Monday, October 31, 2016

මාතුල දනව්වේ අලුලෙන, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සහ මාතලේ අලුවිහාරය

මාතලේ දිසාවේ මාතලේ නගරය ආසන්නයේම පාහේ නගරයට උතුරු දෙසින් පිහිටි වර්තමානයේ අලුවිහාරය ලෙස හැඳින්වෙන ගල් ලෙන් වලින් සමන්විත විහාරයෙහි වළගම්බා රජු කල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල බව ප්‍රකට මතයයි. එහෙත් බොහෝ විද්වතුන් එය එලෙසම පිලිගැනීමට මැලිවන්නේ ඒ පිළිබඳව සඳහන් වන මූලාශ්‍ර එම සිදුවීමෙන් බොහෝ කලකට පසු ලියැවුන වංශ කතා වන බැවිනි.ජනප්‍රවාදයේ සහ පසුකාලින වංශ කතා වල පමණක් දැක්වෙන මාතුල දනව්වේ අලුලෙණ යන්න මෙම අලුවිහාරය ලෙස පිළිගැනීමට ප්‍රබල සාධක නොමැති වීමද තවත් හේතුවකි. මෙරට පැරණිම වංශ කතා වන මහාවංශය සහ දීපවංශය සඳහන් කරන්නේ ත්‍රිපිටකටය සහ එහි අට්ඨ කතාව පෙර සිට මහා ප්‍රඥා ඇති භික්ෂුන් කට පාඩමින් ගෙන ආ මුත් වළගම්බා රජු කල සිටි භික්ෂුන් අනාගතයේ මිනිසුන්ගේ පරිහාණිය දැක ධර්මයෙහි චිරස්ථිති පිණිස එය පොත් වල ලිවූ බව පමණි. එය සිදුවූ ස්ථානයක් ගැන එම වංශ කතා වල සඳහන් නොවේ.

ක්‍රි.ව. 1266 දී ලියවුන ලෙස සැලකෙන පූජාවලිය පළමුවරට වළගම්බාරජු දවස පන්සියයක් රහතන් වහන්සේ අලුලෙන වැඩහිඳ පොත් සංගායනා කල බව පවසයි. ක්‍රි.ව. 1390 දී ලියැවුනු ශාසනාවතාරය හෙවත් නිකාය සංග්‍රහය උපාලි තෙරණුවන්ගේ පටන් ශිව නම් ස්ථවිර නමක් දක්වා වූ තෙරණුන් වහන්සේලා තිස් අට නමකගේ සංඝ පරම්පරාව ඔවුන්ගේ නම්ද සමග ඉදිරිපත් කරමින්, ඔවුන් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපද අදිපතියෙකුගේ ආරක්ෂාව සහිතව, පන්සියයක් රහතුන් වහන්සේ මාතුල දනව්වේ අලු ලෙන වැඩ හිඳ පොත් වල ලියවූ බව පවසයි. රාජරත්නාකරයද (1542 ත් 1543 අතර කාලයේ ලියා ඇත) එලෙසම එය විස්තර කරන අතර 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ ලියවුන අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන රැස්වූ පන්සියයක් රහතන් වහන්සේලාට ප්‍රධාන වූ මහාවිහාරබද ථූපාරාම නිවාසී කුන්ත ගත්ත තිස්ස මහ රහතන් වහන්සේ පිළිබඳවද අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරක් සමග ඉහත තොරතුරුම ඉදිරිපත් කරයි.

මාතුල දනව්ව යනු මාතලේද?
මෙරට පැවති විවිධ ප්‍රදේශ වල සීමා විස්තර වන කඩඉම් පොත් නමින් හඳුන්වන පැරණි ලේඛන අතරින් පැරණිම කඩඉම් පොතක් ලෙස සැලකෙන ගම්පල යුගයේ (1341-1408) රචිත බවට විශ්වාස කරන ශ්‍රීලංකාද්වීපයේ කඩඉම් පොතේ මාතලේ රට හඳුන්වන්නේ 'මහතලේ' ලෙසිනි එය මායා රටට අයත් රටක් ලෙස එහි දැක්වේ. පසුකාලීන කඩඉම් පොත් ලෙස ගැනෙන ත්‍රි සිංහලයේ කඩඉම් පොතේ 'මාතලේ' ලෙසත් ලක්වීදිය කඩඉම් පොතේ 'මාතලය' ලෙසත් සඳහන් වන මෙම රට පිහිටි රටට අයිති බව ඒවායෙහි දැක්වේ. එසේම මාතලේ කඩඉම් පොතේ සහ කුරුණෑගල් නුවර විස්තරයේද මෙම පෙදෙස හැඳින්වෙන්නේ 'මාතලේ' ලෙසින්මය. සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙනි ශිලා ලේඛනයේ (ක්‍රි.ව. 1471) 'මාතලේ අටසිය පත්තුව' යන සඳහනක් එයි.  මහනුවර නාථ දේවාල සෙල්ලිපියට අනුව ජයවීර මහවැඩඋන්තැන නම්වූ මහනුවර පාලකයකු විසින් පෘතුගීසීන් සමග යුධ වැදීමට ඉදිරිපත් වූ 'මාතලෙ' ප්‍රාදේශිය පාලකයා ඇතුළු පිරිසිකට ලබා දුන් වරප්‍රසාද ගැන සඳහන් කිරීමේදී නැවතත් ශිලා ලේඛන වල මාතලේ පිළිබඳ වූ සඳහනක් අපට හමුවේ.
වංශ කතා වල 'මහතලා' පෙදෙස ගැන පළමුව සඳහන් වන්නේ මානවම්ම රජු (ක්‍රි.ව. 684-718) විසින් එහි කදම්බගොන නම් විහාරයක් කරවා පාංශුකූලික භික්ෂුන්ට පිරිනැමූ බව කියවෙන මහාවංශ පාඨයත් සමගය. ඉන් අනතුරුව සෙනරත් රජු කල 'මාතුල රටවිජයපාල කුමරු යටතේ පාලනය වූ බව එහිම සඳහන් වේ. රාජාවලියේ එන සඳහනකට අනුව යාපාපටුන සිටි ආර්යචක්‍රවර්ති රජු ගම්පල සහ කෝට්ටේ රාජධානි වලට පහරදීමට පැමිනීමේදී 'මාතලේ' වාඩි ලා ගත් බව පැවසේ.
මේ සියලු සාධක පිළිබඳව සලකා බැලීමෙන් සහ කඩඉම් පොත් විමර්ශණය කිරීමෙන් අපට නිගමනය කල හැකි වන්නේ මාතලේ, මාතලෙ, මහතලා, මාතුල යන සියලු හැඳින්වීම් අවම වශයෙන් දඹදෙනි යුගයේ සිටවත් එකම ප්‍රදේශයක් අරබයා භාවිතා කර ඇති බවත් එය වර්තමාන මාතලේ දිස්ත්‍රික්කය (මුල් යුගයේදී ලග්ගල ප්‍රදේශය හැර ) ප්‍රධාන කොටගත් මහනුවර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කොටසුත් ඇතැම් කාල වලදී ඇතුලත්ව සීමා නිර්ණය කර තිබූ බවත්ය. මේ අනුව පසුකාලීන වංශ කතා වල සඳහන් මාතුල දනව්ව යනු වර්තමාන මාතලේ පෙදෙස බව පෙන්වීමට සාක්ෂ්‍ය ඇත.
අලුවිහාරෙ යන ගම ශ්‍රි මහා බෝධිය වැඩම්මවීමේදී මෙරටට පැමිණි මුදලිවරු අතරින් ශ්‍රි විෂ්ණු බ්‍රහ්මණරාල පදිංචි වූ ගම ලෙස මාතලේ කඩඉම්පොතේ සඳහන් වේ. මෙරට බොහෝ මහනුවර යුගයේ විහාරස්ථාන වලට නම් යෙදීමේදී ගමේ නමින් එය හැඳින්වීම දක්නට හැකිය. වර්තමාන විහාරයට එම නම ගමේ නමින් ආවා වන්නටද බැරි නැත. කටාරම් කෙටූ ගල් ලෙන් සහ ඒවායේ ඇති පැරණි බ්‍රාහ්මි ලෙන් ලිපි හැර මෙහි දැනට දැකිය හැකි සියලුම දේ පාහේ මධ්‍යතන යුගයෙන් පසු සිදුවූ ඉදිකිරීම් ලෙස පෙනි යයි. මුල් බ්‍රාහ්මි ලෙන් ලිපි 5 ක් පමණ මෙහි ඇති අතර පරණවිතාන මහතා ඉන් ලිපි තුනක් කියවා පල කර ඇත. උපශක ශුමනගේ සහ දෙව තෙරගේ ලෙන සඟ සතු කල බව එක් ලිපියකින් කියවෙන අතර තවත් ලිපියක ශිවගුත යන නම පමණක් සඳහන් වේ. තුන්වන ලිපියෙන් වශ සහ ශුම යන අය කරවූ ඇළක් ගැන කියවී ඇතත් එහි අකුරු කිහිපයක් මැකී ඇත. පසුව සොයා ගත් වෙනත් ලිපි දෙකක් මාලිනි ඩයස් මහත්මිය  විසින් පළකර ඇති අතර ශදගුතගේ ලෙන සඟ සතු කල බව සහ බත මොගලගේ දිශමුක ලෙන ලෙස ඒවායේ සඳහන් වේ.
කෙසේ වුවද අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන ලෙස හැඳින්වූ ස්ථානය නම් වර්තමාන අලුවිහාරය බව පිළිගැනීම නිවැරදි විය හැක්කේ මාතුල දනව්ව නමින් හැඳින්වූ වෙනත් ප්‍රදේශයක් පිළිබඳව එය ලියවෙන අවධියේ අනෙකුත් මූලාශ්‍රයක සඳහන් නොවන නිසා සහ වෙනත් අලුලෙනක් එම ප්‍රදේශයේ හමුනොවන බැවිනි. සිදුවීම සිදුවීමෙන් සියවස ගණනාවකට පසු මුල් වරට සඳහන් වන මූලාශ්‍රයකින් පැහැදිලි නිගමනයකට ඒම එතරම් සුදුසු නොවන බැවින් වර්තමාන මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ බවට නිසැකවම කිව නොහැක. එහෙත් බුදු දහම මෙරටට හඳුන්වාදුන් යුගයේ මෙම ගල් ලෙන් සඟ සතු කල බවට සාක්ෂ්‍ය ඇති බැවින් මෙය එම කාලයේ සිටම පැවතෙන පුද බිමක් බව නම් අවිවාදිතය.

මෑත ඉතිහාසය
මහනුවර යුගයේ හෝ ඒ ආසන්න යුගයකදි රචිත ලෙස සැලකෙන නම්පොතෙයි මෙම විහාරය ගැන සඳහන්ව න්නේ ආලෝක විහාරය ලෙසිනි. ඉංග්‍රීසි ලේඛකයන් කිහිප දෙනෙකුම මෙම විහාරය ගැන සටහන් තබා ඇත. මේජර් ෆෝර්බ්ස් 1840  දී මේ ස්ථානය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරමින් මෙහි පැවැති පැරණි විහාරය වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය හමුදා විසින් විනාශ කල බවත් පෙර පැවති විහාර 8න් 2 ක් පමණක් නැවත ඉදිකර ඇති බවත් පවසයි. ඔහු විහාර (Temples) යන්නෙන් ගුහා වල ඉදිකර තිබූ ලෙන් විහාර අදහස් කල බව පෙනී යයි. එමර්සන් ටෙනන්ට් ද වර්ෂ 1859 මේ ස්ථානය පිළිබඳ කෙටි විස්තරයක් ඔහු විසින් ශ්‍රි ලංකාව පිළිබඳ ලිවූ සවිස්තරාත්මක ග්‍රන්ථයේ ඉදිරිපත් කරයි. එඩ්වඩ් මුලර් වර්ෂ 1883 දී මෙම ස්ථානයේ ඇති ලෙන් ලිපි කියවීමට උත්සහා දරා ඇති මුත් ඔහු පවසන්නේ ඒවා බෙහෙවින් ගෙවී ඇති බැවින් කියවීමට නොහැකි වූ බවය. එවකට දැකිය හැකි වූ විහාරය ඉතාමත් මෑතකදි තනා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මධ්‍යම පලාත ගැන තත්කාලීන තොරතුරු ඇතුලත් ලෝරිගේ ගැසටියර් ග්‍රන්ථය (1898) මෙම ස්ථානයේ ඇති උඩ විහාරය සහ පල්ලේ  විහාරය ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය හමුදා කල විනාශයෙන් පසුව 1820 දී රජය මගින් රික්ස් ඩොලර් 500 වියදම් කරවා ඒවා නැවත පිළිසකර කල බව පවසයි.
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • විවරණ සහිත නම් පොත හෙවත් විහාර අස්න, පන්නිල ශ්‍රී සාරානන්ද සහ පණ්ඩිත ඕපාත ශ්‍රී සරණංකර, 1956
  • රාජරත්නාකරය, කරුණාදාස රූපසිංහ සංස්කරණය,1995
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • පූජ්‍ය එල්ලාවල හිමියන්ගේ විවිධ ලිපි එකතුව - 2, ජාතික උරුමයේ පිය සටහන්, එල්ලාවල මේධානන්ද හිමි, 2010
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941
  • Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Gazetteer of the Central Province of Ceylon, A.C. Lawrie, 1896
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • Historic Matale, 1984
  • Epigraphical Notes Nos. 1-18, Malini Dias, 1991
  • Aluvihara Cave Temple, Aluvihare Saranankara, 2011
  • The Deepavamsa, Hermann Oldenberg, 1879
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions, Senarat Paranavitana, 1970
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VII, Containing slab inscriptions,rock inscriptions and pillar inscriptions of the Dambadeniya, Kurunagala and Gampola periods, Sirimal Ranawella, 2014
  • Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VIII, Containing slab inscriptions, rock inscriptions sannasas belonging to the Jayawardhanapura Kotte Period, (1400-1521 AC), Mendis Rohanadeera, 2007
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.

Saturday, October 22, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 1 - බිල්ලන් වනසන බිල්ලෑවේගල


වර්තමානයේ භරතනාග ලෙන සෙනසුන ලෙසින්ද හැඳින්වෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශයේ පිහිටි කටාරම් කෙටූ ගල්ලෙන් සංකිර්නය (මෙහි කටාරම් කෙටූ ගල් ලෙන් 7 පමණ ඇත.) පිළිබඳව මුල්ම සඳහනක් හමුවන්නේ වර්ෂ 1878 - 1883 කාලයේදී මෙරට ශිලාලිපි පිළිබඳව පුරෝගාමි ගවේෂණයක යෙදුන එඩ්වඩ් මුලර් මහතා 1883 දී පළකල Ancient Inscriptions in Ceylon නම් ග්‍රන්ථයේය. විලච්චි කොරලේ බිල්ලාගල පිහිටි ගල්ලෙනක කොටා ඇති අකුරු පේලි දෙකකින් යුත් ලිපියක නක මහරජ ලෙසින් සඳහන් වන බව එහි සඳහන් වෙයි.
බ්‍රාහ්මි සෙල් ලිපි සහිත කටාරම් කෙටූ ලෙනක්
ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සමාරාම්භක පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් මහතා වර්ෂ 1896 වසරේදි නිකුත් කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවේ නැවතත් මේ ස්ථානය ගැන සඳහන් කරයි. බිල්ලෑවේගල නම් ස්ථානයේ පිහිටි ලෙන් 7 ක ලිපි 7 හෝ 8 ඇති බව එහි විස්තරවේ. එසේම නටබුන් වූ දාගැබක්ද එහි තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
බ්‍රාහ්මි සෙල් ලිපි සහිත කටාරම් කෙටූ ලෙනක්
අනතුරුව 1970 දි Inscription of Ceylon Volume 1, Early Brahmi Inscription නම් ග්‍රන්ථයේ සෙනරත් පරණවිතාන මහතා ඉන් ලිපි 3 කියවා ප්‍රකාශයට පත් කරයි. බත ගුතශ සහ බත ශගමිතශ යන දෙදෙනාගේ ඒකාබද්ධව භාවිතා කල ලෙන සිව්දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට පූජා කල බව ඉන් එක් ලිපියකින් කියැවෙන අතර තවත් ලිපියක සඳහන් වන්නේ බරත නාග ගේ ලෙන සංඝයාට පිදූ බවයි. තුන්වන ලිපියේ උපසක අ[බ]යහ ගේ ලෙන යන්න සඳහන් වේ.  (බත බරත යන විශේෂණ වලින් ස්වාමි [Lord] යන අදහස දෙන අතර උපසක යනු වර්තමාන ව්‍යවහාරයේ උපාසක [Lay - devotee] ලෙස භාවිතා වන වචනයයි.)
බරත නාග ලෙන් පිදූ බව දැක්වෙන සෙල්ලිපිය
තවත් ලෙන් ලිපියක් වර්ෂ 1984 දී ප්‍රකාශයට පත් වූ Epigraphia Zeylanica හත් වන වෙලුම සඳහා කියවා ඉදිරිපත් කරන සද්ධාමංගල කරුණාරත්න මහතා ඉන් උපසක මකහ සහ උපසික තිසය යන දෙදෙනාගේ ලෙන සඝ සතු කල බව පැවසෙන බව පෙන්වා දෙයි. (උපසික යනු උපාසිකා [Female lay-devotee]යන වර්තමාන ව්‍යවහාරයේ පැරණි ස්වරූපයයි)
ලෙන් ලිපියක්
මීට අමතරව මෙතෙක් විධිමත් ලෙස ප්‍රකාශයට පත්වි නොමැති බවට අප අනුමාණ කරන තවත් ලෙන් ලිපි පහක්, පර්වතයක කොටා ඇති එක් ලිපියක් සහ එක් ගිරි ලිපියක් මෙම ස්ථානයේ ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මෑත කාලයේ පිහිටුවා ගත් විහාරයට සම්බන්ධ විවිධ පුද්ගලයන් විසින් එහි  සවිකර ඇති පුවරු වල දැක්වේ. ඉන් කිහිපයක් තවමත් නිරුපද්‍රිතව ඇති මුත් නටබුන් වූ ස්ථූපය අසල බරත නාග ගේ ලිපිය හමුවන ලෙන පිහිටි පර්වතයේ පිහිටා තිබූ උපසක ධතහ ගේ ස්ථූපය ලෙස සඳහන් ලිපිය මෑත කාලයේදි විනාශ කර ඇති බවට සැක පහල වන්නේ එය තිබූ බවට පැවසෙන පුවරුව අසල ගල කිසියම් ආකාරයකින් පුපුරුවා ඇති බවට සාධක විද්‍යාමාන වන බැවිනි. එසේම ඒ අසල පිහිටි වෙනත් පර්වතයක්ද ගල් වෙඩි දමා පුපුරුවා ඇති අතර ඒ සඳහා විදින ලද කුහර තවමත් දක්නට ඇත. පෞරාණික උරුමයක අගය නොදන්නා පරපුරක් ජාතක කල වර්තමාන අධ්‍යාපන ක්‍රමය විසින් පැරණි අකුරු ඇති තැන් යනු නිධන් තැන්පත් කල ස්ථාන ලෙස සිතනා නූගතුන් රැලක් බිහිකර ඇත. එම ඔලමොට්ටලයන් විසින් දවසින් දවස මෙසේ විනාශ කරන්නේ ජාතියක ඉපැරණි අභිමානය විදහාපෑමට ඉතිරි වි ඇති සාක්ෂ්‍ය නොවේද?
විනාශ කල ගිරි ලිපිය?
විහාරාධිපති හිමි නමක්ද වැඩවසන බවට පැවසෙන මෙම ස්ථානයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුබද්ධ බවට පැවසෙන පුද්ගලයන්ද විවිධ කාර්යවල නිරත වෙමින් සිටි. එවන් තත්වයක් මත මෙවන් දෑ කෙසේ සිදුවන්නේද යන්න බලධාරින් අවධානය යොමු කල යුතුය. එසේම වර්තමානයේ විවිධ ඉදිකිරීම් මෙහි සිදුවෙමින් පවතින බැවින් ඒවා මගින් මෙහි පෞරාණිකත්වයට ඇතිවන බලපෑමද සුලුකොට තැකිය නොහැක.

ස්ථූපය දෙසට යොමුවූ ගලේ කෙටූ පැරණි පඩි පේලි
මූලාශ්‍ර

  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Karunaratne S, 1984, Archaeological Survey of Ceylon, Epigraphia Zeylanica being Lithic And Other Inscriptions of Ceylon. Vol VII.
  • Muller E., 1883, Ancient Inscriptions in Ceylon.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa and Central Provinces, Annual Report 1886
  • රණවැල්ල සිරිමල් , 2004, සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය


Thursday, October 13, 2016

රුහුණේ පැරණි පුදබිම් 2 - කොට්ට ඉඹුල්වල පුරාණ රජමහා විහාරය.


 වර්තමාන සබරගමු පළාතට අයත් පැරණි අටකලන් කෝරළයේ කඳවෙල් පත්තුවේ කොට්ට ඉඹුල්වල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත. මෙම විහාරය ඉදිකර ඇති කටාරම් කෙටූ ගල් ලෙන බෞද්ධාගම මෙරටට හඳුන්වාදුන් මුල් යුගයේ ඉදි කල එකක් බවට විශ්වාස කෙරේ. මහාවංශයේ සඳහන් වන දෙවනපෑතිස් රජු කල අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධි රෝපන උත්සවයට චන්දනගාමයේ සිට පැමිණි ක්ෂත්‍රියන්ගේ පාලනය පැවැති ප්‍රදේශය වලවේ ගඟේ ඉහල ප්‍රදේශයේ පිහිටි හඳගිරිය නමින් දැනට හඳුන්වන ප්‍රදේශය ආශ්‍රිතව පැවැති බවට මතයක් ඉදිරිපත් කරන පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එම ප්‍රදේශය සහ අවට විසිරී ඇති චන්දනගාමයේ පැරණි ස්ථාන අතරට මෙම විහාරයද ඇතුලත් කරයි.


කටාරමට පහලින් ඇති සිතුවම්
විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපස ශිලා ලිපි දෙකක් ඇති මුත් එහි සඳහන් කිසිවක් කියවීමට නොහැකි තරමට මැකී ගොස් ඇත. එනමුත් ඉරි වලින් වෙන්කර ලියා ඇති බැවින් එම ලිපි කෝට්ටේ යුගයට අයත් බවට අනුමාන කල හැක. විහාරස්ථානයේ ඇති පුස්කොළ ලියවිල්ලක සඳහන් වන ආකාරයට 6 වන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් බොහෝවිට මෙම ශිලා ලිපි එතුමන් විසින් පිහිටුවන්නට ඇත.  
මාර සෙනඟ නිරූපිත සිතුවමක්
එම ලියවිල්ලේ වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙහි සඟ පරපුර ආරම්භ වන්නේ වලගම්බා රජු කලය. මෙරට ලෙන් විහාර පිහිටි සියලුම ස්ථාන ආශ්‍රිතව පැතිරී ඇති සුලභ ජනප්‍රවාදයක් වන වලගම්බා රජතුමන් සොලී ආක්‍රමණ කාලයේ සැඟවී සිටි ස්ථානයක් ලෙසට කොට්ට ඉඹුල්වල ගැනද එහි සඳහන් වේ. මේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේද සහය ඇතිව එතුමන්  රණගුළුපොලින්(කොට්ට ඉඹුල්වල?) සේනාව රැස්කරවා හම්බේගමුවට ගොස් එහි කොටවෙහෙර වැසි තෙරණුවන්ගේද සහය ඇතිව සේනාව තර කරගනිමින් සොලීන් පලවා හැරීමෙන් පසුව, උපකාර කල මෙහි විහාරාධිපති හිමියන්ට 'අභයරාජ' නම් ගෞරව නාමයක් දුන් බව එහි සඳහන් වේ. එතැන් සිට නොකැඩී පැවතෙන මෑත භාගයේ මෙහි වැඩ විසූ තඹගමුවේ බුද්ධරක්ඛිත තෙරුන් දක්වා සිටි සඟ පරපුරු 22 පිළිබඳවද එහි විස්තර වේ.  කෙසේ නමුත් මෙහි අන්තර්ගතයේ ඇතැම් කරුණු සහ එහි ඓතිහාසිකත්වය පිළිබඳ විශ්වාස කල නොහැක.

මහනුවර සම්ප්‍රදායේ සිතුවම්

මහනුවර සම්ප්‍රදායේ සිතුවම්
 බොහෝවිට එම ලිපිය පාදක කරගනිමින් පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ මෙහි පැරණි දාගැබ පළමුවෙනි භුවනෙකබාහු රජු විසින් කරවන ලද බවය. එසේම 6 වන පැරකුම්බා රජු කරවූ පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙණ, සපරගමු සමන් වෙහෙරසමන් දේවාලය සහ මෙම විහාරය අතර සමන් වෙහෙර පිරිත් නිලය ආදී ආගමික කටයුතු පිළිබඳ සමීප සම්බන්ධතාවයක් තිබී ඇත (එම පිරිත් නිලය අදද පැවරී ඇත්තේ මෙම විහාරයටය). විහාරයේ ඇති තඹ සන්නසකට අනුව මෙහි වැඩසිටි කොට්ට ඉඹුල්වල අනෝමදස්සි තෙරුන් මෙහි පැරණි දාගැබ ප්‍රතිසංස්කරණය කරවා ප්‍රාකාරයක් බැඳ, රිදී 1285 ක වියදමින් ගනේගම අරමණපොළ විහාරයේද 13 රියන් දාගැබක් තනවා, එම විහාරයේම ප්‍රතිමා වහන්සේලා තුන් නමක වැඩ නිමවා එම පින් මහවාසලට අනුමෝදන් කරවූ බැවින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ සිය රාජ්‍යයත්වයෙන් දසවැන්නේ (බු.ව. 2341 එනම් ක්‍රි.ව. 1808) මෙම විහාරස්ථාන දෙකට මඩ අක්කර පහළොස් දහසක ඉඩම් පරිත්‍යාගයක් සිදු කර ඇත.

මකර තොරණ
මැකී ගිය සෙල් ලිපිය
මූලාශ්‍ර
  • සබරගමුව වංශකථාව, 2 වෙළුම
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
ආශ්‍රිත පෙර ලිපි

Monday, October 3, 2016

නැගෙනහිර බොදු උරුමය 4 - රජවරු සහ රජ බිසෝවරු සතර දෙසින් පැමිණි සහ නොපැමිණි සංඝයාට පිදූ රජගල ලෙන්


මිහිඳු මාහිමියන් විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමත් සමග ශාසනයේ පැවිදි වූ බෞද්ධ භික්ෂුන් සඳහා අවශ්‍ය වාසස්ථාන පිලියල කරදීම රාජ්‍යයේ සහ ජනතාවගේ එවකට එක් ප්‍රමුඛ කාර්යභාරයක් වූවාට සැක නැත. වංශ කතා පවසන පරිදි මිහින්තලයේ පිහිටි ගල් ලෙන් වල මිහිඳු හිමි සහ පිරිස ලංකාවේ පළමු වස් කාලය ගත කල බව පැවසේ. ස්වභාවිකව පිහිටි ගල් ලෙන් සකසා භික්ෂුන්ගේ වාසය සඳහා පිළියල කරදීමෙන් භික්ෂු ආවාස මුල් කාලයේ ඇති කල බවට සාධක ඇත. පසුකාලීනව මහාවිහාරය, අභයගිරිය වැනි විශාල ආරාම ඇතිවීමත් සමග වුවද ආරණ්‍යවාසී භාවනානුයෝගී භික්ෂුන් ජනාකීර්න වූ නගරබද ආරාම වලට වඩා වනගත පෙදෙස් වල මිනිස් වාසයෙන් දුරස්ව පැවති ගල් ලෙන් ආරාම වශයෙන් යොදාගන්නට ඇත.   
ගල් බිත්ති වලින් ලෙනක් කුටීර වලට වෙන් කර ඇති ආකාරය
මෙරට විවිධ ප්‍රදෙශයන්හී විශේෂයෙන්ම පහතරට වියලි කලාපයට අයත් ප්‍රදේශ තුල විසිරී ඇති දහසකට නොඅඩු මෙවන් ගල් ලෙන් විශාල ප්‍රමාණයක් ඒවා භික්ෂුන්ගේ පරිහරණයට පූජා කල බව දැක්වෙන බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුනු සෙල් ලිපි සහ ලෙන තුලට වැසි වතුර කාන්දු වීම වැලැක්වීම සඳහා කල කටාරම් වලින් යුක්තව අදද දක්නට හැකිය. මෙම ලිපිය මඟින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ මෙයට පෙරද අප කතා කල රජගල පර්වතය ආශ්‍රිතව ඇති එවන් ගල්ලෙන් ගැන විමසා බලමු.
ඡත්‍රයක හැඩයට සකස් කර ඇති කටාරම් කෙටූ ලෙනක්
ලෙනක ඇඳ තිබූ චිත්‍ර වල ශේෂයන්
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන පරිදි රජගල ආශ්‍රිතව කටාරම් කෙටූ ලෙන් සියයකට වඩා ඇති අතර ඉන් බොහෝමයක ලෙන් පිදූ පුද්ගලයන් විසින් පිහිටවූ සෙල්ලිපි දක්නට ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලෙන් ලිපි 46 පමණ කියවා ප්‍රකාශයට පත් කර ඇති අතර එල්ලාවල මේධානන්ද හිමියන් මෙහි ලෙන් ලිපි 70 ක් පමණ ඇතිබව පවසන නමුදු (මේධානන්ද එල්ලාවල, 2000) ඒ හිමියන්ගේ මෑතකදි පළවූ 'රුහුණේ යටගියාව සහ සෙල්ලිපි' ග්‍රන්ථයේද උපුටා දක්වන්නේ පරණවිතාන මහතා පළකල සෙල්ලිපි 46 පමණි. 
ශාමිකා උපාසිකාවගේ ලෙන
තිශගුතගේ සිහමුඛ ලෙන
ලෙන් පිදූ පුද්ගලයන් අතර දෙවනපිය මහරඣ ගමිණි තිශ නම් රජෙකුගේ පුතුන් වූ මහ අය හා තිශ අය නම් වූ දෙදෙනෙක්ද ඇත. ඔවුන් සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119) රජු (එනම් දෙවනපිය මහරඣ ගමිණි තිස) හා ඔහුගේ පුතුන් ලෙස  (එනම් මහ අය හා තිශ අය) ලෙස C.W. නිකලස්  මහතා හඳුනාගනී. මෙහි එක් ලෙනක් මහ අයගේ බිරිඳ වූ යශශිනි උපාසිකාවට අයත් වී ඇති බව එහි ඇති ලෙන් ලිපියේ පැවසෙන අතර තවත් ලෙනක් ඔහුගේ තවත් බිරියක් වූ බුදදත උපාසිකාවට අයත් ව තිබී ඇත. තිශ අයගේ බිරිඳ වූ උපාසිකා ශාමිකා ට සහ ඔහුගේම තවත් බිරිදක් වූ අබිඣිතට අයත් ලෙන් 2ක් ද මෙහි ඇත. දෙවනපිය මහරඣ ගමිණි තිශ නම් රජෙකුගේ පුතෙකු බව පැවසන  ලඣක රඣ නම් රජෙක් මෙහි ශීත ලෙන් 25 කල බව එක් ලිපියක දැක්වේ. මේ පෙර සදහන් කල මහ අයම විය හැකි බව නිකලස් මහතාගේ අදහසයි. එසේම ඔහු සද්ධාතිස්ස (ක්‍රි.පූ.137-119) රජුගේ පුත් වූ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ.119-109) රජු ලෙස හඳුනාගනී. 
ගල් පඩිපෙලක් සහ ගල් බිත්ති වලින් වෙන් කළ කාමර ඇති ලෙනක්
රජගල දැකිය හැකි ඇතැම් ලෙන් වල චිත්‍ර ඇඳ තිබූ බවට සාධක ඉතිරි වී ඇති අතර ගල් වලින් සහ මැටි බිත්ති වලින් කුටි වලට වෙන් කල ගුහාද කිහිපයක් තවමත් හොඳ මට්ටමින් ඉතිරි වී ඇත (මේවා පසුකාලීන ඉදිකිරීම් විමටද ඉඩ ඇත.) ලෙන් පිදූ අනෙකුත් පුද්ගලයන් අතර ගිහියන් මෙන්ම භික්ෂුන්ගේ නම්ද ඇත. පොදුවේ මේ සියලු ලිපිවලින් පැවසෙන්නේ සිව් දෙසින් පැමිණි නොපැමිණි සංඝයාට මේ ලෙන් පූජා කල බවය. 
කටාරම් කොටා බිත්ති බැඳ ඇති ශීත ලෙනක්
ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • ලක්දිව බුදු සමයේ ඉතිහාසය, වල්පොළ රාහුල හිමි, 1955
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • බුදු සසුන බැබළුණු පැරණි පුදබිම්, එල්ලාවල මේධානන්ද හිමි, 2000
  • පාචීන පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.