නොහැකි අවිධිමත් සංචාරක කර්මාන්තය හේතුවෙන් කෙමෙන් විනාශ වන දුම්බර අඩවියේ පරිසරය මෙන්ම අව්‍යාජයයි තවමත් පත්තර පිටුවල පමණක් ලියවෙන ගැමි දිවියද මේ වන විට උඩු යටිකුරු වී ඇත. එනසාල් වතු හිමි ඇතැම් ධන කුවේරයන් වන මැද කර ඇති ඉදි කිරීම්, මාර්ග තැනීම් පිළිබඳව මේ වන තෙක් කිසිදු පරිසර සංවිධානයක් හෝ කතා කර ඇති බවක්ද නොදුටුවෙමි. මෙයට පෙර ලිපියෙන්ද අවධාරනය කල ලෙසට ජඩපාලනය නකල්ස් ස්වාරක්ෂක කලාපයද තොපි කැමති ඕන මගුලක් කරගනිව් කියමින් කට්ටි කර දෙස් විදෙස් ව්‍යාපාරිකයන් හට විකුණා දමමින් සිටි. ජනවසමට අයත් කර ගත් තේ වතු වල තිබූ පැරණි වෘක්ෂයන් "එදා වේල ටුවර්ස් පාණ්ඩුවේ" පොකට් මනී සදහා කුට්ටි කර ගහට ගහක් හමුවන්න මොරටු යමින් සිටී.
 |
| මීමුරේ ගමේ වෙල් යාය අසල පිහිටි කුඩා දේවාලය |
මීමුරේ ගම්මානය සහ
දුම්බර රටේ වර්තමාන
මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි අනෙකුත් පැරණි ගම්මාන පිළිබඳව 19 වන සියවසේ මුල් වරට තොරතුරු ඉදිරිපත් කරන්නේ
ජෝන් ඩේවි සිය සංචාර සහ මෙරට වැසියන් පිළිබඳව ක්‍රි.ව. 1821 ප්‍රකාශයට පත් කල සිය කෘතියේදී විය හැක.
මහනුවර සිට
තෙල්දෙනිය, මැද මහනුවර, හංවැල්ල හරහා
වෙඩි ලුණු ගුහාවට (Nitre-cave) සහ
මීමුරේ ගමට
ඩේවි පැමිණි ගමන පිළිබඳව විස්තර ඉදිරිපත් කිරීම මතුවට කල් තබා මේ ලිපියෙන් අප පෙර ලිපියේ දිගුවක් ලෙස
නකල්ස් ලෝක උරුම කලාපයේ ස්වාරක්ෂක කලාපයේ (Buffer Zone) නැගෙනහිර දෙසට වන්නට
ගංදෙක කෝරලය සහ
කන්ද පහල කෝරලය යන පැරණි බෙදීම් තුල හමුවන ගම්මාන කිහිපයක් පිළිබඳව එවකට මහනුවර විනිශ්චයකාර ධූර තැන්පත්
A.C. ලෝරි විසින් වර්ෂ 1896 දී තබා ඇති සටහන් අශ්‍රයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. එහි උතුරු මායිමට වන්නට පිහිටි ගම්මාන පිළිබඳව සහ නැගෙනහිර දෙසට වන්නට
ලග්ගල පල්ලේසිය පත්තුව තුල පිහිටි ගම්මාන කිහිපයක් පිළිබඳව තොරතුරු මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපිය කියවීමට>>
19 වන සියවසේදී දුම්බර රට)
 |
| දෝතළුගල මතට පෙනෙන පැරණි තේ වගාව සිදු කර අතහැර දැමූ බිම්. අද වන විට සංචාරක නවාතැන් කිහිපයක් ඉදිවී ඇති මෙම ඉඩම් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බදු දීමට නියමිතව ඇත. |
ගංදෙක කෝරලේ
- මීමුරේ>> මීමුරේ ආරච්චි වසමට මීමුරේ, දන්දෙනිකුඹුර, කයිකාවල සහ ගලමුදුන යන ගම් අයත් වේ (කහටගහවෙල මීමුරේ ගම තුල පිහිටි කුඩා ගමකි.). මීමුරේ ගම අසලින් දිඹිගලේ ඔය සහ උඩවන්නිමානේ ඇල ගලා යන අතර ඇඳිරිගලේ කන්ද සහ සුදුවලල්ලේ ගල්කන්ද යන කඳු මීමුරේ ගම අසල පිහිටා ඇත. 1881 දී 168 වූ මීමුරේ ජනගහණය 1891 වන විට 157 දක්වා අඩු වී තිබුණි. එහි ඒ වන විට අතහැර දමා තිබූ කෝපි වගාවක් තිබී ඇත.1798 කාලයේ මීගස්තැන්නේ අධිකාරම මීමුරේ රටේ මහත්තයා තනතුර දැරීය.
- කයිකාවල>> මහ ඔය හෙවත් හීන් ගඟ ගම අසලින් ගලා යයි. තලබෝ සහ ලකේගල කන්ද යන කඳු කයිකාවල අසල පිහිටා ඇත. ජනගහණය වර්ෂ 1881 දී 88 වූ අතර 1891 දී 92 විය.
- දන්දෙනිකුඹුර>> රාවණා ඇල්ල සහ උඩවන්නිමානේ කන්ද යන කඳු ගම අවට පිහිටා ඇත. 69 ක් වූ 1881 එහි ජනගහණය 1891 වන විට 71 දක්වා වැඩි වී ඇත.
- ගලමුදුන>> ගලමුදුන ගමෙහි ජනගහණය1881 දී 80 සහ 1891 දී 120 විය. දියපිහිල්ලකඳුර, හෙල්ලෙනාගල, කිණිහිරිගල, රදාගල, තුනිස්ගල සහ වරවාගල යන කඳු ගම වටා පිහිටා ඇත.
- උඩ ගලදෙබොක්ක>> කළුගල ආරච්චි වසමට අයත් වර්ෂ 1881 දී ජනගහණය 157 ක් සහ 1891 දී 220 වූ ගම්මානයකි. නෙළුවේකඳුර සහ මල්ගස්පතනේ කන්ද ගම අසල පිහිටා ඇත.
 |
| ගංදෙක කෝරලයට (දම් පාට) සහ කන්ද පහල කෝරලයට (නිල් පැහැය) අයත් ගම් වල පිහිටීම. |
- වදවලකන්ද>> උඩවෙල ගම තුල පිහිටි කුඩා ගමකි. 1891 ජන සංගනණයේදී පුද්ගලයන් 161 සිට ඇත.
- උඩ ඉලුක>> 1891 වසරේදී පුද්ගලයන් 81 දෙනෙකු සිටි ගමකි.
- කළුගල>> කළුගල, පදුපොල සහ ගලදෙබොක්ක එක් ආරච්චි වසමකට අයත් වේ. කළුගල් ඔය ගම හරහා ගලා යයි. කළුබට ඇල සහ කටුකිතුලෙකන්ද අසල පිහිටි කඳු වේ. ජනගහණය 1881 දී 277 සහ 1891 දී 129 විය.
- කන්දේගම හෙවත් කන්දේගම්මැද්ද>> - වර්ෂ 1881 දී 369 සහ 1891 දී 171 කුල හීන ජනයා විසූ දුරයා කෙනෙකු යටතේ පාලනය වූ ගමකි.
- ගැරඬිගල>> - පල්ලේවෙල ආරච්චි වසමට අයත් වූ ගමකි. වර්ෂ 1881 දී 109 ක සහ 1891 දී 112 ක ජනගහණයක් වාර්තා වී ඇත.
- නාරංතලාව>> - හංවැල්ල ආරච්චි වසමට අයත් ගමකි. නාරංතලාව ඔය ගම හරහා ගලා යයි. 1881 ජන සංගනණයේදී පුද්ගලයන් 81 වාසය කර ඇත.
කන්ද පහල කෝරලේ
 |
| ගංදෙක කෝරලයට අයත් ගම් වල පිහිටීම. |
- පල්ලේ ගලදෙබොක්ක>> මැදකැලේ ආරච්චි වසමට අයත් වර්ෂ 1881 දී ජනගහණය 129 සහ 1891 දී 170 වූ ගොවි කුල ජනයා සහ වහල් ජනයාගෙන් පැවත එන්නන් (Descendants of slaves) වාසය කරන කඳුකර ගම්මානයකි. ඇඹිල්දුමේකඳුර කන්ද ගම අසල පිහිටා ඇත. වී වගාවට වඩා හේන් වගාව ප්‍රධාන වන අතර කපු වගාවද සිදුකරයි.
- උඩත්තව>> උඩත්තව ගම එම නමින් යුත් ආරච්චි වසමට මැදකැලේ, බද්දේමුල්ල, වෙලේමුල්ල සහ පල්ලේ ගලදෙබොක්ක ගම් සමග අයත් වේ. වැලිමුල්ල එම ගමට අයත් කුඩා ගබඩාගමකි. ආඳාවල ඔය ගම හරහා ගලා යයි. 685 වූ 1871 ජනගහණය 1881 දී 248 කට අඩු වී 1891 දී 196 බවට පත් වී ඇත. ගොවි, පන්නයෝ සහ අනිලබද්දේ පුද්ගලයන් වාසය කර ඇත. බටුමුල්ලේ උල්පොත මගින් කුඹුරු වගා කරයි. කපු වගාවද සිදු කරයි. වෑවරගල (Wewaragala) ලෙසින් හඳුන්වන සැතපුමක් පමණ දිග සමතලා ගල් පොත්තක් ගමට උතුරින් වැව අසල පිහිටා ඇත.මෙම ගමේ වැසියන් බිම්තැන්නේ සමන් දේවාලයට සේවා සපයයි.
 |
| මීමුරෙ නිවසක් |
- වැල්ගහවාඩිය>> ඉළුක, ඇටඹේගොල්ල සහ උල්පොතගම අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි. බටකන්ද සහ ගොරකගහ උල්පොත යන කඳු ගම අසල පිහිටා ඇත. 1881 දී 97 දෙනෙකු සහ 1891 දී 50 දෙනෙකු මෙම ගමෙහි වාසය කර ඇත. පන්නයෝ, වහල් ජනයාගෙන් පැවත එන්නන් මෙන්ම ගබඩාගම පුද්ගලයන්ද වාසය කර ඇත.
- මැදකැලේ>> වී වගාවට වඩා කුරක්කන් වගාව සිදු කරන සමතලා භූමියක් සහිත ගමකි. කපු වගාවද සිදු කරයි. වර්ෂ 1881 දී 73 වූ මෙම ගමේ ජනගහණය1891 දී 85 ලෙස දක්වා ඇත. වහල් ජනයාගෙන් පැවත එන්නන් වාසය කරයි.
- බද්දේමුල්ල>> වර්ෂ 1891 දී පුද්ගලයන් 110 වාසය කල ගම්මානයකි.
- තෝරපිටිය>> පල්ලේවත්තේ ආරච්චි වසමට අයත් වහල් ජනයාගෙන් පැවත එන්නන් 1881 දී 32 සහ 1891 දී 41 වාසය කල ගමකි. වී වගාවට වඩා කුරක්කන් වගාව සිදු කරයි.
 |
| මීමුරේ මැද මිදුල සහිත පැරණි නිවසක් |
1956 වසරේ දුම්බර කඳුකරයේ ගවේෂණයක නියැලුනු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කල විද්‍යඥයන් පිරිසක් අතරින් එම කණ්ඩායම නියෝජනය කල භූ විද්‍යාඥ P.G. කුරේ මහතා පසු කාලීනව ප්‍රකාශයට පත් කල The Knuckles Massif - A Portfolio කෘතියේ පෙරවදනට එතුමා ඉංග්‍රිසි භාෂාවෙන් ඇතුලත් කරන වචන කිහිපයකින් මෙම ලිපිය අවසන් කරමු.
"The Knuckles still remains, perhaps fortunately, a little opened up area of Sri Lanka, and much of it still retains its pristine beauty"
එහෙත් අද හෝ නුදුරු අනාගතයේ කිසිවෙකුට දුම්බර කඳුකරය සම්බන්ධයෙන් සහ එහි කඳු අතර සැගවුණු පැරණි ගම් පිළිබඳව නැවතත් එලෙසින් කිව හැකි වනු ඇතිද?
 |
| මීමුරේ නිවසක් |
මූලාශ්‍ර
- A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
- A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
- Nomination of The Central Highlands of Sri Lanka: Its Cultural and Natural Heritage for inscription on theWorld Heritage List, Submitted to UNESCO by the Government of the Democratic Socialist Republic of Sri Lanka 1 January 2008
- An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821