Saturday, September 24, 2016

රුහුණේ පැරණි පුදබිම් 1 - යුදඟනා ස්තූපය, පැරකුම් රජු ඉදිකල රත්නාවලි චේතියද?


රෝහණදේශ හෝ රෝහණ-මණ්ඩල ලෙස පාළි බසින් වංශ කතා වලද රුහුණු දනවු, රුහුණ් දනවු, රූණු රජය, රුහුණු රජය, රූණු රට ලෙසින් හෙල බසින් සෙල්ලිපි වලද හැඳින්වූ මහවැලි ගඟින් සහ බෙන්තර ගඟින් සීමා වූ රුහුණු රාජ්‍යය වනාහි පැරණි තුන්සිංහලේ සැදුම් ලත් රුහුණු, මායා, පිහිටි තුන් රටින් සුවිශේෂම වූ පෙදෙසකි. වර්තමාන දිස්ත්‍රික් බෙදීම් අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව  සහ මොණරාගල දිස්ත්‍රික්ක මුලුමනින්මද, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක වල වැඩිහරියක්ද, රත්නපුර, නුවර එළිය, මහනුවර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක වලින් කොටසක්ද මෙම පැරණි රුහුණු රටට අයත් වූ ප්‍රදේශයේ පිහිටා ඇත.
රුහුණු, මායා, පිහිටි රටවල්- උපුටා ගැනීම Wikipedia
කලකදි රජරට පිහිටි ප්‍රධාන රාජ්‍යයට අයත් පෙදෙසක් ලෙසද ඇතැම් කාල වල අඩු වැඩි වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙසද සියවස් ගණනාවක් පුරා විහිදුනු ඉතිහාසයක් ඇති රෝහණ රාජ්‍යය, විදෙස් ආක්‍රමණ වලට රට මුහුන දුන් සැමවිටම රජරට පාලකයන්ට පසුබැස සැඟවීමට ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසද, සතුරු බළමුලු පරදා සිංහල බලය නැවත පැතිරවීම සඳහා සේනා සංවිධානයට ක්ෂේම භූමියක් ලෙසද පැවතුනි. එබැවින් මෙම ප්‍රදේශය පුරා පැරණි රජදරුවන් විසින් නිමකල පැරණි බෞද්ධ පුදබිම් විශාල ප්‍රමාණයක් පැවතුන අතර සැලකිය යුතු එවන් ස්ථාන ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇති මුත්  මෙතෙක් හඳුනානොගත් ස්ථාන තවමත් වන ප්‍රවාහයට යටත්ව, පුරාවිදු ගවේශකයන්ගේ ඇසට හසු නොවී, නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වී විනාශ වෙමින් පවතිනවා විය හැක.
ස්තූපයේ ඉහල කොටස
රුහුණේ පැරණි බෞද්ධ පුදබිම් වැඩිම ප්‍රමාණයක් පිහිටි, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්ක තුල දෙමළ බෙදුම්වාදීන් අද දින හර්තාල් කරමින් උතුරෙන් සහ නැගෙනහිරෙන්  සිංහලයන් ඉවත් වන ලෙසත් එහි ඇති බෞද්ධ වෙහෙර විහාර ඉවත් කරන ලෙසත් පවසමින් "යහපාලන සංහිඳියාව" උපරිමයෙන් භුක්ති විඳින්නේ මුල් සිඳගත් නිවට සිංහලයන් මුල්වී 2015 ජනවාරි 8 සිදුකල, 1815 න් පසු දෙවන "මහා පාවාදීමට" පිංසිදුවන්නටය (සිංහල, බෞද්ධ උතුරට එපා.. නැගිටිනු දෙමළුනි… උතුරේ සහජීවන විරෝධතා හර්තාල්.. කඩ වසා දැමේ..).  පැරණි රුහුණේ පුදබිම් පිළිබඳ විමසා බැලීම වැදගත් වන්නේ රට තුල එවන් අවාසනාවන්ත පසුබිමක් පවතිද්දිය.

විහාරගෙය
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ආසන්නයේ පිහිටා තිබෙන යුදඟනා වෙහෙර ලෙසින් වර්තමානයේ හඳුන්වන විශාල ස්තූපය කිනම් කලක කුමන රජකෙනෙකුන් විසින් සාදන ලද්දක්ද යන්න අවිනිශ්චිතය. පරණවිතාන මහතා මෙය පොළොන්නරුවේ රජකල පරාක්‍රමබාහු රජතුමා සිය මව වූ රත්නාවලි ආදාහනය කල ස්ථානයේ ඇය සිහිවීමට ඉදිකල ස්තූපය විය හැකි බවට මතයක් ඉදිරිපත් කරයි. කොටවෙහෙර ශෛලයේ ස්තූප ලෙස පොදුවේ හැඳින්වෙන දැදිගම පිහිටි පරාක්‍රමබාහු රජතුමන් උපන් ස්ථානයේ ඔහු ඉදි කල සූතිඝර ස්තූපය සහ පොළොන්නරුවේ දමිළ ස්තූපය අයත් වන සැලැස්මටම මෙයද ඉදි කර ඇත.  මහාවංශයට අනුව පරාක්‍රමබාහු රජතුමන් රෝහණයේ එකසිය විසි රියනක් උස රත්නාවලී චේතිය කරවන්නේ ඛිරගාම යෙහිය.
විහාරගෙය තුල ඇති මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම්
දුටුගැමුණු සහ සහ සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර යුද්ධය පැවැති ස්ථානය මහාවංශයේ සඳහන් වන්නේ චූලාංගනියපිට්ඨි හෙවත් චූලාංගනි පිටියේ බවය. සිංහල ථූපවංශයේ එම ස්ථානය ගැන සඳහන් වන්නේ යුදඟනාපිටිය වශයෙන්ය. එසේම සිංහල ථූපවංශයට අනුව දුටුගැමුණු රජතුමා එළාර සමග සංග්‍රාමයට මාගමින් පිටත්ව පිළිවෙලින් කළුවළ, ඒහල, ගීකිත්ත, ගුත්තල පසු කරමින් පැමින කිරිගම ලැගුම් ගත්හ. මෙහි සඳහන් වන ගුත්තල යනු වර්තමානයේ බුත්තල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව පරාක්‍රමබාහු රජතුමන් රෝහණයේ රත්නාවලි චේතිය ඉදිකරන ඛීරගම යන්න සිංහලෙන් කිරිගම ලෙස ගතහොත් සහ බුත්තලින් පසුව රජරටට යන මාර්ගයේ ඊලගට හමුවන ප්‍රධාන ස්ථානය කිරිගම වන බැවින් පරණවිතාන මහතා පවසන පරිදි පරාක්‍රමබාහු රජතුමන් ඉදිකල රත්නාවලි චේතිය යනු මෙකල යුදඟනාව ලෙසින් හඳුන්වන ස්තූපය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එසේම එය පිහිටියේ ගැමුණු කුමරු සමග තිස්ස කුමරුන් සටන් වැදුන යුදඟනා පිටියේ හෙයින් පසු කලක පොදු ජනතාව අතර එය යුදඟනා වෙහෙර ලෙස ප්‍රචලිත වූවා වන්නට ඇත.
විහාරගෙය තුල ඇති මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම්
මෙම ස්ථානයේ වර්තමානයේ දක්නට ඇති විහාර ගෙය මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් සමන්විත වන මුත් එය පැරණි පාදමක් මත ඉදි කර ඇති බව පෙනේ. එහි නුවර යුගයේ බිතුසිතුවම්ද දක්නට ඇත.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994

Saturday, September 10, 2016

නැගෙනහිර බොදු උරුමය 3 - දාපුලු රජ කැරවූ, පැරකුම්බා දෙබෑ රජ දරුවන් හට අගමෙහෙසුන් වූ විහාරමහා දේවිය පිළිසකර කරවූ ලාහුගල රූණු මහ වෙහෙර

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම පත්තුවේ ලාහුගල පිහිටා ඇති වර්තමානයේ මගුල් මහා විහාරය ලෙසින් හැඳින්වෙන නටබුන් විහාර සංකිර්ණය කාවන්තිස්ස රජතුමාගේ සහ විහාර මහා දේවියගේ විවාහ උත්සවය පැවත්වූ මණ්ඩපය පිහිටි භූමිය ලෙස එහි යන නරඹන්නන් දැනුවත් කරන මාර්ගෝපදේශකයන් සහ ගැමියන් ඔබට පවසනු ඇත. එම මංගල උත්සවය සිදු කල ශෛලමය මගුල් පෝරුව පවා ඔවුන් ඔබට පෙන්වනු ඇත. එහෙත් මෙයද   ඊලාම්වාදීන්ගෙ පුහු තර්ක ඇසුරින් නිර්මිත ඊණියා ඉතිහාසය බොරු කරන, මේ බිමේ පැරණි සිංහල බෞද්ධ උරුමය විදහාපාන, පැරණි රෝහණ රාජ්‍යයේ සිංහල බෞද්ධ නරපතියන් කරවූ අති විශාල විහාර ආරාම අතරින් තවත් එක් නිර්මාණයක් බව සාධක සහිතව පෙන්වා දිය හැක. 
14 වන සියවසේ පමණ සිංහල අකුරු වලින් ලියැවුන මෙම ස්ථානයෙන් හමුවන පුවරු ලිපියක සහ ටැම් ලිපියක සදහන් වන්නේ දාසෙන්කැලි රජ දරුවන් විසින් කරවූ රූණු මහ වෙහෙර නම් වූ මෙම ස්ථානය වල්වැදි තිබෙනු දැක, සොලී සේනාව මැඩ රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑයන්ගේ අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ස්ථානයේ නඩත්තුව සදහා ගම්වර ප්‍රදානය කල බවයි. එසේම විහාරදේවි පිරිවෙන ද එතුමිය විසින් සාදා මෙම ස්ථානයට පිරිනැමූ බවයි.
කැබැලි වලට කැඩුන බුදු පිළිමයක්
මහාවංශයට අනුව අනුරාධපුරයේ ක්‍රි.ව. 659 දී පමණ සුළු කාලයක් රජකම් කර පසුව රෝහණයේ රාජ්‍ය පාලකයා වූ පළවෙනි දප්පුල රජතුමන් විසින් රෝහණ විහාරය යනුවෙන් වෙහෙරක් පාෂාණදීප (වෙහෙර )වාසී මහා තෙරණුවන් ගැන පැහැදී ඒ හිමියන් වෙනුවෙන් තනවා පුජා කරන ලදී. පූජාවලියට අනුව දාපුලු නම් රජ රුහුණින් පැමිණ අනුරාධපුර නුවර ඉඳ  රුහුණු වෙහෙර ආදි එකුන් විස්සක් පමණ විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රාජ්‍ය කලහ. රාජාවලිය පවසනුයේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොසින් එහි තිබූ සුන් බුන් වැඩ කරවා නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා... දස අවුරුද්දක් රාජ්ජය කල බවය.
බෝධිඝරය
ඉහත සඳහන් විහාර මහා දේවිය සිටි යුගයට සියවසකට පමණ පෙර ලියවුනු මහාවංශයේ මේ යුගයට අදාල කොටස මෙන්ම පූජාවලියද පසුකාලින සෙල් ලිපියට වඩා විශ්වාසනීය බැවින් සෙල් ලිපියේ දාසෙන්කැලි යනුවෙන් ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455 - 473) කල බව පවසන රෝහන වෙහෙර (පාලි) හෙවත් රූණු වෙහෙර (සිංහල) ඉදිකලේ ධාතුසේන රජු නොව පළවෙනි දප්පුල විය හැකි බව පරණවිතාන මහතා පවසයි. සිංහල මූලාශ්‍ර වල දාපුලුසෙන් ලෙස හැඳින්වෙන දප්පුල රජතුමන් වචනයේ සාම්‍යත්වය නිසා පසුකාලීනව දාසෙන්කැලි සමග පටලවා ගැනීමක් සිදුවන්නට ඇති බවට ඒ මහතා අනුමාණ කරයි.

ස්තූපය
මේ අනුව පැරකුම්බා දෙබෑයන් හට අගමෙහෙසිය වූ විහාරමහා දේවිය සදහන් කරන රූණු වෙහෙර සහ වංශ කතා වල සදහන් රූණු වෙහෙර යනු බොහෝවිට එකම විහාරයක් බව පිළිගත හැක. එය මුලින්ම ඉදි කිරීමේ ගෞරවය බොහෝවිට හිමිවිය යුත්තේ පළවෙනි දප්පුල රජුට බවද පැහැදිලිය. එසේ නම් එය නැවත පිළිසකර කරවූ සෙල්ලිපි වල සදහන් විහාරමහා දේවිය යනු කවරෙකුද යන්න ඉන්පසු මතුවන ගැටලුවයි. මේ පිළිබඳව අදහස් දක්වන පරණවිතාන මහතා මෙහි සඳහන් පරාක්‍රමබාහු නම් ගම්පොල රාජධානිය කරගනිමින් සිරිලක රාජ්‍ය විචාල පස් වන පරාක්‍රමබාහු සහ ඔහුගේ සහෝදරයකු වන හතරවන බුවනෙකබාහු විය හැකි බව පවසයි. ක්‍රි.ව. 1341 සිට 1351 දක්වා හතරවන බුවනෙකබාහු ගම්පොල සිට රට පාලනය කල අතර එම කාලයේ පස්වන පරාක්‍රමබාහු දැදිගම ප්‍රදේශය ආශ්‍රිතව ස්වාධීන පාලකයෙකු ලෙස විසීය. නැවත ක්‍රි.ව. 1351 න් පසු ක්‍රි.ව. 1359 දක්වා හෙතෙම ගම්පොල පාලකයා බවට පත්විය.
ස්තූපය
කෙසේ නමුත් පසුව තම මතය සම්බන්ධයෙන් සැක පල කරන පරණවිතාන මහතා බුවනෙකබාහු යන නම මෙම ස්ථානයෙන් හමුවන සෙල්ලිපි වල නැති බැවින් සහ එම දෙබෑයන් රුහුණේ පමණක් පාලකයන් බව සෙල්ලිපි වල පැහැදිලිව සඳහන් වන බැවින් (පෙර කී රජවරුන් දෙදෙනම ඔවුන් මුළු දිවයිනටම අධිපති වූ බව පවසයි ) ඔවුන් දෙදෙනා වංශ කතා මූලාශ්‍ර වල සදහන් නොවන ප්‍රදේශිය පාලකයන් දෙපලක් විය හැකි බව පවසයි. එම සෙල්ලිපි වල සදහන් වන චෝල ආක්‍රමණය සම්බන්ධවද වෙනත් මූලාශ්‍ර වලින් කරුණු හමු නොවේ.
හතරැස් වේදිකාවක ඉදි කර ඇති පැරණි ස්තූපයක්, බුදු මැදුරු, පධානඝර, සහ කාවන්තිස්ස සහ විහාර මහා දේවියගේ මගුල් පෝරුව ලෙස වරදවා හඳුනා ගන්නා බෝධිඝරයක නටබුන් ඇතුලු තවත් ගොඩනැගිලි කිහිපයකම නටබුන් මෙහි ඇත.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කලකට පෙර මේ ස්ථානය ගැන ලියූ සටහනක් අවසන් කරන්නේ මෙසේය .
 "එදා ආක්‍රමණික ද්‍රවිඩ බලයට එරෙහිව රෝහණය නිදහස් කරගත් මේ වීරෝධාර සිංහල දූපුතුන් ජනිත භූමියෙහි අද ජාතිවාදි ත්‍රස්තවාදී ද්‍රවිඩයන්ගේ හොල්මන්වලට ඉඩදී තිබීම නම් වර්තමාන රුහුණු දූ පුතුනට කිසිසේත් තරම් නොවේ."
 එම ත්‍රස්තවාදි බලවේග එවන් රුහුණු පුතෙකුගේ බල මහිමයෙන් මර්ධනය කලද වර්තමානය වන විට නැවතත් රටට සතුරු විජාතික බලවේග වල නියෝජිතයන් වූ පිරිසක් අතට රටේ බලය හුවමාරු වී ඇති මොහොතක ජාතිවාදි බලවේග වෙනදාටත් වඩා ශක්තිමත්ව සිය අරමුණු කරා යන බවක් දිස්වේ. එම නිසා මද සංශෝධන සහිතව ඉහත සටහන අදටද වලංගුය.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Wednesday, September 7, 2016

නැගෙනහිර බොදු උරුමය 2 - නක මහ රජුගේ පුත්‍ර මලිතිස මහ රජුගේ රන් දාගැබ, දීඝවාපිය




අම්පාර දිසාවේ අක්කරපත්තුවට ආසන්නව සමන්තුරය සහ අක්කරපත්තුව අතර පිහිටි විශාල දාගැබේ බටහිර වාහල්කඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1964 දී තහවුරු කිරීම සඳහා කැණීම් කිරීමේදී රන් කරඩු තුනක් හමුවිය. ඉන් එකක තිබූ රන් සන්නසක දෙවන සියවසට පමණ අයත් සිංහල අක්ෂර වලින් සටහන් කර තිබුණේ නක මහ රජුගේ පුත්‍ර මලිතිස මහ රජුගේ රන් දාගැබයි යනුවෙනි. එම කැණිම සිදුවන කාලය වන විටත් වංශ කතා වල සඳහන් වන දීඝවාපි දාගැබ ලෙස ජනප්‍රිය වී තිබූ එම ගරා වැටුණු විශාල දාගැබ 1924 දී පමණ භික්ෂුන් නැවත එහි පදිංචියට පැමිණීමට පෙර නකා වෙහෙර ලෙස හැඳින්වූ බව Historical Topography of Ancient and Medieval Ceylon නම් ග්‍රන්ථයේ C. W. නිකොලස් මහතා සඳහන් කරයි.  මෙම ස්ථානය භික්ෂු වාසයක් වීමත් සමග ජනප්‍රිය ලෙස සහ බොහෝවිට නිවැරදිව එය නැවතත් දීඝවාපිය ලෙස හැඳින්වීමට පටන් ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි (කෙසේ නමුත් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ 1916 දී ගන වනයෙන් වැසී තිබූ මෙම ස්ථානය සොයාගිය කොහුකුඹුරේ රේවත මහ තෙරුන් වහන්සේ මෙම ස්ථානය අසල ගසක පැලක් සාදාගෙන නේවාසිකව වැඩ විසූ බවයි. වන සතුන් මැද ඉතා දුෂ්කර දිවියක් ගෙවූ උන් වහන්සේ වර්ෂ 1950 දී මුස්ලිම් ජාතිකයෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන තෙක්ම එහි වැඩ විසූ බවත් මේධානන්ද හිමියන් සඳහන් කරයි.)

විනාශ වූ බුදු පිළිම කොටස්
නිසැකවම මෙම දාගැබමදැයි පැවසිය නොහැකි මුත්  මහාවංශයේ අවසාන වරට නකා චේතිය යනුවෙන් ස්තූපයක් පිළිබඳව සඳහන් වන්නේ කිර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව. 1747-1780) රජතුමන් ගැන සඳහන් කිරීමේදීය. "...මහා යසස් ඇති ඒ ජනේන්ද්‍ර තෙමේ මහියංගණ චේතියට හා නකා චේතියට ගොස් රාජතේජසින් මහ පුද පවත්වමින් වැඳ පින් රැස් කල..." බව එහි සඳහන් වේ.

ඉහත සඳහන් වූ රන් සන්නසේ එන නක මහරජු වංශ කතා වල දැක්වෙන මහල්ලක නාග (ක්‍රි.ව. 136-143) රජු ලෙසත් මලිතිස මහ රජ කණිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167-186) රජු ලෙසත් පැරණි රෝහණ රාජ්‍යයේ නොයෙකුත් ස්ථාන වලින් හමුවූ වෙනත් සෙල්ලිපි සාධක ඇසුරින් හඳුනාගත හැක. එසේ නම් මෙම දාගැබ කණිට්ඨ තිස්ස රජුගේ නිර්මාණයක්ද?
දීඝවාපියේ නටබුන් වූ වාහල්කඩක්
මහාවංශයේ මුල් වරට දීඝවාපි යන නම කියවෙන්නේ බුදුන් වහන්සේගේ තුන්වන ලංකාගමණය පිළිබඳ විස්තරයේදීය. බුදුන් වහන්සේ සුමණකූටයේ සිරිපා පිහිටුවා එහි පාමුල දිවා විහරණයෙන් අනතුරුව දීඝවාපියට නික්මුණ බව සඳහන්ය. දීඝවාපියේ චෛත්‍ය ස්ථානයේ සංඝයා සමග වැඩ හිඳ සමාධියට සමවත් වූ බව එහි විස්තර කෙරේ. මේ සිදුවීම විස්තර කරන සිංහල ධාතුවංශයට අනුව උන් වහන්සේ දිවා විහරණයෙන් අනතුරුව ...දිගා නකයෙහි දාගප් වහන්සේ බඳනා ස්ථානයෙහි වැඩ හිඳ පන්සියයක් පමණ රහතුන් හා සමග සමාපත්තියට සමවැද මහාසේන නම් වූ දිව්‍ය පුත්‍රයෙකු ආරක්ෂා පිණිස එතැන්හී රඳවා...එයින් නැඟී රැවන්වැලි සෑය බඳනා ස්ථානයට පැමිණුන බව පවසයි.
දීඝවාපියේ පිළිම ගෙයක අවශේෂ
මහාවංශයේ පුරාවෘත්ත ආශ්‍රිතව ගොඩනැගුණු කොටසේම ඇතුලත් පඬුවස්දෙව් රජු පිළිබඳ විස්තරයේ සඳහන් වන පරිදි ඔහුගේ මෙහෙසිය වූ භද්දකච්චානා කුමරියගේ සොහොයුරන් විසින් ලක්දිව ඉදිකල ජනපද අතර දීඝායු කුමරා විසින් පිහිටවූ දීඝායු ග්‍රාමයද වේ. පසු කලක දීඝවාපි පෙදෙස ලෙස වංශ කතා වල දැක්වෙන්නේද එම දීඝායු ජනපදය විය හැකි බව  පොදු පිළිගැනිමය. දීඝවාපි යන්නෙන් දික් වූ වැවක් යන අරුත එනමුත් දීඝායු ජනපදයේ පිහිටි වැව යන නමද ඉන් ගිණිය හැක. මෙම වැව වර්තමානයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද යන්න මෙතෙක් පැහැදිලිව සොයාගෙන නොමැත.

මහාවංශයේ විසි හතර වන පරිච්ඡේදයේ උතුරේ එළාරගේ බලමුළු වලින් රෝහණ දේශය ආරකෂා කරගැනීමේ කාකවණ්ණ තිස්ස රජුගේ සේනා සංවිධානය පිළිබඳ විස්තරයේ සඳහන් වනුයේ කාකවණ්ණ තිස්ස රජතුමන් බල සේනා සහ රථ පිරිවරා සිය දෙටු පුත් තිස්ස කුමරුන් දීඝවාපියේ රඳවා එම පෙදෙසේ ආරක්ෂාව තහවුරු කල බවයි. කාකවණ්ණතිස්ස රජුගේ අභාවයෙන් පසු දීඝවාපියේ සිට පැමිණෙන තිස්ස කුමාරයන් මවු වූ විහාර දේවිය සහ කණ්ඩුල ඇතු රැගෙන නැවත යන්නේද දීඝවාපියටය. නැවත මහාගාමයට පැමිණෙන දුට්ඨගාමිණි කුමරුන් සහ තිස්ස කුමරු අතර ඇතිවන සටනින් පැරදි තිස්ස කුමරු පසුබසින්නේද දීඝවාපියටය. ඉනික්බිති සංඝයාගේ මැදිහත් වීමෙන් සිදුවූ දෙසොහොයුරන් අතර සමගියෙන් පසු තිස්ස කුමරු දීඝවාපියේ සිට ගොයම් කරවූ බව මහාවංශය වැඩිදුරටත් විස්තර කරයි.

දීඝවාපියේ නටබුන් වූ ශෛලමය නිර්මාණ කොටස්
දුට්ඨගාමිණිගේ අභාවයෙන් පසුව රජ වූ තිස්ස කුමරුන් (සද්ධාතිස්ස ) අනුරාධපුරයේ සිට දීඝවාපිය දක්වාම යොදුනක් පාසා විහාර ඉදි කර දීඝවාපියේද විහාරයක් සහ චෛත්‍යයක් බැඳවීය. පුජාවලි කතෘ මෙය විස්තර කිරීමේදී ...සැදෑතිස් රජු දිගානකාදී වෙහෙර කරවා....යනුවෙන්ද රාජාවලිය සැදැහැතිස්ස රජ රාජ්ජයට පැමිණ දිගානක වෙහෙර කරවා... යනුවෙන්ද සඳහන් කරයි. ඒ අනුව දීඝවාපි වෙහෙර,දිගානකා වෙහෙර, දිගානක වෙහෙර හා පසු කාලීනව නකා වෙහෙර යන මේ සියළු නම් වලින් හැඳින්වෙනුයේ එකම වෙහෙරක් බව පැහැදිලිය. දීඝවාපිය ගැන කියවෙන තවත් අට්ඨ කතා සහ සෙල්ලිපි සාධකද ඇත*.
දීඝවාපි ස්තූපයේ වාහල්කඩක නටබුන් වූහි කැටයම් ගල් පුවරු
වංශ කතාව අනුව නම් දීඝවාපිය සද්ධාතිස්ස රජුගේ (ක්‍රි.පූ. 137 - 119) ඉදිකිරීමකි. රන් සන්නසේ සඳහන් පරිදි කණිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167-186) රජු එය නැවත පිළිසකර කලා විය හැක. කෙසේ නමුත් අද වන විට දෙමළ බෙදුම්වාදීන් සිය නිජ භුමියයැයි පවසන නැගෙනහිර පළාතේ මේ වන විට මුස්ලිම් බහුතරයක් වෙසෙන පෙදෙසක පිහිටා ඇති දීඝවාපි ස්තූපය සහ ඒ ආශ්‍රිත අනෙකුත් නටබුන් නිහඩව කියාපාන්නේ මේ දීඝවාපි දනව්ව හෙවත් වර්තමාන දිගාමඩුලු භූමිය වනාහි මේ බිමේ ශිෂ්ඨාචාරය පිහිටවූ සිංහල ජාතියේ තවත් එක් හදබිමක් (Heartland) බව නොවේද?

* පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර.

ආශ්‍රිත පෙර ලිපි - නැගෙනහිර බොදු උරුමය 1 - මිහිඳු හිමි භෂ්මාවශේෂ පිහිටුවා රජගල ඉදිකල ස්තූපය

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Souvenirs of a Forgotten Heritage, Gamini De S.G. Punchihewa, 2008
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967